රූපලවන්‍ය

මඟුල දවසෙ රෑම ශිව දෙවියෝ පාර්වතීට ‘යෝගා’ පුහුණුව දුන්නලු

ඉන්දියාවේ හිමාල කන්දේ තත්වාලේ බාබාජී කියලා යෝගීවරයෙක් ජීවත්වුණා. යම්කිසි යෝගා ක්‍රමේකින් අවුරුදු තිහේදී ඇඟ වයසට යන එක නතර කරන්න මේ යෝගීවරයට පුළුවන් වුණාලු. ඒ නිසා අවුරුදු හැත්තෑවෙදිත් ඔහුට තිබුණේ අවුරුදු තිහක පෙනුමක්. මේ යෝගීවරයා කරන්නේ ඇත්තක්ද කියලා දැනගත්ත හිතාපු බටහිර පරීක්ෂණ කණ්ඩායමක් ඔහුව එක එක අන්දමේ පරීක්ෂණවලට භාජනය කළාලු. වයස අවුරුදු හැත්තෑව වුණත් ඔහුගේ ශරීර අභ්‍යන්තරය පවා වැඩ කරන්නේ අවුරුදු තිහක මනුස්සයෙක්ගේ වගෙයි කියන එක ඔවුන්ටත් පිළිගන්න වෙලා. යෝගීවරයා ලෝකය පුරා ප්‍රසිද්ධ වුණෙත් මේ සිද්ධියෙන් පස්සෙලු.

තත්වාලේ බබාජී විතරක් නෙමෙයි අතීතේ ඉන්දියාවේ ජීවත්වෙච්චි බොහෝමයක් ඍෂිවරුන් තරුණබව රැකගන්න නොයක් යෝගා ක්‍රම පාවිච්චි කළාලු. ඔහොම කිව්වට ඉතින් ඔය වගේ කතා විශ්වාස කරන්න අදටත් අපිට ටිකක් අමාරුයිනේ. හැබැයි යෝගාවලින්  ලස්සන වෙන්න පුළුවන් බව ඔප්පු කරන ජීවමාන මිනිස්සු ඕනතරම් ඉන්නවා. යෝගා කළාම ලස්සන වෙනවා කියන එක මම පිළිගත්තේ ඉන්දියානු නිළියක් වන ශිල්පා ශෙට්ටි නිසයි. පනහට කිට්ටු වුණත් ශිල්පාට තියෙන්නේ අවුරුදු විස්සක කෙල්ලකගේ ඇඟක්. ඇය  යෝගා උපදේශකවරියක්. තමන් තරුණ බව රැකගන්නේ යෝගාවලින් කියලයි ශිල්පා කියන්නේ. ඇයට විතරක් නෙමෙයි යෝගා ප්‍රගුණ කරන බොහෝදෙනාට සුන්දර ශරීර තියෙනවා කියන එක ටිකක් විපරම් කරලා බැලුවොත් පැහැදිලි වෙයි.

යෝගා කියන්නේ ඉන්දියානු දැනුම් පද්ධතියේ කොටසක්. යෝගා නිර්මාණය කළේ ශිව දෙවියන් කියලයි හින්දූන් පිළිගන්නේ. ශිව දෙවියෝ ජීවත්වුණේ කෙලාශ කියන කන්දෙලු. ඔය කන්ද මුදුනට ගිහිල්ලා ධ්‍යාන සුවෙන් වැඩ ඉන්න ශිව දෙවියෝ හරි කැමතිලු. ඔහොම ඉන්දැද්දි දවසක් ශිව දෙවියන්ට යෝගා දැනුම පහල වෙලා. හැබැයි ශිව දෙවියන් කාලයක් යනකල් මේ දැනුම කාත් එක්කවත් බෙදාගත්තේ නැතිලු. පස්සේ ශිව දෙවියෝ පාර්වතීව විවාහ කරගෙන. පළමු රාත්‍රියෙන් පස්සේ තමන්ගේ සියලුම යෝගා රහස් පාර්වතී එක්ක බෙදාගන්න ඕනේ කියලා හිතාපු ශිව දෙවියන් වෙඩින් එක දවසේ  රෑම පාර්වතීට යෝගා දැනුම දුන්නලු. තරුණ පෙනුම රැකගන්න පාර්වතීත් එදා ඉඳලා යෝගා කළාලු.

හැබැයි පාතාංජලී කියන ඍෂිවරයා මීට අවුරුදු 5000කට කලින් මනස් දියුණු කරලා යෝගා හොයාගත්තයි කියලයි හින්දු නොවන පිරිස කියන්නේ. කවුරු නිර්මාණය කළත් යෝගා කියන්නේ මිනිස් මනස සහ ශරීරය සුවපත් කරන විද්‍යාවක් කියන එක නම් පැහැදිලියි.

ඉන්දියානුවෝ හොයාගත්තු විද්‍යාවක් වුණාට ඉන්දියාවේ අයටත් වඩා දැන් යෝගා කරන්නේ බටහිර රටවල අය. යෝගා කරද්දි ඇඟට මොළේට වෙන දේවල් පැහැදිලි කරන්න බටහිර විද්‍යාත්මක පරීක්ෂණ රාශියක් කරලා තියෙනවා.

යෝගා කරද්දී ශරීරයේ අන්තරාසර්ග ග්‍රන්ථි උත්තේජනය වෙලා රුධිර ගමනාගමනය වැඩි වෙනවලු. ඒත් එක්කම අලුත් චර්ම සෛල නිෂ්පාදනය පහසුවෙලා හම තිරිහන් වෙනවලු. මේ ක්‍රියාවලියේදී ශරීරයේ මේදය දහනය වෙලා බර එහෙමත් අඩුවෙනවා කියලයි හොයාගෙන තියෙන්නේ.

මානසික සුවතාවයයි ලස්සනයි අතරේ ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා මීට කලිනුත් අපි කතා කරලා තියෙනවානේ. ආතතිය පාලනය කරලා මනස සැහැල්ලු කරන්නත් යෝගාවලට පුළුවන්.

අපේ මොළයේ GABA (Gamma-aminobutyric acid) කියලා ස්නායු සම්ප්‍රේෂකයක් තියෙනවා. කාංසාව, ආතතිය, බය වගේ අමිහිරි හැඟීම් පාලනය කරන්න මේකට පුළුවන්. විනාඩි 60ක යෝගා පුහුණුවකින්  GABA මට්ටම 27%කින් වැඩි වෙනවලු.

ඉතින් ගෘහිණියක්, අම්මා කෙනෙක්, රැකියාවක් කරන කෙනෙක් වේවා පුළුවන් විදියට යෝගා ටිකක් කරන්න වෙලාව වෙන් කරගන්න පුළුවන් නම් මනස සතුටින් තියාගන්න ගමන් ලස්සන වෙන්නත් පුළුවන්. ඒ නිසයි අද යෝගා ගැන ටිකක් කතා කරන්න හිතුවේ.

 

යෝගා අභ්‍යාසවල ප්‍රධාන අංග 7ක් තියෙනවා.

 

යාම –  පුද්ගලයෙක් රැකිය යුතු ශිල

නියාම – යෝගා කිරීමේදී රැකිය යුතු ශිල

ආසන – තරුණ ඔබ නිරෝගීකම සහ මානසික සුවතාවය රැකගැනීමට ක්‍රියාකාරකම්

ප්‍රාණයාම – හුස්ම ගැනීමේ ක්‍රමවේද

ප්‍රත්‍යහාර – පංචේන්ද්‍ර දමන ක්‍රම

ධාරණ – සිත එක අරමුණක පිහිටුවන ක්‍රමය

ධ්‍යාන – භාවනා

 

යෝගා ගැන ගැඹුරින් හදාරණ කෙනෙක්ට මේ අංග හතම හදාරන්න පුළුවන්. හැබැයි අද අපි කතා කරන්නෙ ආසන ගැන විතරයි.

යෝගා ආසන අසූවකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ හැම ආසනයකින්ම ශරීරයට වෙනස් වෙනස් ප්‍රතිලාභ ලැබෙනවා. තරුණබවත්, මානසික සුවතාවයත් දෙකම ලබාදෙන යෝගා ආසන කීපයක් ගැන බලමු.

 

1.වෘක්ෂාසන

මුලින්ම කකුල් දෙක අඟල් දෙකක් විතර ඈතට වෙන්න තියලා හිටගන්න. ඊටපස්සේ ඉස්සරහා තියෙන පුංචි දේකට අවධානය දෙන්න.

දකුණු කකුල නවලා වම් කලවය උඩින් තියාගන්න. මෙතැනදී කලවය දකුණු විලුඹ ඉකිලි ප්‍රදේශයට ස්පර්ශ වෙන්න ඕනේ. දැන් අත් දෙක උඩට උස්සලා වඳිනවා වගේ එකට එකතු කරලා තත්පර 10-30 කාලයක් ඉන්න. අත් දෙක උඩ තියෙද්දි හොඳට හුස්ම ගන්න. හුස්ම පිට කරන ගමන් වඳින ඉරියව්වෙන්ම අත් පල්ලෙහාට ගේන්න. තත්පර කිහිපයකින් මේ ආසනයම දකුණු කකුලෙනුත් කරන්න.

