විශේෂාංග

අවුරුදු එක හමාරකින් නාලා නෑ දැන්වත් මට නාගන්න දෙන්න

මීට අවුරුදු දහතුනකට කලින් චිලී රාජ්‍යයේ සිද්ධවෙච්ච පතල් අනතුර ගැන මතක ඇතිනේ. 2010 අගෝස්තු 05 වැනිදා ඇටකාමා කාන්තාරයේ සැන්ජොසේ කියන රන් සහ තඹ ආකරය හදිසියේ කඩාවැටීමයි ඒ අනතුරට හේතුව. මේ අනතුර වුණේ පතල ඇතුළේ චිලී වගේම බොලිවියානු පතල් කම්කරුවන් 33ක් සේවය කරමින් ඉන්න වෙලාවක හින්දා ඒ ප්‍රවෘත්තිය එදා ලෝක මට්ටමේ ප්‍රවෘත්තියක් වුණා.

එදා පතල අස්සේ හිරවුණු කම්කරුවන්ට මීටර් 688ක් පොළොව යට දින 69ක් තරම් ලොකු කාලයක් නොකා නොබී හිරවෙලා ඉන්න සිද්ධවුණා. ඊටපස්සේ ස්පාඤ්ඤය රාජ්‍ය විසින්  සිදුකරපු විශාල මෙහෙයුමකින් පස්සේ තමයි ඔවුන්ව ආරක්ෂිතව ගොඩට අරගන්න පුළුවන් වුණේ. එතැන් පටන් ඔවුන් ඉතිහාසයට එකතුවුණේ පොළොව යට වැඩිම කාලයක් ජීවත්වෙච්ච ලෝකයේ පළවැනි මිනිසුන් කණ්ඩායම විදියට. අවසානයේ එය ලෝක වාර්තාවක් විදියටත් නම්කළා.

අපිට ඔය සිදුවීම මතක් වුණේ පසුගිය සතියේ ස්පාඤ්ඤයෙන් අහන්න ලැබුණු කතාවක් නිසා. ඒ කතාවේ කතානායිකාව තමයි බියට්‍රිස් ෆ්ලැමිනි. ඇය එරටේ ප්‍රසිද්ධ ත්‍රාසජනක මලල ක්‍රීඩිකාවක්. ඒත් පසුගිය කාලය පුරාවටම ඇය ගැන කිසිම කතාබහක් තිබුණේ නෑ. කොටින්ම මලල ක්‍රීඩිකාවක් විදියට ගෙවුණු අවුරුදු දෙක පුරාවටම ඇය තරඟ බිමේ දකින්න ලැබුණෙත් නෑ. කවුරුත් හිතුවේ ෆ්ලැමිනි තමන්ගේ ක්‍රීඩා දිවියට සම්පූර්ණයෙන්ම සමුදීලා හුදෙකලා ජීවිතයක් ගතකරනවා ඇති කියලා. ඒත් ඒ තර්ක විතර්ක හැම එකක්ම වගේ පුස්සක් කරලා පසුගිය සතියේ ඇය කවුරුත් නොහිතපු තැනකින් එළියට මතුවුණා. ඒ ස්පාඤ්ඤයේ ග්‍රෑන්ඩාහි පිහිටි ගුහාවකින්.

මං ගුහාව ඇතුළට ගියේ 2021 අවුරුද්දේ නොවැම්බර් 21 වැනිදා. ඒ කාලේ මුළු රටම කොවිඩ් වසංගතයට අහුවෙලා තිබුණේ. මට මතක එච්චරයි. මං තවම 2021 නොවැම්බර් 21 වැනිදා හිරවෙලා ඉන්නේ. එතැනින් එහාට මං ලෝකේ සිද්ධවුණු කිසිම දෙයක් දන්නේ නෑ.”

ෆ්ලැමිනි විදෙස් මාධ්‍යයට එහෙම කියලා තිබුණේ දින 500ක් පුරාවට ඇය ජීවත්ව හිටියයි කියන ගුහාවෙන් එළියට ඇවිත්. ඇය එහෙම කියද්දි කවුරු කවුරුත් පුදුමවුණේ කිසිම මිනිස් සබඳතාවයක් නැතුව එච්චර කාලයක් ඇය තනියම ගුහාවක හිටියෙ කොහොමද කියන එක ගැන.

මං ගුහාවට ඇතුල්වෙද්දි වයස අවුරුදු 48ක්. දැන් මට 50යි. ඒ කියන්නේ එච්චර කාලයක් මං මිනිස් ආශ්‍රයක් නැතිව නිහඬව හිටියා. ඒ කාලේ පුරාවටම මගේ තනියට හිටියේ මමම විතරයි. මං කතා කළේ මගේ එක්කම විතරයි.”

මේ අතරේ කාටත් ප්‍රශ්නයක් වුණේ අඩි 230ක් (මීටර් 70) තරම් ගැඹුරු ගුහාවක් අස්සට වෙලා මෙච්චර කාලයක් ෆ්ලැමිනි මොකද කළේ කියන එක. ඒකට ඇය දීලා තිබුණේ මෙහෙම උත්තරයක්.

මං පොත් කියෙව්වා. චිත්‍ර ඇන්දා, ලොම් තොප්පි ගෙත්තම් කළා. එතකොට ව්‍යායාම කළා. ඒ අතරේ තව දෙයක් කළා. ඒ තමයි ගුහාවට ගිය දවසේ ඉඳන් දින ගණන් කරපු එක. ඒත් පස්සේ ඒක හරි කම්මැලි වැඩක් කියලා හිතුණා. ඊටපස්සේ දින ගණන් කළේ නෑ. හැබැයි මං හිතුවේ නෑ ගුහාව අස්සේ මෙච්චර දවසක් නම් හිටියා කියලා. මං හිතාගෙන හිටියේ උපරිම දවස් 160ක් 170ක් ඉන්න ඇති කියලා.”

ෆ්ලැමිනි කියන විදියට ඇය ගුහාවට යද්දි ගිහින් තියෙන්නේ කෑමබීම වතුර එහෙමත් අරගෙන. ඒ විතරක් නෙවෙයි ලොකු පොත් මිටියකුත් අරගෙන ගිහින්. ගුහාවෙන් එළියට එද්දි ඇය පොත් හැටක් විතර කියවලා ඉවර කළාලු.

මං හිතන්නේ මේ අවස්ථාව විශිෂ්ට සහ පරාජය කරන්න බැරි අන්දමේ අත්දැකීමක්. හරියට හීනයක් වගේ. ඒත් ඉතින් හැමෝම දන්නවා මේක හීනයක් නෙවෙයි කියලා.”

ගුහාව අස්සේ ගතකරපු කාලේ ඇය කියන විදියට එක්තරා විදියකට සුන්දර අත්දැකීමක් වුණත් තමන් ගොඩාක් දුෂ්කර අවස්ථාන්වලටත් මුහුණදුන්නා කියලයි ෆ්ලැමිනි විදෙස් මාධ්‍යයට කියලා තිබුණේ.

එක කාලයක් තිබුණා ගුහාව ඒ කාලේ සම්පූර්ණයෙන්ම මැස්සන්ගෙන් පිරුණා. ගුහාව මැස්සෝ විසින් ආක්‍රමණය කළා කිව්වොත් හරි. ඒ කාලේ මැස්සෝ මාව වහගෙනයි හිටියේ. මතක් වෙද්දිත් ඇඟට මොකක්ද වෙනවා.”

ඇය ගුහාව අස්සේ ගතකරපු කාලේ වතුර ලීටර් දාහක් විතර බිව්වලු. හැබැයි ඉතින් නාන්න නම් බැරිවුණාලු. ගුහාවෙන් පිටතට ආපු ගමන් ඇයගෙන් විදෙස් මාධ්‍ය ප්‍රශ්න පිට ප්‍රශ්න අහද්දියි ඒ කතාව ඇගේ කටින් එළියට පැන්නේ.

මං ඔයාලා අහන ප්‍රශ්නවලට තව ටිකකින් උත්තර දෙන්නම්. දැන් මට හොඳට නාගන්න ඕනේ. මොකද අවුරුදු එකහමාරකින් විතර මං නාලා නෑ.”

මේ අතර ස්පාඤ්ඤ මාධ්‍ය සඳහන් කරන්නේ ෆ්ලැමිනි තනියම ගුහාවක් අස්සේ ලොකු කාලයක් ජීවත්වුණු හින්දා ඒක ලෝක වාර්තාවක් වෙන්න ඕන කියලා. ඒත් මේ මොහොත වෙනකොටත් ඒ ගැන නම් කිසිම දෙයක් ප්‍රකාශ වෙලා නෑ. ඒ විදියට ස්පාඤ්ඤය ඇය කරපු දේ ලෝක වාර්තාවක්ද කියලා ප්‍රශ්න කරද්දි ලෝකයටම ෆ්ලැමිනිව දැන් ප්‍රශ්නයක් වෙලා. ඒ ඇය මෙච්චර කාලයක් ගුහාවක් අස්සේ හිටියේ මොකද කියන කාරණාවත් එක්ක. ඒකට නම් කොතැනකදිවත් ඇය කෙළින් උත්තරයක් දීලා නෑ. හැබැයි හැමෝම හිතන්නේ නම් ලෝකයටම පිළිලයක් වෙලා තිබුණු කොරෝනාවෙන් බේරෙන්න හිතාගෙන ඇය මේ වගේ හිතාගන්න බැරි විදියේ තීරණයක් ගන්න ඇති කියලයි.

රුවන් එස්.සෙනවිරත්න