විශේෂාංග

කබ්බො ෆෝම් කරනවා කියන්නේ මේකටද?

ජනශ්‍රැතියේ මෙන්න මෙහෙම ප්‍රසිද්ධ කවියක් තියෙනවා.

 

‘හත් ගම්පොල පුංචප්පො

දත් අස්සෙත් බත් දංකුඩ

කකුල ටිකක් වපර දොදොං

කකුල ටිකක් වපර දොදොං’

 

ඔය පුංචප්පො කියන්නෙ ටිකක් වලව්මාන්නෙන් ජීවත්වෙච්චි තරුණ ගැටයෙක්. හැබැයි පුතෝ ඔය මොන දේ තිබුණත් මේකගේ ළඟින් යන්න බැරිතරම් ගඳයිලු. ඔහොම ඉන්නකොට පුංචප්පොට හොඳ තැනකින් මඟුලක් තීන්දුවෙලා. ඔන්න ඉතින් ඔය හිරේ කරේ ගහගත්තට පස්සේ තමයි හොඳ හොඳ සෙල්ලම් පටන් අරගෙන තියෙන්නේ. කසාද බැඳපු උන්දැට මේකා එක්ක පවුල් කන්න තියා කටේ ගඳට ළඟටවත් යන්න බෑලු. ජීවිතේටවත් දතක් කටක් මැදලා හෝදලා නැති නිසා දත් අස්සෙ කාපු කෑම පවා හිරවෙලාලු. පස්සේ ඉතින් මේ ගැහැනු මනුස්සයා හිතුවලු මොනවා වුණත් මූ දැන් මගේ මිනිහා වෙච්චි එකේ මූව ටිකක් හෝදලා කරලා ගන්න ඕන කියලා. එහෙම හිතලා මේ උන්දෑ පුංචප්පොගේ අළු ගසා දාල අරන් තියෙනවා. ඔන්න ඉතින් ඊටපස්සෙ පුංචප්පොත් ටිකෙන් ටික තනියම හැඩ වැඩ වෙන්න පටන්ගත්තලු. හැබැයි ඉතින් අර කතාවක් තියෙනවනේ ආප්පෙට මතක නෑ තාච්චියේ හිටපු හැටි කියලා. ආන්න ඒ වගේ මේ මිනිහටත් ඊටපස්සෙ ගෙදර ගෑනිගෙ හැඩ මදිවෙලා ඒ දීගෙත් හබක් වුණාලු.

ඔය කිව්වෙ එදා ඉඳලම ගෑනුන්ගේ උදව්වෙන් හැඩ වැඩ වුණු පිරිමි අද වෙනකොට ගෑනුන්ටත් වැඩියෙන් රූපලාවණ්‍ය ගැන හිතනවා කියන එකට එක උදාහරණයක්.

ඊළඟට කුස ජාතකය. පසේබුදු කෙනෙකුගේ කැවුමක් උදුරගත්තු පවට මූණ කැතවෙලා ඉපදුණාට මොකද කුසගේ හිත ගියේ රූපශ්‍රීයෙන් අගතැන්පත් පබාවතීටනේ. හැබැයි තමන්ගේ කැවුම් මූණ දැක්කොත් පබාවතී මේ කපේ තමන්ට කැමති වෙන්නේ නෑ කියලා දන්න නිසාම කුස රජ්ජුරුවෝ තමන්ගෙ කඩවසම් මල්ලි ජයම්පතිව ඉස්සරහට දාලා පබාවතීව රවට්ට ගත්ත විත්තිය කොයිකවුරුත් දන්නවා.

 

‘සොයුරු ජයම්පති කඩවසමින් යුක්ත

පෙන්නා පබවතට රැවටූ බව ඇත්ත

බෝසත් කුස කුමරු පස් පව් දෙක දන්න

ඇයි ඒ ලෙස කළේ මදකට සිත යුත්ත’

 

ඇත්තටම කතාවේ හැටියට කුස එහෙම කළේ තමන්ගේ විරූපී රූපෙට පබා කෙල්ල කවදාවත් කැමති වෙන්නේ නැති බව දැනගෙනනේ. හැබැයි ඉතින් දවල්ට මල්ලිව පෙන්නලා වැඩේ ගොඩදාගත්තට රෑ නම් වැඩේ ටිකක් ගැස්සිලා තියෙනවා. ඒ නිසා කොහොමින් හරි ඇත්ත දැනගත්තට පස්සේ පබා කළේ ද්වේශසහගත විදියට කුස අතෑරලා දාලා ගියපු එකනෙ.

