රූපලවන්‍ය

බළල් ශාපයෙන් මිදෙන්න අපිත් ඇහිබැම කපන්න ඕනද?

ඇහිබැමි හැදූ වරදට ශිෂ්‍යාව විශ්වවිද්‍යාලයෙන් දොට්ට

ආගමේ නීතිවලට එපිටින් ඇහිබැම හැඩකරලා කැම්පස් එකෙන් අයින් කරාපු ‘ජස්බීන් කවුර්’ කියන සික් ජාතික තරුණිය ගැන ඉන්දියාවේ පත්තරවල පළවුණේ ඔහොමයි. ඔයින් පස්සේ ජස්බීන් තමන්ට වෙච්චි අසාධාරණයට අධිකරණයෙන් පිහිටක් පැතුවා. ගින්නට පිදුරු වැටෙන්නා වගේ හර්යානා අධිකරණයෙනුත් කිව්වේ ආගමික නීති කඩකරන ළමයින්ව එළියට දාන්න අධ්‍යාපන ආයතනවලට අයිතියක් තියෙනවා කියලයි.

පවුලේ වෙඩිමකට ඇහිබැමි හැදුවයි කියලා උරණ වෙච්චි ගුරුවරියක් උසස් පෙළ ගෑනු දරුවෙක්ව පැය තුනක් දණගස්සවලා තිබ්බය කියලා නිවුස් එකක්  නාවලපිටිය පැත්තෙනුත් ඇහුණා. පාසල් ළමයින්ගේ ඇහිබැම හදාපුවයි, රැවුලේ නීට් එකයි, සපත්තුවේ පොලිෂ් එකයි හොයලා හදපු රට මේකද කියලයි  ඔතැනදි ඇතැම්මු ප්‍රශ්න කරලා තිබ්බේ.

එව්වා මෙව්වා මොනවා වුණත් ගෑනුන්ගේ මූණු කළඑළි කරන්න ඇහිබැම දෙජෝඩුවට පුළුවන් කියන කතාව නම් ඇත්ත. ‘Eyebrow can make or break your look’ කියලා ඉංග්‍රීසි කියමනකුත් තියෙනවා. පෙනුම ලස්සන කරන්නත් කැත කරන්නත් ඇහිබැමවලට පුළුවන් කියන එකයි ඒකේ තේරුම. ඇහිබැම හරියට හැඩකරන හැටියි එව්වා ලස්සනට වවාගන්න හැටියි තමයි අද කියන්නේ.

ඇහිබැම කිව්වහම රංගවේදී ටෝනි රණසිංහ මහත්තයා මාධ්‍ය සාකච්ඡාවකදි හිනාවෙවී කියාපු කතාවක් මතක් වුණා. රඟපාන්න ආපු මුල් කාලේ ඔහු නිතරෝම ඇහිබැම උඩට යවනවලු. ‘දෙලොවක් අතර’ චිත්‍රපටය රූගත කරන්න ගියපු වෙලෙත් ඇහිබැම උස්සන වැඩේ පුරුද්දට වගේ සිද්ධ වුණාලු.

ටෝනි කතා කරනකොට ඇහිබැම නටවන්න එපා.”

චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා කීපසැරයක්ම කිව්වත් ටෝනිට ඒ වැරැද්ද හදාගන්න බැරිවෙලා.

දැන් ඉතින් ඇහිබැම කපලා දාන්න තමයි වෙන්නේ.”

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා ඒ පාර කියලා තියෙන්නේ සැරෙන්. ටෝනි රණසිංහ රංගනවේදියා එදා ඉඳලා කිසිම දවසක රඟපාද්දි ඇහිබැම නටවන්න ගියේ නැතිලු.

ඔය ඇහිබැම කපන වැඩේත් මුලින්ම පටන් අරන් තියෙන්නේ ඊජිප්තුවේ අය. ක්ලියෝපැට්‍රා රැජිණ වගේම නෙෆටිටි රැජිණත් ඇහිබැම ගැන හරියට හිතුවලු. ඒ කාලේ ලලනාවන් වගේම පිරිමි පාර්ශවයත් ඇහිබැම කපලා පාට ගාලා හැඩ කළාලු. ගෙදරක බළලෙක් ආන්තරා වුණොත් ඒ බළලගේ ශාපෙන් මිදෙන්න පවුලේ හැමෝම සම්පූර්ණයෙන්ම ඇහිබැම කපලා දැම්මලු.

පෙනුම වැඩි කරගන්න ගෑනු ඇහිබැමේ දුම්මලයි අඟුරුයි ගානවා කියලා ප්‍රසිද්ධ රෝම කවියෙක් වුණු ඔවිඩ් කියලා තියෙනවා. ස්ත්‍රී ඇහිබැම දේදුන්නට සමාන කරලා ලියාපු කාව්‍ය වර්ණනා අපේ සාහිත්‍යයෙත් නැතිව නෙමේ.

