ප්‍රීතිමත් ජීවිතයකට

බණ්ඩක්කා කුලයේ අප්පච්චිලා වෙතටයි,

සෙග්ගු කියන්නේ ජාතක කතා පොතේ තියෙන 211 වැනි ජාතකය. ඔය කතාවේ ඉන්නවා පණ්නික කියලා අප්පච්චි කෙනෙක්. ඒ අප්පච්චිට ඉන්නවා හරිම දඟකාර දුවෙක්. දුවෙක් වුණාට මේ කෙල්ල හිච්චි කාලේ ඉඳලම කරන්නෙ කොල්ලො කරන දස මගඩි වැඩමලු. ඒ විතරක් නෙවෙයි උදේ ඉඳන් රෑ වෙනකම්ම ගමේ කොල්ලොත් එක්ක රස්තියාදුවේ යනවලු. කොටින්ම කියනවා නම් මෙයා දඟම දඟමල්ලක්ලු. ඔය විදියට කාලෙ ගෙවිලා දුවගෙ කලවයසත් හරියාගෙන එනකොට අර අප්පච්චිට හිතෙනවා මේ කෙල්ලට හොඳ තැනකින් කටයුත්තක් කරලා දෙන්න. ඒ හිතුණට මේකිගෙ මේ හැසිරීමත් එක්ක මිනිහෙක් ගිහින් හැරෙන තැපෑලෙන් ගෙදර එයිද කියලා බයකුත් තිබිලා තිබුණලු. මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න දවසක් ඔහු දුවවත් අරගෙන තනියම ඝන කැලෑවකට ගිහින් තියෙනවා.  කැලේ ඇතුළට ටික දුරක් ගිහින් ඔහු සිනිඳුවට දුවගේ දෑත් පිරිමදින්න පටන්ගත්තලු. ඊටපස්සේ පපුවට තුරුල් කරන් හීන්සීරුවට හිස පිරිමදින්න පටන්ගත්තලු. ඔහොම ටික වෙලාවක් යනකොට අප්පච්චි දැනගන්න හදන දේ ගැන මේ දුවට වැටහිලා තියෙනවා. ඒ වෙලාවේ ඇය ඔහුට මෙන්න මෙහෙම කතාවක් කියනවා.

“අප්පච්චි මම පිරිමි ළමයින්ව ගොඩක් ළඟින් ආශ්‍රය කළාට කවදාවත් මගේ සීමාව පැනලා වැඩ කරලා නෑ. මම කෙල්ලෙක් කියන එක අමතක කරලා හැසිරිලාත් නෑ. අප්පච්චිගෙවත් මගෙවත් ගෞරවය කෙළෙසෙන විදියේ දේවල් කරලත් නෑ. ඒ නිසා අප්පච්චි කිසිම බයක් නැතුව මාව ඕනම තරුණයෙකුට දීග දෙන්න” කියලා.

දුවගේ කතාව අහපු අර අප්පච්චිට හොඳටම ඇඬෙන්න පටන්ගත්තලු. පස්සේ අප්පච්චිත් දුවට මේ විදියේ කතාවක් කියලා තියෙනවා.

“අනේ දුවේ මට ඕන වුණේ උඹ චරිතවත් දරුවෙක්ද කියලා සැක නැතුව දැනගන්න. උඹව මම මිනිහෙක් එක්ක දීග යැව්වොත් ඒ මිනිහත් එක්ක වැදගත් විදියට පවුල් කන්න පුළුවන්ද කියලා දැනගන්න. මොකද නිකමටවත් උඹ නැති නාස්ති වුණ එකියක් නම් ඒකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනෙ මම මිසක් උඹෙ අම්මා නෙවෙයි” කියලා.

ඔය ගැනත් ටිකක් මතක් කරලම හිටියේ දුවලා චරිතවත් නැත්නම් ඒකට වග කියන්න ඕන මව්වරු කියලා ගොඩක් අය චෝදනා කරන නිසා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය අත්තනායක එම්.හේරත් මහතා ඒ ගැන කිව්වේ මේ විදියේ කතාවක්.

