ඉවුම් පිහුම්

ආස්මී

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු කැකුළු හාල් 500g

මිටිකිරි 100ml

දවුල් කුරුඳු කොළ 200g

තෙල් 1L

සීනි 150g

බීට්රූට් යුෂ මේස හැඳි 1

ලුණු තේ හැඳි 1/4

 

සාදන ක්‍රමය

හාල් සෝදා පැයක් පමණ වතුරේ පෙඟෙන්නට හරින්න.

වතුර අස්කර හාල් පෙරා විනාඩි 10ක් පමණ තියන්න.

හාල් කොටා 4 වරක් පමණ හලාගන්න.

දුහුල් මල්පීස් රෙදි කැබැල්ලකින් මෙය නැවත වරක් හලාගෙන එයට ලුනු එක්කරගන්න.

පිරිසිදු භාජනයක් ගෙන සෝදාගත් දවුල්කුරුඳු කොළ දමා එයට මිටිකිරි එක්කර අතින් හොඳට පොඩිකර නානු පෙරාගන්න.

එම නානු මිශ්‍රණය හාල් පිටිවලට දමා හොඳින් කලවම් කරගන්න.

සාදාගත් මිශ්‍රණයට ඇඟිලි දමා ඉහළට එසවූ විට නූලක් ලෙසට පහළට වැටිය යුතුය.

තාච්චියක් ලිප තබා තෙල් දමා රත්වෙන්නට හැර ආස්මි හැන්දට මිශ්‍රණය දමා අඟල් 6ක් පමණ ඉහළට ඔසවා ඉඳිආප්ප සාදන ආකාරයට රත්වූ තෙල් තාච්චියට වත් කරන්න.

ඉන්පසු බාගෙට බැදෙනවිට දෙකට නවා මැද තද නොවෙන පරිදි වටේට සම්බන්ධ කරගන්න.

බැදගත් පසු තෙල් භාජනයෙන් අයින් කර දින 3ක් හුළං නොවදින සේ තබාගන්න.

දින 3කට පසු නැවත බදින්න.

සීනි, බීට්රූට් හා වතුර තේ හැඳි 4ක් දමා උණුකර, පත්පැණි ගානට එනවිට බැදගත් ආස්මිවලට උඩින් වත්කරගන්න.

**ආස්මි හැන්දක් නොමැතිනම් සුද්දකරගත් පොල්කට්ටක් ගෙන එහි වටේට අඟලේ ඇණයකින් සිදුරු 20ක් පමණ සාදාගන්න. දවුල් කරුඳු වෙනුවට බණ්ඩක්කා යොදාගත හැකිය.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා