රූපලවන්‍ය

කෙසෙල්ලන්තේ වැසියන්ට කෙසෙල් වලින් ලස්සන වෙන්න විදියක්

බබාලන්තය, ට්‍රැක්ලන්තය, අයර්ලන්තය, එංගලන්තය වගේ නොයෙකුත් ලන්ත ගැන අහලා තිබුණට මොකද කෙසෙල්ලන්තය ගැන ගොඩක් දෙනෙක් අහලා නැති බවනම් විශ්වාසයයි. ඒ අයට දැනගන්නත් එක්ක ‘බනානා රිපබ්ලික්’ නැත්නම් කෙසෙල්ලන්තෙ ගැන මේ කතාව කියලම අද බියුටි මාතෘකාවට එන්නම්.

හැමදාම දුක් විඳින, වැඩ කරන ජනතාවක් එක්ක සැප විඳින ධනපති පන්තියකුත් ඉන්න රටවල්වලට බටහිර උදවිය කිව්වේ කෙසෙල්ලන්තයක් කියලා. ගොඩක් වෙලාවට මේ කියන රටවල්වලට තිබුණේ කෙසෙල් නැත්නම් ඒ වගේ වෙනත් එකම එක අපනයන භෝගයක් විතරයි. ඉතින් කෙසෙල් විතරක් පිටරට යවලා බඩගොස්තරේ සරි කරගත්තු මධ්‍යම ඇමරිකානු රටවල්වලට කෝචොක් එකට වගේ ඒ කාලෙ බොහොමයක් උදවිය ඒ රටවල්වලට බනානා රිපබ්ලික් කියලා නමක් පටබැන්දා. ඒ විදියේ දේශපාලනික කෝනෙකින් බැලුවහමනම් ඉතින් අපේ රටට වුණත් මේ නම කියන එකේ වරදක් නෑ. 

දේශපාලනික කාරණාව පැත්තකින් තියලා කවුරුහරි අපේ රටට ඇත්තටම කෙසෙල්ලන්තයක් කියලා කිව්වොත් ඒකට විරුද්ධ වෙන්න පුළුවන්කමකුත් අපිට නෑ. මොකද ඔය කොයි කාටත් වඩා එක එක පාටින් වගේම රසයෙනුත් වෙනස් කෙසෙල් වර්ග අටෝරාශියක් විතර අපේ රටේ තියෙන නිසා. 

සමහරු ඇටිකෙහෙල් ගිලපු උගුඩුවෝ වගේ මේ මොකුත්ම නොදන්න තාලෙට හිටියට කෙසෙල් එක්ක තියන අපේ හාදකම අද ඊයේ පටන්ගත්තු එකක් නෙවෙයි. ඒක ක්‍රි.ව. 341 දක්වා ඈතට දිවෙන එකක්. ලංකාවේ රජවරු අතරේ බොහොම දක්ෂ වෛද්‍යවරයෙක් විදියට ප්‍රසිද්ධ වෙච්ච බුද්ධදාස රජතුමා ලියපු සරාර්ථ සංග්‍රහය කියන පොතේත් කෙසෙල් ගැන බොහොම හොඳ වර්ණනාවක් කරලා තියනවා. කෙසෙල් ගෙඩිය විතරක් නෙවෙයි කෙහෙල් ගසේ හැම කොටසක්ම බෙහෙතට ගන්න පුළුවන් කියලයි රජ්ජුරුවෝ ඒ පොතේ ලියලා තියෙන්නේ. 

ඒ හින්දා ඕන කෙහෙල් මලක් වෙන්න කියලා මේ පාර කෙසෙල්වලින් ලස්සන වෙන විදිය කියන්න ඕන කියලයි අපි හිතුවේ.

 

තෙල් සහිත සමට 

කෙසෙල් කියන්නේ විටමින් C, E, A, ඇරුනම පොටෑසියම් සහ සින්ක් කියන සංඝටකත් බහුල පලතුරක්. මේ කියන සංඝටකවලට සම පිරිසිදු කරන්න වගේම සමේ තෙතමනය රැක දී පැහැපත් බවක් ලබාදෙන්නත් හැකියාව තියනවා. ඒ නිසා තෙල් සහිත සමක් තියන කෙනෙකුට මෙන්න මේ විදියේ ෆේස් පැක් එකක් හදලා මූණට ආලේප කළොත් ඉතාම හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. 

ගස්ලබු, පිපිඤ්ඤා සහ කෙසෙල් සම ප්‍රමාණවලින් අරගෙන හොඳින් පොඩි කර ස්මූත් පේස්ට් එකක් හදාගන්න. ඊටපස්සේ මේ පේස්ට් එක මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 15ක් තිබෙන්නට හැරලා මඳ රස්නය සහිත උණුවතුරෙන් සෝදා හරින්න. 

 

කුරුලෑ නැති කරන්න

කුරුලෑ මට්ටු කරන්නත් කෙසෙල්වලට පුළුවන්. කෙසෙල්වල අඩංගු විටමින් C මගින් සමේ ඇති ඉදිමුම්, ඉරිතැලීම් වගේ ප්‍රදාහයන් දුරින්ම දුරු කරලා දානවා. මේ නිසා ඔබ කුරුලෑ, ඇක්නි හෝ මුහුණේ වළවල් නිසා පීඩා විඳින කෙනෙක්නම් මෙන්න මේ පැක් එක මුහුණට ආලේප කරලා බලන්න. 

ඉදුණු කෙසෙල් ගෙඩියක බාගයක් හොඳින් පොඩි කර ඒකට කහ තේ හැන්දක් සහ කොහොඹ කුඩු තේ හැන්දක් බැඟින් එක් කරන්න. ඊටපස්සේ ඒ මිශ්‍රණය මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 20ක් තිබෙන්නට හැර සෝදා හරින්න.

 

තරුණ බව රැකගන්න

වයසට වඩා වැඩියෙන් වයස පේන අයට තමයි මේ ප්‍රතිකාරය. මේ වැඩේට කෙසෙල් ඇරුනම යෝගට් ටිකකුත් ඕනෑ වෙනවා. යෝගට්වල තියෙන ප්‍රතිඔක්ස්කාරක ගුණයට පුළුවන් සම මතුපිට ඇතිවන රැළි ගතිය පාලනය කරන්න. ඒ වගේම යෝගට්වල ලැක්ටික් අම්ලයත් අඩංගු වෙන නිසා සමට එක හා සමාන පැහැපත් බවක් ලබාදෙනවා වගේම සම මතුපිට ඇති සිදුරු අවම කරන්නත් පුළුවන්. ඒ වගේම කෙසෙල් හා යෝගට් එකට එක්වුණු මිශ්‍රණයකට ඔබේ වයසට යන පෙනුම පාලනය කර කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරන්නත් පුළුවන්.

ඉදුණු කෙසෙල් ගෙඩියකින් බාගයක් හොඳින් පොඩි කරලා ඒකට යෝගට් තේ හැඳි දෙක හමාරක් එකතු කර ස්මූත් පේස්ට් එකක් හදාගන්න. ඊටපස්සේ ඒ මිශ්‍රණය මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 15කට පසු සෝදා හරින්න.

 

වියළි බව පලවා හරින්න 

වියළි සමකට වුණත් කෙසෙල්වලින් ඉතා හොඳ සත්කාරයක් කරන්න පුළුවන්. මොකද කෙසෙල්වල තියෙන පොටෑසියම්, විටමින් A සහ E වලට පුළුවන් සමේ වියළි බවට එරෙහිව සටන් කරන්න. විටමින් E මඟින් සම මත ඇති අඳුරු පැහැ පිළිස්සුම් වැනි ලප (free radicals) වලට එරෙහිව සටන් කරනවා. ඒ වගේම විටමින් A මඟින් සමේ පැහැපත් බවට අමතරව තෙතමනයද ලබා දෙනවා. මේ මිශ්‍රණයට පැණි ටිකකුත් එකතු වුණාම සමේ තෙතමනය බොහෝ වේලාවක් රඳවා ගන්න පුළුවන්. 

හොඳින් පොඩි කරගත් ඉදුණු කෙසෙල් ගෙඩියකට පැණි සහ පොල් තෙල් තේ හැන්ද බැඟින් එකතු කරන්න. මිශ්‍රණය සමට ආලේප කර විනාඩි 15කට පසු මඳ රස්නය සහිත උණුවතුරින් සෝදා හරින්න. 

 

පැහැපත් දිදුලන සමකට

සම පැහැපත් කරන කෙසෙල්වල අඩංගු සංඝටක ඇරුනම මේ සත්කාරය සඳහා නැවුම් කිරි ටිකක් සහ රෝස වතුර ටිකකුත් අවශ්‍යයයි. නැවුම් එළකිරිවලට මැරුණු සම ඉවත් කරන්න වගේම රෝස වතුරවලට පැහැපත් සමක් ලබාදෙන්නත් පුළුවන්.

ඉදුණු කෙසෙල් ගෙඩියක් හොඳින් පොඩි කර ඊට පැණි සහ නැවුම් එළකිරි මිශ්‍ර කර ස්මූත් පේස්ට් එකක් හදාගන්න. ඊටපස්සේ ඒ මිශ්‍රණයට නැවත පැණි බින්දු දෙක තුනක් එකතු කර විනාඩි 15ක් පමණ තිබෙන්නට හැර සෝදහරින්න. 

සුරේෂ් විදානගමගේ