ඔය කලින් කියලා තියෙන සෙග්ගු ජාතකයම පණ්නික ජාතකය විදියටත් ජාතක පොතේ ලියැවිලා තියෙනවා. ඒ කියන්නේ සෙග්ගු කතාවේ ඉන්න අප්පච්චිගෙ නමින්. මට නම් හිතෙන්නෙ එකම කතාව නම් දෙකකින් සඳහන් කරලා තියෙන්නෙ අම්මා කෙනෙකුට වැඩිය තාත්තා කෙනෙකුට දරුවන්ගේ වගකීමක් තියෙනවා කියලා පෙන්නන්න වෙන්න ඕන.

හැබැයි ඉතින් අපරාදේ කියන්න බෑ අද කාලේ නම් වැඩිහරියක් ඉන්නෙ දරුවොන්ගෙ හොඳ ටික තමන්ගේ ගිණුමට බැර කරගෙන වැරදි ටික අම්මට පටවන පියවරු. එහෙව් පියවරු දරුවො හොඳට ඉගෙනගන්නවා නම්, යන තැන කැපී පේනවා නම්, හැමෝම හොඳ කියනවා නම් කිසිම පැකිළීමක් නැතුව මමයි උන්ගෙ තාත්තා කියන වග පිළිගන්නවා. හැබැයි නිකමටවත් උන් රට්ටු හිනාවෙන විදියෙ වැඩක් කළොත් කියන්නෙම අපෝ මගේ ලේ වලින් ජාතක වුණාට ඕකුන් ගිහින් තියෙන්නෙත් මහ ගෑනි ආරෙටමයි කියලා.

දැන් බලන්න නිකමටවත් දුවෙක් ගණිකාවක් වුණොත්, පවුලක් කඩාගෙන ගෙදර ආවොත්, කසාද දෙක තුනක් කරගත්තොත්, පවුලක් පන්සලක් නොවී මිනිහෙක් එක්ක එක වහලක් යට ජීවත් වුණොත් රටේ ලෝකෙ උන් දුවගෙ අප්පට නොබැන අම්මටමයි තලන්නෙ. ඕකට මම හොඳ උදාහරණයකුත් කියන්නම්. මේ පේරාදෙණිය ගම් පළාතෙ මම හොඳටම දැන ඇඳිනගෙන කටයුතු කරපු මුදලාලි මහත්තයෙක් හිටියා. ඔය මුදලාලිට හිටියා ලස්සන තරුණ දුවෙක්. ඔහු ව්‍යාපාර කටයුතු කරන අතරතුරේදි වුණත් දුව යන එන ගමන් බිමන් ගැන, දුවගේ අධ්‍යාපන කටයුතු ගැන පුළුවන් හැටියට හොයලා බලලා කටයුතු කළා. හැබැයි ඔහොම ටික කාලයක් යනකොට ඔහුට අර දුව ගැන කනින් කොණින් නරක ආරංචි ඇහෙන්න පටන් අරගෙන තිබුණා. ඔය කතා ඉවසලා බැරිම තැන දවසක් දුව තනියම එළියට ගියපු වෙලාවක ඔහුත් රහසින්ම දුවව ලුහුබඳින්න කටයුතු කරලා තිබුණා. එදා ඔහුට අර දුව පිරිමියෙක් එක්ක තානායමක ඉන්නවා අතටම අහුවෙලා. හැබැයි කොයිතරම් ඔහුගෙ හිත රිදුණත් ඒ වෙලාවේ අර දුවට බනින්න ගහන්න යන්නෙ නැතුව පාඩුවේ ගෙදර ඇවිල්ලා. ඒ ඇවිල්ලා ‘මගේ රත්තරන් දුවව මට හරියට හදාගන්න බැරිවුණා, ඒකට මට සමාවෙන්න’ කියලා ලියමනක් ලියලා තියලා එල්ලිලා මැරිලා තිබුණා.

මම මේ කතාව කිව්වේ ප්‍රශ්නයක් වුණ ගමන් ජීවිතේ නැති කරගන්න එක හපන්කමක් කියන්න නෙවෙයි. ඒ තාත්තා මට මගේ දුවව හරියට හදාගන්න බැරි වුණා, සමාවෙන්න කියලා ලියපු වෙලාවෙම ඔහු දුවගේ වැරදිවල සම්පූර්ණ වගකීම සීයට සීයක් භාරගෙන තිබුණා කියන්න.