 

2.ත්‍රිකෝණාසන

කකුල්වල පරතරය උරහිස් පරතරයට වඩා ටිකක් වැඩිවෙන විදියට කකුල් ඈත් කරලා හිටගන්න. දකුණු අත කනට සමාන්තරව ඉහළට ඔසවන්න. උඩ බලන්න. ඇඟ වම් පැත්තට බර කරලා වම් අතින් වම් කකුල අල්ලන්න. හොඳට ආශ්වාස ප්‍රාශ්වාස කරන්න. තත්පර 10-30ක් මේ ආසනය කරලා පැති මාරු කරන්න.

 

3.දනුරාසන

යෝගා පැදුරක් නැත්නම් බිම එලන්න පුළුවන් ඇතිරිල්ලක් දාලා ඒ මත මුනින් අතට දිගාවෙන්න. දණහිස නමලා දෑතින් ඇඟිලි අල්ලගන්න. පපුවයි ඔලුවයි ටික ටික උස්සන්න. හොඳට ආශ්වාස ප්‍රාශ්වාස කරන ගමන් තත්පර කිහිපයක් මේ ආසනයෙන් ඉන්න.

 

එකපාරම ලොකු ලොකු ආසනවලට යන්නේ නැතිව මේ වගේ සරල ආසනවලින් යෝගා පටන්ගන්න. ඊටපස්සේ ටිකෙන් ටික සංකීර්ණ ආසනවලට යන්න පුළුවන්.

යෝගා කරන්න හොඳම වෙලාව අලුයම 4 කියලයි යෝගාචාර්යවරු කියන්නේ. උදේට 4ට බ්‍රහ්ම මූර්තිය කියන විශේෂ කාලෙදි යෝගා ව්‍යායාම හොඳින් මනසටත් සිරුරටත් පත්තියම් වෙනවලු. උදේ 4ට නැගිටලා යෝගා කරන්න අමාරුනම් තමන්ට පුළුවන් විවේකය තියෙන ඕනම වෙලාවක විනාඩි 20ක් යෝගා කරන්න.

සන්සුන් නිශ්ශබ්ද පරිසරයක් තෝරාගන්න එක තමයි ඊළඟ දේ. නැත්නම් මනස එකතැන් කරගන්න අමාරු වුණොත් ආසනවලට අවධානය දෙන්නත් අමාරු වෙනවා.

හිස්බඩින් යෝගා කරනවා නම් වැඩිය හොඳයි. එහෙම අමාරුයි නම් සුළු ආහාරයක් ගත්තට කමක් නැහැ. නැත්නම් මී පැණි දාපු වතුර ටිකක් බොන්න කියලයි යෝගාචාර්යවරු කියන්නේ.

ඇඟට හිර තද ඇඳුම් ඇඳලා නම් මේ වැඩේ කරන්න බැහැ. සුවපහසු කපු ඇඳුමක් තමයි වැඩිය හොඳ. කපු ඇඳුම් නැතිනම් පහසු ඕනම ඇඳුමක් අඳින්න පුළුවන්.

යෝගා පුහුණුවෙන් විනාඩි 20කට පස්සේ කෑම කන්න. හැබැයි තදබල ආතතියක ඉන්න කෙනෙක් නම් යෝගා ව්‍යායාම කරන්න යන්න එපා.

නිදන්ගත රෝග, හදවත් රෝග, ගර්භිණී අම්මලා යෝගා කරන්න කලින් අනිවාර්යයෙන්ම යෝගා චිකිත්සකවරයෙක්ගෙන් උපදෙස් ගන්න.

සතියේ දවස් හතේම යෝගා කරන්න පුළුවන් නම් හොඳයි. ඒකට වෙලාව හොයාගන්න අමාරුයි නම් අඩුතරමේ සතියට දවස් තුනක්වත් යෝගා කරන්න බලන්න. තමන්ට ආදරෙයි නම් නිදහසට කරුණු නොකියා තමන් වෙනුවෙන් පුංචි වෙලාවක් හොයාගන්න කියන එකයි අවසානෙදි කියන්නේ.

සෙව්වන්දි හෙට්ටිආරච්චි