මධ්‍යතන කාලේ ජපන් ගෑනු දේදුනු තාලෙට ඇහිබැම හදද්දි ඒ කාලෙම එංගලන්ත ගෑනු ඇහිබැම බූ ගාලා. ඒක ඒ කාලේ හිටපු පළමු එළිසබෙත් රැජිනගේ නීතියක්.

හැට හැත්තෑව දශකවල ඉඳළම අපේ රටේ අයත් ඇහිබැම හදන්න අරන්. හීන් නූල් ගාණට ඇහිබැම හීනි කරන එකලු ඒ කාලේ විලාසිතාව. ඉතින් ඒ කාලේ සමහරු සම්පූර්ණයෙන්ම වගේ ඇහිබැම කපලා සිහින්වට පැන්සලකින් පාට කරනවලු. වතුර, දහදිය වගේ දේවල් අපේ ඇහැට යන එක වළක්වන්න තමයි ස්වභාවික ඇහිබැම හැදිලා තියෙන්නේ. ඒ නිසා ඇහිබැම සම්පූර්ණයෙන්ම ඉවත් කරන එක ඇහැට හොඳ නැහැ.

දැන් ට්‍රෙන්ඩ් එක ඇහිබැම මහතට හදන එක. ඒ නිසා දැන් ඇහිබැම කපන එක කෙසේ වෙතත් වවාගන්න තමයි ගොඩක් අය දත කන්නේ. ඇහිබැම මහතට දිගට පෙන්නන්න දැන් මයික්‍රෝබ්ලේඩින්, අයිබ්‍රෝව් ටැටූ වගේ දේවලුත් කරනවා.

ඇහිබැම සම්පූර්ණයෙන්ම අයින් කරලා අයිබ්‍රෝව් වගේ පේන්න ටැටූ එකක් ගහන එකටයි අයිබ්‍රෝව් ටැටූ කියන්නේ. මේ විදියට ටැටූ එකක් ගැහුවහම ගලේ කෙටූ අකුරු වගේ ඒ පච්චේ ජීවිතේට යන්නේ නැති නිසා මූණේ ටැටූ කොටන්න කලින් දෙපාරක් හිතන එක හොඳයි.

මයික්‍රෝබ්ලේඩින් කියන්නෙත් කැමති විදියට ඇහිබැම අඳින්න පුළුවන් තාක්ෂණයක්. වසර කිහිපයකින් ඉවත් වෙලා යන නිසා අයිබ්‍රෝව් ටැටූ වෙනුවට ගොඩදෙනා කරන්නේ මේක. අයිබ්‍රෝව් ටැටූ එකක් කළත් මයික්‍රෝබ්ලේඩින් එකක් කළත් පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පියෙක් තෝරගන්න එකයි අංක එක. නැත්තම් සම ආශ්‍රිත ආසාදන ඇතිවෙලා මූණේ නොමැකෙන කැළැල් ඇතිවෙන්නත් පුළුවන්.

මයික්‍රෝබ්ලේඩින් එකක් කළාට පස්සේ දවස් හතක් සැර සබන් ගන්න එපා, මේකප් කරන්න එපා, අව්වේ මුහුදේ ඇළදොලවල යන්න එපා, එතකොට අත්වලින් අල්ලන්න, කසන්න යන්න එපා කියලා රූපලාවණ්‍ය ශිල්පියා උපදෙස් දෙනවා. ඒ උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපදින එකත් හරි වැදගත්.

මේ වගේ ක්‍රමවලට හැමකෙනාම යොමුවෙන්නේ නැහැනේ. ගමනක් බිමනක් යනකොට ඇහිබැම අඳින එකයි ගොඩක් අය කරන්නේ. ලස්සන වැඩි කරගන්න ඕනේ නම් බලි කුරුටු ගාන තාලෙන් ඇහිබැම ඇඳලා වැඩක් නෑ.

මුලින්ම මූණේ හැඩේට ගැළපෙන ඇහිබැම හැඩේ හොයාගන්න. හදවත් හැඩේ මූණකට ගැළපෙන්නේ රවුම් දෙබැමක්. මූණ හතරැස් නම් කෝණ හැඩය නැත්තම් වක්‍රාකාර බැම වැඩිය හොඳයි. රවුම් මූණට හොඳ පිරුණු කෙටි ආරුක්කු හැඩය. ඕවල් මූණක් තියෙනවා නම් ඕනම හැඩයක් ගැලපෙනවා. හැබැයි මෘදු ආරුක්කු හැඩේ වැඩිය ලස්සනයි. දියමන්ති හැඩේ මූණට රවුම්, වක්‍රාකාර, කෝණ ඔය ඕන හැඩයක් කැපෙනවා. පැතලි බැම තමයි දිගටි මූණට හොඳ.

