රූපලවන්‍ය

ගෑනු ළමයින්ට තෙලේ වැඩි වුණත් ප්‍රශ්න අඩු වුණත් ප්‍රශ්න

මිචෙල් ෆර්බෙර් ඇමරිකානු චර්ම රෝග වෛද්‍යවරියක්. තෙතමනකාරකයක් පාවිච්චි නොකර ඉන්දැද්දි සමට වෙන විපැත්තිය පැහැදිලි කරන්න ඇය අපූරු පරීක්ෂණයක් කළා. ඒකට භාජනය වුණෙත් මිචෙල්මයි.

මිචෙල් එයාගේ මූණේ එක පැත්තක් තෝරගෙන ඒ පැත්තට හැමදාම මොයිස්චරයිසර් ක්‍රීම් ගෑවා. පැත්තකට ගෑවේ නෑහැ. දවස් තුනකට පස්සේ ක්‍රීම් ගෑව පැත්තට වඩා අනිත් පැත්ත වේළිලා. ඔහොම සතියක් ගියාට පස්සේ ඒ පැත්ත වේළිලා මදිවට මළානික පාටකුත් ගත්තා. මාසෙකින් මොයිස්චරයිසර් නොගාපු පැත්ත හොඳටෝම වේළිලා රතු පැල්ලම් ආවා. මාසෙකින් මිචෙල් පරීක්ෂණේ නතර කළා. එහෙම නොකළා නම් ඇගේ මුහුණේ සියුම් රැළි ඇතිවෙන්න තිබුණා කියලයි වෛද්‍යවරිය කිව්වේ.

මොයිස්චරයිසර් නැත්තම් තෙතමනකාරකයක් ගාන එකෙන් හමේ ඇතිවෙන්න පුළුවන් ප්‍රශ්න කීපයක්ම වළක්වගන්න පුළුවන්. හැමදේකටම වගේ අපේ හමටත් අන්ත දෙකක් තියෙනවානේ. මූණ වේළිලා කියලා කොටසක් කණු කුණු ගාද්දි තව කාණ්ඩෙකට ඕකේ අනිත් පැත්ත. කැවුම් බැදගන්න තරමට හමේ තෙල්. ඔය අන්ත දෙකටම නොයා මැදුම් පිළිවෙතින් සම තියාගන්න හොඳම උපක්‍රමේ තමා මොයිස්චරයිසර්. හැමදාම පුරුද්දක් විදියට මොයිස්චරයිසර් ටිකක් ගාන්න ඕනේ ඇයි කියන කාරණාව වගේම ගෙදරදිම මොයිස්චරයිසර් හදාගන්න හැටිත් අද ලිපියෙන් කතා කරමු.

හමට තෙතමනකාරක ගාන්න ඕනය කියන එක මුලින්ම හොයාගෙන තියෙන්නේ ඊජිප්තුවරු. ඒ කාලේ හිටපු හැම ඊජිප්තු කුමාරිකාවක්ම මොයිස්චරයිසර් එකක් විදියට ඇඟට ඔලිව් තෙල් ගාලා. 1550 ගණන්වල එංගලන්තේ රජකම් කරාපු පළමුවැනි එළිසබත් රැජිනත් රූපේ ගැන සෑහෙන්න හිතාපු කෙනෙක්නේ. ඉතින් එතුමිය  මොයිස්චරයිසර් එකක් විදියට හැමදාම ඇඟ පුරාම මී පැණි ගානවලු. ඉස්සර කාන්තාවෝ රූපේ ගැන හිතපු තරම් දැන් අයට ගානක් නෑ කියලා හිතෙන තැනුත් නැතුව නෙමෙයි.

මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ගාන එකෙන් හමට හොඳක් මිසක නරකක් වෙන්නේ නෑ කියලා දන්නවා වුණත්  මේකෙන් වෙන සන්තෑසිය ගැන ගොඩක් අයට දැනුමක් නැහැ. ඒ නිසාදෝ බහුතරයක් කඩෙන් ගන්න ක්‍රීම් එක ගාන්නේ දවසයි දෙකයි. හැමදාම ගාන්න කම්මැලි. ඊටපස්සේ ඉතින් හාවා හඳ දකින්නා වගේ ඉඳලා හිටලා හිතුණු වෙලාවට විතරක් ක්‍රීම් ටිකක් උලනවා.

මොයිස්චරයිසර් එකකින් අපේ හමට මොකද වෙන්නේ කියලා දැනුවත් වෙන එක වටින්නේ ඒකයි. අපේ සමේ සීබම් කියලා ස්වභාවික තෙල් වර්ගයක් තියෙනවා. සමේ තෙතමනය ඇතිවෙන්නේ ඔය තෙල නිසයි. සීබම් ටික අනවශ්‍ය විදිහට අයින් වෙලා යනවා නම් අපේ සම වේළෙනවා. තෙතමනකාරකයක් ගෑවහම ආරක්ෂක පටලයකින් සම සීල් කරනවා. එතකොට අපේ සමේ තියෙන සීබම් නිස්සාරණේ නාස්ති වෙන්නේ නෑ. ඒ වගේම මොයිස්චරයිසර් එකෙනුත් සෛලවලට තෙතමනයක් ඇති කරනවා.