ඕකෙම අනිත් පැත්ත සිද්ධ වුණ කතාවකුත් තියෙනවා. ඒ දුවව මට මුණගැහුනේ ප්‍රසිද්ධ කාන්තා පාසලක දේශනයකට ගියපු වෙලාවක. පන්තියේ ඉන්න දක්ෂම සිසුවියක් කියලා පන්තිභාර ගුරුතුමිය තමයි මට අඳුන්වලා දුන්නේ. ටික වෙලාවක් කතා කරනකොට තමයි දැනගත්තේ තාත්තා නැතුව අම්මත් එක්ක තනියම ජීවත්වෙනවා කියලා. හැබැයි ඒකට හේතුව මොකක්ද කියලා අහනකොට ඒ දුව දීපු උත්තරේට මට සමහරක් පියවරු ගැන පුදුමයක්, කළකිරීමක් ඇතිවුණා. මේ කියන දුවගේ අක්කා ගෙදර වැඩට හිටපු තරුණයා එක්ක රහසේම පැනගිහිල්ලා තියෙනවා. ඊටපස්සේ අක්කව හරියට හදාගන්න බැරිවුණා කියා අර තාත්තා අම්මයි මේ දුවටයිත් ගහලා ගෙදරින් පන්නගෙන. හරි දුවෙක් ඔය විදියේ වැඩක් කළහම අම්මත් ඒ වරදට වගකියන්න ඕන කියමුකෝ. ඒ කොහොම වුණත් මේ දුවගේ තාත්තටත් ඒ ගැන වගකීමක් තිබුණේ නැද්ද?

වරදෙ බැ‍ඳෙන දුවලා සේරගෙම අම්මලා වැරදි වෙලා අප්පලා විතරක් හරි වුණේ කොහොමද?

ගෑනු දැරිවියක් වුණ පලියට ඒ දරුවා අම්මගෙ ආරෙට යනවා කියලා එකක් නෑ. ගෑනු දරුවෙකුට ඕනම දෙයක් කියන්න පුළුවන් අම්මට විතරයි කියලා දේකුත් නෑ. ඇයි දෙයියනේ පුංචි කාලෙ ඉඳන් කැත කුණු අතගාලා තුරුලේ තියාගෙන හදන තාත්තා කෙනෙක්ට දුවෙකුගේ කාමරේට එබිකම් කරලා බලන අයිතියක් නැද්ද? වෙනසකට තියෙන්නේ අම්මට වගේ තාත්තට දුවෙකුගේ ජීවිතේ හැම අස්සකට මුල්ලකටම එබිකම් කරන්න බැරි එක විතරයි. නමුත් එහෙම දේවල් අම්මා හරහා දැනගන්න කටයුතු කරන්න පුළුවන්.

හැබැයි අද කාලේ ගොඩක් පියවරු කරන්නේ දුවලා හරියට හදාගන්න එක අම්මලාගේ වැඩක් කියලා අත පිහදාගන්න එක. ඊළඟට වැඩි හරියක් ඉන්නේ ඔය මම දෙවැනියට කියපු කතාවේ වගේ පියවරු. ඔය විදියට කිසිම නඩත්තු මුදලක් නොදී දරුවොන්ගෙ වගකීම්වලින් බැහැර වෙලා ඉන්න පියවරු ගැන නුදුරේදිම අපේ රටේ සංගණනයක් සිද්ධවෙයි කියලත් මට හිතෙනවා. හැබැයි නිකමටවත් එහෙම වුණොත් තමයි කටින් බතල හිටවන අප්පලා සේරටම තරු විසිවෙන්නේ.

මේ කතාවේ අවසානෙ මට පියවරුන්ට මතක්කරන්න  ඕන වු‍ණේ දරුවෝ කියන්නෙ අම්මලාගෙ තනි බූදලයක් නෙවෙයි කියන එක. ඒ නිසා දෙන්නා දෙමහල්ලෝ එකතු වෙලා හදන දරුවන්ගෙ ගුණ වගේම නුගුණවලටත් දෙන්නම වගකියන්න ඕන.

ලිහිණි මධුෂිකා