මේකෙන් පැහැදිලි වෙන්නෙත් එදා ඉඳලම තරුණයෙක් තරුණියෙකුගේ ඉස්සරහට යන්න කලින් තමන්ගේ රූපේ කැත ලස්සන ගැන ටිකක් උනන්දු වෙනවා කියන එක. ඔය කතා දෙක ගැන ටිකක් මතක් කරන්න හිතුවේ අද අපි කතා කරන්නෙ පිරිමින්ව ලස්සන කරන්න උනන්දු වෙන ගැහැනු සහ උන්දැලට තමන්ගෙ ලස්සන ගැන හිතන්න අමතක වෙච්චි විදිය ගැන නිසා.

ඒ ගැන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය අත්තනායක එම්.හේරත් මහතා කිව්වේ මෙන්න මෙහෙම කතාවක්.

මෙහෙමයි කවුරුහරි කෙනෙක් මගෙන් ඇහුවොත් එදා ඉඳලා පිරිමි ලස්සන වුණේ ගෑනු නිසාද කියලා මම නම් කියන්නෙම ඔව් කියලා. දැන් බලන්න ඔය මුලින් කියලා තියෙන කතාවේ හැටියට ගෙදර ගෑනි මිනිහව පිළිවෙලකට හදලා ගන්නවා. ඒත් පස්සේ මිනිහට ගෑනි මදි වෙනවා. කුසත් පබාගේ හිත දිනාගන්න නොයෙක් තුරුම්පු පාවිච්චි කරනවා. එකක් තමන්ගේ අවලස්සන වහගන්න ඕන නිසා. කොහොම වුණත් ඔය කතා දෙකෙන්ම පැහැදිලි වෙන්නේ එදා ඉඳලා පිරිමින්ට ලස්සන වෙන්න ගෑනු ලොකුම හේතුවක් වෙලා තියෙනවා කියන එක. ඒකෙ කිසිම වරදක් නෑ. වරද තියෙන්නේ අද වෙනකොට පිරිමි ලස්සන කරන්න මහන්සි වෙන ගෑනුන්ට තමන්ගේ ලස්සන වෙනුවෙන් යොදවන්න කාලයක් නැතිවෙලා තියෙන එක. අද වෙනකොට ගොඩක් පවුල් ජීවිත පවා අවුල් වෙන්න මේ කාරණාව ලොකු හේතුවක් වෙලා තියෙනවා.

ඕකට මට අත්දැකීමෙන්ම හොඳ උදාහරණෙකුත් කියන්න පුළුවන්. මම විශ්වවිද්‍යාලේ උගන්නපු කාලේ මගේ දුවෙක් වගේ ළඟින්ම ඇසුරු කරපු තරුණ ආචාර්යවරියක් හිටියා. ආචාර්යවරියක් වෙන්න බුද්ධියක් තිබුණට මොකද තමන්ගේ ජීවිතේට ගැළපෙන නොගැළපෙන දේවල් තෝරගන්න තරම් විචාර බුද්ධියක් ඇයට තිබිලා නෑ කියලයි මට අදටත් හිතෙන්නේ. මොකද ඇය ඒ කාලෙම තරුණයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන්ගත්තා. අපි කාට කාටත් දැනගන්න ලැබුණු විදියට ඒ තරුණයා කිසිම වගකීමක් නැති සල්ලාල චරිතයක්. පෞරුෂයේ කියලත් ඊට වැඩි වෙනසක් තිබුණේ නෑ. ඒ කොල්ලා කවදාවත් පිළිවෙලකට ඇඳුමක් ඇඳලා මූණක් කටක් හෝදලා එනවා මම නම් දැකලා තිබුණෙම නෑ. ඔය හේතුව නිසා අර දැරිවිට ගොඩක් උදවිය උසුළු විසුළු කරන්න පටන්ගත්තා. කොහෙන්ද බන් ඔය උණහපුළු පැටියට හොයාගත්තෙ කියලා මූණටම අහපු උදවියත් ඒ අතරේ හිටියා.