සමේ වැඩිපුර සීබම් හැදෙන කෙනෙක් ගැන හිතමුකෝ. ඒ කියන්නේ මූණේ තෙල වැඩි අය. සීබම් සමෙන් අයින් වෙන්න වෙන්න වැඩිපුර සීබම් නිෂ්පාදනය වෙන එක තමයි මේ අයගේ සමේ ස්වභාවය. මොයිස්චරයිසර් එකකින් සමේ තියෙන සීබම් ආරක්ෂා කරගන්න පුළුවන් නිසා අලුතෙන් සීබම් හැදෙන එක පාලනේ වෙනවා. තෙතමනය රැකෙනකොට අලුත් සෛල ඇතිවෙන එක ඉක්මන් වෙනවා. ඒ වගේම රැළි ඇතිවෙන එකත් පාලනේ වෙලා කැළැල් එහෙමත් මැකෙනවා.

හොඳ මොයිස්චරයිසර් එකක් තෝරගන්නේ කොහොමද කියන එකත් දැනගන්නම ඕනේ. කඩවලට ගියාම රාක්ක පුරෝලා වෛවාරණ වර්ගේ ක්‍රීම් ජාති තිබුණට ඔය හැම එකෙන්ම අපිට ඕන දේවල් වෙන්නේ නැහැ.

මොයිස්චරයිසර් වර්ග දෙකක් තියෙනවා. එකක් ජලය මත පදනම් ඒවා (Water based moisturizer). අනෙක තෙල් මත පදනම් එව්වා (Oil based moisturizer).

තෙල් සහිත සමක් තියෙන කෙනෙක් නම් ජල මූලද්‍රව්‍යවලින් හදාපු මොයිස්චරයිසර් එකක් තෝරගන්න. සාමාන්‍ය සමක් තියෙන කෙනෙක්ටත් මේ වර්ගය ගාන්න පුළුවන්.

වියළි සමක් තියෙනවා නම් තෙල් මත පදනම් වෙන මොයිස්චරයිසර් එකක් ගැළපෙනවා. සාමාන්‍ය සමක් තියෙන කෙනෙක්ට මේකත් පාවිච්චි කරන්න පුළුවන්.

මොයිස්චරයිසර් එකක් ගනිද්දි ඒකේ ප්‍රමිතිය ගැන හිතන්න. හයලු​රොනික් ඇසිඩ් (Hyluronic acid), ඩිමෙතිකොන් (Dimethicone), ග්ලිසරින් (Glycerin), ප්‍රොපිලීන් ග්ලයිකෝල්  (Propylene Glycol) වගේ අමුද්‍රව්‍ය අඩංගු මොයිස්චරයිසර් එකක් තෝරගන්න පුළුවන් නම් වැඩිය හොඳයි. සමහර මොයිස්චරයිසර්වල UV ‍ෆිල්ටර් ඒ කියන්නේ හිරුකිරණින් සම ආරක්ෂා කරන සංයෝග තියෙනවා. එහෙම එකක් ගන්න පුළුවන් නම් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි.

මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ගාන්න ඕනේ කොයි වෙලාවටද? ඒක තමයි කට්ටියට ඊගාවට තියෙන ප්‍රශ්නේ.

ශරීරය හේදුවට පස්සේ අනිවාර්යයෙන්ම මේවගෙන් ටිකක් ගාන්න ඕනේ. ඇයි දන්නවද? නානකොට, ඇඟ සෝදනකොට අපේ ඇඟේ තියෙන ස්වභාවික තෙල් අයින් වෙලා යනවා. උණුවතුරෙන් නානවා නම් මේක තවත් වැඩියි. වැඩිපුර වෙලාවක් නෑවට පස්සේ හම නිකන් වේලිච්ච ගතියක් දැනෙන්නේ ඒකයි.

ඊජිප්තු රැජින ක්ලියෝපැට්‍රා නෑවේ කිරිවලින්ලුනේ. නාලා අහවර වුණාට පස්සේ ක්ලියෝපැට්‍රා මුළු ඇඟ පුරාම ඔලිව් තෙල් ගල්වනවලු. මූණේ ගාන්න රාජකීය ජෙල් කියලා වෙනම මොයිස්චරයිසර් එකක් තිබුණලු. ඒක හදලා තියෙන්නේ මී පැණිවලින්ලු. ඉතින් නෑවට පස්සේ නැත්නම් ඇඟ සේදුවට පස්සේ ක්ලියෝපැට්‍රා වගේ මොයිස්චරයිසර් ගාන්න කියලයි අපේ බවලතියන්ටත් අපි කියන්නේ.

