රූපලවන්‍ය

ඇහි පිහාටු ණයට ගන්නවාද? වවා ගන්නවද?

අද මාතෘකාව ගැන ලියන්න ගනිද්දිම පුංචි සන්ධියේදි කරාපු සෙල්ලමක් මතක් වුණා. ඇහිපිහාට්ටක් ගැලවුණාම ඒක අත උඩින් තියලා ඇස් වහලා ෆූ ගාලා පිඹින්න ඕනාලු. ඒ පිඹින ගමන් ප්‍රාර්ථනාවක් කළාම ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියලයි කට්ටිය කිව්වේ. ඕක ඇත්තක් කියලා හිතාපු අපි ඒ කාලෙදි ඔය සෙල්ලම හරියටවත් කළා.

හුළඟට පාවෙලා යන තරමට සියුම් වුණත් ඇස් දෙකේ පෙනුම මහ ලොකුවට වෙනස් කරන්න ඇහිපිහාටුවලට පුළුවන්. ඒක සහතික කරන්න ඇහිපිහාටු නිසා ජීවිතේම වෙනස් වුණු කාන්තාවක් ගැන කතාවක් කියන්නම්.

1932දී එංගලන්තේ ටේලර් යුවලට දුවෙක් ඉපදුණා. කෙල්ලට එළිසබෙත් ටේලර් කියලා නම දැම්මා. ඉපදෙද්දිම දිගට දිගේ ඇහිපිහාටු පේළි දෙකක් තිබුණු නිසා එළසබෙත්ගේ ඇස් කැපිලා පෙනුණා. ටේලර් යුවල මුලදි ඩිංගක් කලබල වෙලා. මේ වගේ වෙන්නේ ජාන විකෘතිතාවයක් නිසා බවත් ඒකෙ බයවෙන්න කාරණාවක් නැති බවත් පැහැදිලි කළාම දෙන්නා සැනසිලි සුසුම් හෙළුවලු.

දිග ගන ඩබල් ඇහිපිහාටු නිසා එළිසබෙත් පුංචි කාලේ ඉඳලම කැපිලා  පෙනුණා. ‘ඇස්පිහාටු දිග බෝනික්කි’ සමහරු ඇයට කතා කළේ එහෙම‍යි. ඇහිපිහාටු නිසාම එළිසබෙත්ට අවුරුදු 12න් හොලිවුඩ් යන්න ආරාධනා ලැබුණා. පහුකාලෙක ඇය ලෝකේ ඉහළම මිලක් අය කරන සාර්ථක නිළියක් වුණා.

ලෝකේ ලස්සනම කාන්තාව විදියට හඳුන්වන ක්ලියෝපැට්‍රා රැජිනත් ඇහිපිහාටු  දිගට පෙන්වන්න එව්වට සියුම් සත්ව කෙඳි ඇලෙව්වලු. ඒ නිසා ක්ලියෝපැට්‍රා රැජිනගේ ඇහිපිහාටු දිගයිලු. ඒ ඇහිපිහාටු නිරූපණය කරන්න ගැළපුණු හොඳම කෙනා එළිසබෙත්ලු. ඉතින් අදටත් ක්ලියෝපැට්‍රා කිව්වහම ගොඩක් අයගේ මතකෙට එන්නේ එළිසබෙත්ගේ මූණ කියනවනේ.

කෙනෙක්ගේ සමේ පාට, මුහුණේ පෙනුම මොකක් වුණත් දිග ඇහිපිහාටු තියෙනවා නම් ඕනම කෙනෙක්ගේ ඇහැ යන්නේ එතැනට. දිග ඇහිපිහාටු තියෙන කාන්තාවන් ආකර්ෂණීයයි කියන එක ලෝක සම්මතයක්. ඇහිපිහාටු ලස්සන කරගන්න කාන්තාවෝ මස්කාරා ගාන්නේ, කෘත්‍රිම ඇහිපිහාටු අලවන්නේ ඒකනේ.

හරියට මස්කාරා එකක් ගාන්නේ කොහොමද, කෘත්‍රිම ඇහිපිහාටු අලවන්නේ කොහොමද, එතකොට දැන් ගොඩක් අය කරන අයිලෑශ් එක්ස්ටෙක්ශන් ගැන දැනගෙන ඉන්න ඕනේ මොනවද කියන කරුණුත් එක්ක ඇහිබැම ස්වභාවිකව වවාගන්න පුළුවන් සත්කාර ගැනත් කතා කරන්න හිතුවේ ඒකයි.