අන්තිමේදි රට්ටුන්ගේ කයි කතන්දරවලින් බේරෙන්න බැරි තැන අර දැරිවි මේ මිනිහව නාවලා කරලා හොඳ ඇඳුම් පැළඳුම් අන්දවලා ඇයගේ සමාජෙට ගැළපෙන විදියට හදලා ගත්තා. අන්තිමේදි මිනිහත් ආශ්‍රය කරන්න පටන්ගත්තේ අර දුවගේ හිතවත් ආචාර්ය මහාචාර්යවරු. කන්න බොන්න ගියේ ඇන්දේ පැළැන්දේ ඒ පැලැන්තියේ උදවියගේ හැටියට. හැබැයි ඉතින් අන්තිමට අර මුලින් කියලා තියෙන පුංචප්පොට වගේ මූටත් අර කෙල්ලව මදිවුණා. මට අර දැරිවි කියපු විදියට පස්සේ කාලෙදි මේකා අර දුවටම අභියෝග කරන්න පටන් අරගෙන තියෙනවා. නිතරම වගේ බලනවකෝ තමුසෙගෙ මූණේ හැටි, ඇඳුමේ හැටි ටිකක් පිළිවෙලකට ජීවත්වෙන්න බලනවකෝ වගේ කතාවල් කියලා තියෙනවා. ඔහොම හැමදාම හැලහැප්පීම් වෙනකොට දන්නෙම නැතුව අර උන්දෑ මේ කෙල්ලවත් අතෑරලා දාලා වෙන ගෑනියෙක් එක්ක ගිහින් තිබුණා.

දැන් බලන්න අන්තිමේදි තමන්ව පැත්තකට දාලා අනිත් පාර්ශවය ගැන විතරක් හිතුවම ඒ දැරිවිට සිද්ධවුණෙත් කටුස්සගේ කරේ රත්තරන් බැන්දා වගේ වැඩක් නෙවෙයිද?

මම ඔය කතාව අපේ දුවලට කිව්වේ තමන්ගේ සහකරුවා ගැන ඕනවට වඩා හිතන්න එපා කියලවත්, හැමවෙලාවෙම ඔහුව තමන්ට වැඩියෙන් අඩියක් පිටිපස්සෙන් තියන්න කියලාවත් කියන්න නෙවෙයි. තමන්ගේ සැමියා හෝ පෙම්වතාගේ ගැන හිතන තරමටම තමනුත් ලස්සනට හිටියේ නැත්නම් අවසානයේ තමන්ගේ ජීවිතය ආපස්සට යනවා කියන එක කියන්න ඕන නිසා.

මේ සිදුවීම නම් මටම වුණ දෙයක්. දවසක් මම රූපවාහිනී වැඩසටහනකට යන්න ලෑස්තිවෙන අතරතුරේදි අපේ ලොකු පුතා මාව එයාගේ කාමරේට අරගෙන ගිහිල්ලා මූණේ ක්‍රීම් වර්ග ගොඩක් ගාලා හෝදලා පිහිදැම්මා. පස්සේ  තමයි මම දැනගත්තේ එයා ඒ මට කරලා තියෙන්නේ ෆේෂල් එකක් කියලා. ඊටපස්සේ මම ඇහුවා පුතා කාගෙන්ද ඕවා ඉගෙනගත්තේ කියලා. එතකොට එයා කිව්වා අප්පච්චි මට මේවා කියලා දුන්නෙ නංගි කියලා.

දැන් බලන්න එතැනදිත් නංගි තමයි අයියට ලස්සන වෙන හැටි උගන්වලා තියෙන්නෙ. ඒකෙන් පැහැදිලි වෙන්නේ පිරිමින්ගේ කඩවසම් පෙනුම පිටිපස්සේ කොතැනක හරි ගෑනු චරිතයක් ඉන්නවා කියන එක නෙවෙයිද? එතකොට මම එදා කල්පනා කළේ මගේ දුව දවසක එයාගේ අයියට වගේම මහත්තයටත් ඒ දේවල් කියලා දෙයි කියන එක. එහෙම වුණත් ඒකෙ කිසිම වරදක් නෑ. වරදක් වෙනවානම් වෙන්නෙ මහත්තයව ලස්සන කරලා එයා ගෙදර දුම්මැස්සට අකලට පැහෙන්න පටන්ගත්තොත් තමයි.

අවසාන වශයෙන් ඔය හැමදේකින්ම මට අපේ දුවලට කියන්න ඕනෙ වුණේ අනිත් අයව ලස්සන කරන ගමන් තමනුත් ලස්සනට පිළිවෙලට ඉන්න කියන එක. එහෙම නැත්නම් කොයිතරම් ඔයා මගේ මම ඔයාගේ කියාගෙන ඉන්න කෙනෙකුට වුණත් පහු පහු වෙනකොට ඔයාලව කොහු කොහු වෙලා පේන්න ගන්න පුළුවන්.

ලිහිණි මධුෂිකා