මූණ සේදුවට පස්සෙත් මොයිස්චරයිසර් ක්‍රීම් ටිකක් ගාන්න. මොකද සබන් නැත්නම් ​ෆේස් වොෂ්වල තියෙන සමහර සංයෝග නිසා අපේ සමේ තියෙන සීබම් ඉවත් වෙනවා.

වළං, භාජන, රෙදි සේදුවට පස්සෙත් අත්වලට මොයිස්චරයිසර් ගාන්න පුළුවන් නම් යසයි. මේ වැඩවලට පාවිච්චි කරන සැර සබන්වලින් අත්වලට වෙන හානිය අවම කරගන්න එතකොට පුළුවන්. ඉස්සර අපේ අත්තම්මලා වුණත් ඉඳුල් වළං සෝදලා අහවර වුණාට පස්සේ කෝමාරිකා කෑල්ලක් අතේ අතුල්ලගන්නවලු.

අනවශ්‍ය රෝම ඉවත් කරන්න සම ​රේසර්වලින් ශේව් කරන කෙනෙක් නම් ශේව් කළාට පස්සේ මොයිස්චරයිසර් ගාන්නම ඕනේ. රේසර් කරද්දි අපේ සමේ සීබම් ඉවත් වෙනවා. අනික අපේ දෑහැට නොපෙනුණාට රේසර් නිසා සම සියුම්වට තුවාල වෙනවා. ඉතින් මේ හානි වළක්වගන්නත් තෙතමනකාරකයකට පුළුවන්.

ඉරඑළියට නිරාවරණය වෙන්න කලින් ඇඟේපතේ මොයිස්චරයිසර් ටිකක් ගාගෙන යන එක නුවණට හුරුයි. ඒ වගේම තමයි මේකප් එකක් කරන්න කලිනුත් මේ ක්‍රීම් ටිකක් ගාන්න. එතකොට රූපලාවණ්‍ය ආලේපනවලින් වෙන හානිය අවම කරගන්න ලේසියි. ඒ වගේම රාත්‍රියේ නින්දට යන්න කලිනුත් මොයිස්චරයිස් කරන්න අමතක කරන්න එපා.

මොයිස්චරයිසර් ගානවා කියලා මූණෙයි, අත් දෙකෙයි, කකුල් දෙකෙයි විතරක් ක්‍රීම් ගාලා පලක් නැහැ. රහස් ප්‍රදේශ ඇරුණුකොට මුහුණ, කන්, බෙල්ල, පපුවේ ඉඳලා යටිපතුල දක්වාම මොයිස්චරයිස් කරන්න.

හැමදේම වගේ මොයිස්චරයිසර් ක්‍රීම් එහෙමත් දැන් ගණන් උස්සලානේ. ඒ නිසා ගෙදරදිම මොයිස්චරයිසර් ක්‍රීම් ටිකක් හදාගන්න හැටිත් අපි බලමු.

හොඳම ස්වභාවික තෙතමනකාරකය තමයි කෝමාරිකා. ඉතින් ගෙදර කෝමාරිකා ගහක් දෙකක් පැළ කරගන්න එක තමයි හොඳම වැඩේ.

ග්ලිසරින් 10mlකට රෝස වතුර 5ml එක්ක කෝමාරිකා යුෂ ටිකක් එකතු කරලා හොඳට මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණය ශීතකරණයේ දාලා සතියක් තියාගන්න පුළුවන්.

රෝස වතුර ටිකකට දොඩම් යුෂ ටිකක් මිශ්‍ර කරලා මොයිස්චරයිසර් එකක් විදියට පාවිච්චි කරන්න.

ජොජෝබා තෙල්වලට ග්ලිසරින් මිශ්‍ර කරලා භාවිතා කරන්න.

ෂියා බටර්වලට සුදු පොල්තෙල් එකතු කරලා හොඳට මිශ්‍ර කරලා පාවිච්චි කරන්න.

කොකෝවා බටර් ටිකකට විටමින් E කරලක් එකතු කරලා කල්තියාගෙන පාවිච්චි කරන්න.

කෝමාරිකා යුෂවලට ඕට්ස් පිටි මිශ්‍ර කරලා ගාන්න.

සහල් ටිකක් දවසක් පෙඟෙන්න තියලා ඒ වතුරට කෝමාරිකා යුෂ මිශ්‍ර කරලා ආලේප කරන්න.

මේ දේවල් ගෙදරදිම හදාගන්න පුළුවන් නම් තවත් ​මොයිස්චරයිසර් ක්‍රීම් ගන්න කඩේට ගාටන්න ඕනේ නැහැ. සමට ආදරේ කරන කෙනෙක් නම් මොයිස්චරයිසර්වලට ඇබ්බැහි වෙන්න කියලා තමයි අවසානෙට කියන්න තියෙන්නේ.

සෙව්වන්දි හෙට්ටිආරච්චි