ඇහිපිහාටු කියන්නේ මිනිස් සිරුරේ ගනකම වැඩිම කෙස්වලට. අමතර කාරියක් විදියට ඇස් ලස්සන කළාට බාහිරින් එන දුවිලි, විසබීජ වගේ දෙයින් ඇහැ ආරක්ෂා කරන එකයි කඳුළු ග්‍රන්ථිවලින් එන කඳුළු වාෂ්පය පහසු කරන එකයි තමයි ඇහිපිහාටුවල රාජකාරිය. වැඩුණු මනුස්සයෙක්ගේ උඩුපියනේ ඇහිපිහාටු 150-200ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. එතකොට යටපියනේ 50-100ක් වගේ. ඇහිපිහාටුවක් මාස 3-5ක් විතර තමන්ගේ රාජකාරිය කරලා වැටිලා යනවා. සාමාන්‍යයෙන් දවසට ඇහිපිහාටු 1-5ක් අතර ප්‍රමාණයක් වැටෙනවා. පස්සේ එතැනින් අලුත් ඇස්පිහාටුවක් ‍එනවා.

හැබැයි ප්‍රමිතියෙන් තොර බාල මස්කාරා ආලේප කළොත් දවසට ඇහිපිහාටු බර ගාණක් වැටෙන්න පුළුවන්. ඒ නිසා මස්කාරා තෝරගනිද්දි ප්‍රමිතිය ගැන හිතන එකයි අංක එක.

මස්කාරා ගාන බුරුසුව 45°කට නවාගන්න පුළුවන් නම් ඇහිපිහාටු වක්‍රව හදාගන්න ලේසියි. මස්කාරා ගාන බුරුසු කම්බිවලින් හදලා තියෙන්නේ අවශ්‍ය විදියට නවාගන්න බව ගොඩක්දෙනා දන්නේ නෑ. මස්කාරා ගාද්දි මැද ඉඳලා අගට ගාන්න. ඇහේ මුල කොටසේ වැඩිපුර ගාන්න ඕනා වෙන්නේ නැහැ. ආලේපේ ගාන ගමන් ඇහිපිහාටු උඩඅතට වක්‍රව කරකවන්න. කොනේ ඇහිපිහාටු ටික ටිකක් උස්සන්න. වැඩි ගනකමක් ඕන නම් පළවැනි කෝට් එක වේලෙන්න ඇරලා ආයේ පාරක් මස්කාරා ගාන්න. මස්කාරා ගාන්න කලින් ඇහිපිහාටුවලට පවුඩර් ටිකක් තවරන එකෙනුත් ඇහිපිහාටුවල ගනකම වැඩි කරගන්න පුළුවන්.

පාටියකට එහෙම යද්දි මස්කාරා ගානවට අමතරව ගොඩක්දෙනා කෘත්‍රිම ඇහිපිහාටු අලවනවානේ. ඒ වැඩේ හරියට කරගන්න ටිප්ස් ටිකකුත් බලමු. මුලින්ම ප්‍රමිතිය හොඳ ඇහිපිහාටු සෙට් එකක් තෝරගන්න. ලෑෂස් පටිය ඇත්ත ඇහිපිහාටු ළඟ තියලා දිග මැනගන්න. ඇත්ත ඇහිපිහාටුවලට වඩා ගොඩක් දිගයි නම් ඇහේ කොනට එන පැත්තෙන් ටිකක් කපන්න. (ඇහිපිහාටු ටිකක් දිගට තියෙන්නේ ඇහේ කොනට එන පැත්තෙ.)

අලවන්න කලින් කෘත්‍රිම ඇහිපිහාටු ටිකක් සියුම්වට නවන්න. පස්සේ ලෑෂ් පටියට ගම් ගාන්න. මෙව්වට හදාපු ගම් වර්ග විතරක්ම මේ වැඩේට පාවිච්චි කරන්න ඕනේ ඔන්න. ගම් ගාපු ලෑෂ් පටිය තත්පර 30ක් විතර තියලා දිග කෙඳි ටික ඇහේ අගට එන විදියට ඇහිපිහාටු දාරෙටම තියලා අලවන්න. පස්සේ උඩින් අයිලයිනර් ටිකක් ගාන්න.

ඊගාවට අපි කතා කරමු අයිලෑශ් එක්ස්ටෙක්ශන් ගැන. කාලයක් තියාගන්න පුළුවන් විදියට කෘත්‍රිම ඇහිපිහාටු අලවන එක තමයි මෙතැනදි කරන්නේ. දැන් කාලේ අයටත් වඩා ඒ කාලේ උදවිය ඇහිපිහාටු ගැන සෑහෙන සැලකිලිමත් වුණාලු.

ඉතින් ඒ අයත් මේ එක්ස්ටෙක්ශන් වැඩේ කරලා. හිසේ කෙස් අරගