විශේෂාංග

හැඩ වෙන්නනම් ඕනේ ‘අබ’ සරණයි නෝනේ

ඉන්දියාවේ මහාරාවල් රතන් සිං කියලා රජ කෙනෙක් හිටියා (කි.පූ 1303). ඔහුගේ අගබිසවගේ නම නග්මතී. ඉතින් මේ නග්මතී බිසව ලංකාවේ කහ මූණේ ගාන්න එහෙම ප්‍රියයිලු. ඒ වගේම ඇය අපේ රටේ මුතුවලටත් ප්‍රිය කළාලු. ඉතින් ඇයට ඕන කරන කහ සහ මුතු හොයාගෙන මේ රජතුමා ඒ කාලේ අපේ රටට එනවලු. ඔය විදියට රැජිණට අවශ්‍ය කහයි මුතුයි හොයන්න ආව එක දවසක රජුට බොහොම සුන්දර ලාංකික කුමාරියක් මුණගැහිලා. පස්සේ කහ සහ මුතු හෙවිල්ල පැත්‍තකින් තියලා රජු ඇයව විවාහ කරගත්තාලු. ඇය තමයි ඉන්දියානු ඉතිහාසයේ බොහොම ප්‍රකට රැජිණක් වන පත්මාවතී රැජිණ.

ඇය විතරක් නෙමෙයි ඔය කාලේ ලංකාවේ හිටි හැම කුමරියක්ම, බිසවක්ම රූපශ්‍රීයෙන් හරි අගතැම්පත්ලු. රහස ඔවුන් භාවිතා කළ ස්වභාවික සත්කාර කියලයි කියන්නේ. කහ, කුරුඳු ඇතුළු කුළුබඩුත් ඔය අතරේ තිබිලා තියෙනවා. ඒ කාලේ ඉඳලම අපේ කුළුබඩු ලෝකේ පුරා ප්‍රකටයි. ඉන්දියාවේ රැජිණියන් පවා ලංකාවේ කහවලට රුචිවෙන්න ඇත්තේ ඒකයි. ඉතින් ගෙදර කුස්සියේ තියෙන කුළුබඩුවලින් ලස්සන වෙන හැටි කියලා දෙන එක වටීවි කියලා හිතුවා.

කුළුබඩු කියන්නේ ආහාර රසගන්වන්න සහ කල්තියාගන්න භාවිතා කරන ස්වභාවික දේට. කුළුබඩු භාවිතයට බොහොම දීර්ඝ අතීතයක් තියෙනවා. රෝමවරු, ඊජිප්තුවරු, බැබිලෝනියන්වරු වගේ පුරාණ ජනකොටස් ආහාර විදියට විතරක් නෙමෙයි සම පැහැපත් කරගන්නත් කොත්තමල්ලි, කුරුඳු, ගම්මිරිස්, කරාබුනැටි වගේ කුළුබඩු භාවිත කළ බවට සාක්ෂි තියෙනවලු.

අපේ රටේ උදවියත් බොහොම කාලෙක ඉඳලා කුළුබඩු පාවිච්චි කරලා තියෙනවා. ඉස්සර හෙළ වැසියෝ කුළුබඩු තෙලෙන් බැද භාවිත කළ බව ථූපවංශයේ සහ සද්ධර්මරත්නාවලියේ සඳහන්. ඉස්සර මිනිස්සු එදිනෙදා භාවිතේට ඕන කරන ඉඟුරු, දුරු, සිද්ධිඟුරු, වහපුල් (කුරුඳු) ආදිය නිවෙස් වටා වැව්වාය කියලයි කාව්‍යශේකරයෙන් කියැවෙන්නේ. රොබට් නොක්ස්ගේ ‘එදා හෙළදිව’ ග්‍රන්ථයේ පවා අපේ රටේ කුළුබඩු ගැන වර්ණනා කෙරෙනවා.

අපේ රට බටහිර ජාතීන් අතරේ ප්‍රචලිත වෙන්න කුරුඳු, ගම්මිරිස් වගේ කුළුබඩුත් හේතු වුණා. ලංකාවේ ගම්මිරිස්වලයි, කුරුඳුවලයි තිබුණු රසය, ගුණය සහ සුවඳට පිටරැටියෝ පිස්සු වැටුණලු. ඉතින් අපේ රට යටත්විජිතයක් බවට පත්වෙන්න කුළුබඩුත් ප්‍රධාන හේතුවක්. ආහාර රසගන්වන්න විතරක් නෙමෙයි ඔවුන් ඒවගෙන් රූපලාවණ්‍ය ආලේපන පවා නිපදවා තියෙනවා. දැනටත් කුළුබඩුවලින් නිෂ්පාදිත රූපලාවණ්‍ය ආලේපන යුරෝපයේ හරි ප්‍රසිද්ධයි.

මුලින්ම අපි කතා කරමු කහ ගැන. ආයුර්වේදයේදි කහවලට කියන්නේ හරිද්‍රා කියලා. විෂබීජ නාශනය කරන්න පුළුවන් අපූරු බලයක් කහවලට තියෙනවා. කුරුලෑ අවම කරන්න, සම පැහැපත් කරන්න වගේම සමේ රැළි ඇතිවීම ප්‍රමාද කරන්නත් කහ භාවිතා කරන්න පුළුවන්. අමුකහ හොඳට වේලලා කොටලා අරගෙන තමයි අපි ඔය කෑමට දාන කහ කුඩු හදාගන්නේ. ඉස්සර උදවිය නම් නම් කහ කුඩු  ගෙදරදිම හදාගන්නවා. හැබැයි දැන් නම් ගොඩක් වෙලාවට අපි කහ කුඩු ගන්නේ වෙළඳපොළෙන්. කඩෙන් ගේන කහ කුඩු වෙනත් දෑ මිශ්‍ර කරපු නැති පිරිසුදු කහ ද කියන එක මුලින්ම හොයාගන්න ඕනේ. එහෙම හොයාගන්න බැරි නම් කන්නයි, මූණේ ගාන්නයි දෙකටම කහ කුඩු ටිකක් ගෙදරම හදාගන්න. ඊටපස්සේ මේ කහකුඩු ස්වල්පයක් වතුර එක්ක මිශ්‍ර කරලා සමේ ආලේප කරන්න. විනාඩි 20ක් විතර තියලා සෝදලා අරින්න.

ඊළඟට අපි කතා කරමු කුරුඳු සත්කාරය. කුරුඳුවල සිනමල්ඩිහයිඩ්, ෆ්ලේවනොයිඩ් සහ පොලිෆෙනෝල් කියන සමට හිතකර ප්‍රතිඔක්සිකාරක අඩංගුයි. ඉතින් සමේ තෙතමනය වැඩි කරන්න, කොලජන් උත්තේජනය කරන්න විතරක් නෙමෙයි කුරුලෑ අවම කරන්නත් කුරුඳුවලට පුළුවන්. කරන්න තියෙන්නේ කුරුඳු කුඩු ස්වල්පයක් ජලයේ නැත්තම් මී පැණිවලට මිශ්‍ර කරලා සම මත ආලේප කරන එක. කුරුලෑ තියෙන කෙනෙක්ට වුණත් මේ සත්කාරය කරන්න පුළුවන්. මිශ්‍රණය විනාඩි පහළොවක් විතර තියලා සෝදලා අරින්න. මේ සත්කාරය සතියට දවස් තුනක් විතර කරන්න පුළුවන් නම් හොඳ ප්‍රතිඵල ලබාගන්න අමාරු නැහැ.

මුළුතැන්ගෙයින් පහසුවෙන්ම හොයාගන්න පුළුවන් සුදුලූනුත් සමට හරිම හිතකරයි කියලා ගොඩක් අය දන්නේ නැහැ. සුදුලූනුවල ඇලිසින් කියලා ප්‍රතිබැක්ටීරියාකාරකයක් තියෙනවා. ඒ නිසා කුරුලෑ ඇතිකරන බැක්ටීරියා විනාශ කරන්න සුදුලූනුවලට පුළුවන්. කොලජන් උත්තේජනය කිරීමේ හැකියාවකුත් තියෙන නිසා වයසට යන්න අකමැති අයට හොඳම දෙයක් තමයි සුදුලූනු කියන්නේ. සුදුලූනු බිකක් අරගෙන හොඳින් පොඩි කරන්න. ඒකට වතුර ටිකක් මිශ්‍ර කරලා සමේ ආලේප කරන්න. විනාඩි දහයක් තියලා හෝදලා අරින්න.

සුදුලූනුවල තියෙනවාය කිව්ව ඇලිසින් ඉඟුරුවලත් තියෙනවා. ඒ නිසා සමේ කුරුලෑ ඇතිවීම පාලනය කරන්න ඉඟුරුත් හොඳයි. ඉඟුරු කෑල්ලක් අරගෙන කැබලිවලට කපලා වතුර කෝප්පෙක දාලා රැයක් තියන්න. පහුවෙනිදා මේ ජලයෙන් මූණ සෝදන්න. නැත්තම් මේ ජලය ටෝනර් එකක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉඟුරු කැබැල්ලක් තලලා වතුර කෝප්පෙක විනාඩි දහයක් විතර තියන්න. පස්සේ දෙහි යුෂ ස්වල්පයකුත් එකතු කරලා මිශ්‍රණයෙන් මුහුණ සෝදලා වියැළෙන්න අරින්න.

ලංකාවේ ගම්මිරිස්වලට ඉස්සර සුද්දෝ කිව්වෙ කළු මුතුඇට කියලලු. ඉතින් මේ කළු මුතුඇටවලත් වයසට යාම ප්‍රමාද කරන ප්‍රතිඔක්සිකාරක අඩංගුයි. සමේ සිහින් රේඛා, අඳුරු ලප ඉවත් කරන්න ගම්මිරිස් භාවිතා කරන්න පුළුවන්. ගම්මිරිස් ඇට කිහිපයක් තලලා වතුරේ දාලා රැයක් තියන්න. ඊටපස්සෙ ගම්මිරිස් කැබලි ටික පෙරලා අර ජලය පුළුන් කෑල්ලකින් මුහුණේ ආලේප කරන්න. මේ සත්කාරය සතියට දින දෙකක්වත් කරනවා නම් වඩා හොඳයි.

ඖෂධීය ගුණයෙන් ඉහළම කුළුබඩුවක්නේ කොත්තමල්ලි කියන්නේ. මීට වසර දහසකට කලින් ලියැවුණු ‘චරක සංහිතාව’ කියන ග්‍රන්ථයේත් කොත්තමල්ලිවල ගුණ ගැන ලියවිලා තියෙනවලු. ඇස් වට අඳුරු ස්වභාවය ඉවත් කරන්න වගේම සම පැහැපත් කරන්න අපිට කොත්තමල්ලි යොදාගන්න පුළුවන්. කොටාගත්තු අමු කොත්තමල්ලි ජලයේ පොඟවලා ඒ ජලයෙන් මුහුණ සෝදන එකයි කරන්න තියෙන්නේ.

සමේ තියෙන ලප කැලැල් මකන්න හොඳම කුළුබඩුව තමයි කරාබුනැටි. කරාබුනැටි කුඩු මී පැණිවලට මිශ්‍ර කරලා ලප කැලැල්වල අලේප කරන්න. මේ සත්කාරයත් සතියට දවස් තුනක් විතර කරන්න පුළුවන් නම් හොඳයි. ලප මකන්න සූදුරුත් හොඳයි. සූදුරු කුඩු ජලයෙන් අඹරලා ලප මත ආලේප කරන්න පුළුවන්. හිරුඑළිය නිසා ඇතිවුණු පිළිස්සීම්, රතු ලප නැති කරන්න මහදුරු ආලේප කරන්න. මහදුරු තේ හැන්දක් වතුර කෝප්පෙක පොඟවලා ඒ ජලයෙන් මුහුණ සෝදන්න.

විටමින් සී, බී 12 අඩංගු නිසා උළුහාල්වලට සමේ පැහැය වැඩි කරගන්න පුළුවන්. උළුහාල් ඇට කිහිපයක් ජලයේ අඹරලා සමේ ආලේප කරන්න. විනාඩි පහළොවක් විතර තියලා සෝදලා අරින්න.

අබ කියන්නෙත් සමට හොඳ කුළුබඩුවක්. බුද්ධ කාලේ ඉඳලා අබ භාවිතා වුණාය කියන්න හොඳම උදාහරණය කිසාගෝතමීගේ කතා වස්තුව. අබවලට පුළුවන් අපේ සම මෘදු කරන්න. හැබැයි අබ ඍජුවම සමට ආලේප කරන්න එපා. වෙළඳපොළේ තියෙනවා අබ තෙල්. දිනපතා නින්දට කලින් දෑත් සහ දෙපාවල මේ තෙල් ආලේප කරලා මෘදුව සම්බාහනය කරන්න පුළුවන්.

ඊළඟට සාදික්කා. සමේ සිදුරු සහ තෙල් සහිත ස්වභාවය අවම කරලා සමේ තෙතමනය වැඩි කරන්න  සාදික්කාවලට පුළුවන්. අනික විෂබීජනාශක ගුණයකුත් තියෙන නිසා කුරුලෑ තියෙන අයටත් මේ සත්කාරය පලදායකයි. සාදික්කා කුඩුවලට ජලය මිශ්‍ර කරලා මුහුණේ ආලේප කරන්න. විනාඩි දහයක් තියලා සෝදලා අරින්න.

මේ කිව් ඕනම කුළුබඩුවක් කඩල පිටි, යෝගට් වගේ වෙනත් ද්‍රව්‍ය එක්ක මිශ්‍ර කරලත් ආලේප කරන්න පුළුවන්. හැබැයි අපි අද කතා කළේ කාලේ තාලෙට ගැලපෙන අවම මිලෙන් කරගන්න පුළුවන් සත්කාර ගැන විතරයි. බාහිර වශයෙන් සමේ ආලේප කරනවට  අමතරව කහ, කුරුඳු, සූදුරු, මහදුරු වගේ දේ කිරි එක්ක මිශ්‍ර කරලා පානය කරන්නත් පුළුවන්. උළුහාල්, ඉඟුරු සහ සුදුලූනු තම්බලා බිව්වහමත් සම පැහැපත් වෙනවලු. ඒ වගේම කියන්න ඕනේ ලස්සනට ඉන්න කැමති නම් එදිනෙදා කෑමවේලට යහමින් කුළුබඩු එකතු කරන්නත් අමතක කරන්න එපා.

සෙව්වන්දි හෙට්ටිආරච්චි