හැඩේ තෝරගත්තයින් පස්සේ ඇහිබැම පාට කරන්න අයිබ්‍රෝව් ආලේපන තෝරගන්න. පැන්සල්, දියර, ජෙල් විදියට මේ ආලේපන තෝරගන්න පුළුවන්. අයිබ්‍රෝව් ආලේපන ගන්නකොට කළු පාට ගන්න එපා. කළු පාටින් පාට කළාම ඇහිබැමට එන්නේ නිකන් විකාර පෙනුමක්. අලු නැත්තම් දුඹුරු පාටින් පාට කළොත් ස්වභාවික පෙනුමක් මතු කරගන්න පුළුවන්.

මුලින්ම ඇහිබැම දෙක එක පැත්තකට පීරගන්න. ඊටපස්සේ මුලින්ම යට අවුට් ලයින් එක අඳින්න. දෙවනුව උඩ ලයින් එක. මුල තියෙන ඇහිබැම කෙස් ටික පාට කරන්නේ නැතිව ඊටපස්සේ තියෙන බැම පාට කරන්න. ගොඩාක් තදට පාට කරන්නත් එපා. සියුම්වට ස්වභාවික විදියට පාට කරන්න. ඇහිබැම අඳිනකොට ඇද වුණොත් කන්සීලර් එකකින් මකාගන්න පුළුවන්.

ඇහිබැම අඳිනකොට උඩින් නැවෙන තැනක් එනවනේ. අපේ නහයේ කොණයි කෙළින් බැලුවහම ඇහේ අක්ෂි කාචයයි හරහා සරල රේඛාවක් ඇන්දහම එන තැනට තමයි ඒ නැම්ම එන්න ඕනේ. ඇහිබැම අඳිනකොට ඒ නැම්ම ගොඩාක් වක්‍ර කරන්න එපා. ඒකෙන් නපුරු පාටක් එනවා. අර සමහර ෆිල්ම්වල නපුරු මායාකාරියන්ගේ ඇහිබැම ඇඳලා තියෙන්නෙත් එහෙමයි. නහයේ කොණයි ඇහේ අගයි හරහා සරල රේඛාවක් ගැහැව්වම එන තැන තමයි ඇහිබැම අවසාන කරන්න ඕනේ.

දැන් බහුතරයක් දෙනා මාස කීපයකට සැරයක් හරි සැලෝන් එකකට ගිහිල්ලා ඇහිබැම ලස්සනට හදනවනේ. ලස්සන කරගන්න ගිහිල්ලා සැලෝන් එකෙන් තියෙන ඇහිබැම ටිකත් කැපුවයි කියලත් සමහරු කනුකුණු ගානවා. ඇහිබැම ඉක්මනින්ම වවාගන්න පුළුවන් සත්කාර ටිකක් කියන්නේ අන්න එහෙම අයට. ඇහිබැම ඝන කරගන්නත් මේ සත්කාරවලට පුළුවන්.

වීදුරු බෝතලේකට එඬරු තෙල් ටිකක් දාන්න. ඒකට විටමින් B කරල් පහක්, ඔලිව් තෙල් ටිකක් එහෙමත් එකතු කරලා හොඳට මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණය දිනපතාම ගාලා ඇහිබැම හොඳට සම්බාහනය කරන්න.

ඔලිව් තෙල්, එඬරු තෙල් එක්ක කෝමාරිකා මිශ්‍ර කරලා ගාන්න. සුදු පොල්තෙල්වලට ආමන්ඩ් තෙල් එක්ක විටමින් E කරලක් එක්කාසු කරලා ඇහිබැමේ ගාන්න. හැමදාම සුදු පොල්තෙල් ගාලා සම්බාහනය කරන්න පුළුවන් නම් ඒත් හොඳයි.

කිරි, වෝල්නට්, නිවිති, කෙසෙල්, අලිගැටපේර, කැරට්, ඇට වර්ග වගේ බයෝටීන් බහුල කෑම කන්න. ඇහිබැම වැවීම වැඩි කරන්න එව්වට පුළුවන්.

ඇහිබැම එකට හාවෙලා තියෙන ගෑනු දඩබ්බරයි නාහෙට අහන්නේ නැතැයි කියලා සමහරු කියනවනේ. ඔය කතා හින්දම අකමැත්තෙන් සමහරු ඇහිබැම හදනවා. එක එක්කෙනාගේ බැමි ගණන් ගන්නේ නැතිව උපතින් ලැබුණු යාවෙච්චි දෙබැමි එහෙමම තියාගෙන අනන්‍යතාවක් හදාගත්තු ගෑනුත් ඉන්නවා. මෙක්සිකානු අධිරාජිනිය තියඩෝරා කොල්-රිම්, මෙක්සිකානු චිත්‍ර ශිල්පිනිය ෆීඩා කාලෝ, ඉන්දියාවේ නිළිය කාජල් ඒවට උදාහරණ කියන එක අවසානෙදි කියන්න කැමතියි.

සෙව්වන්දි හෙට්ටිආරච්චි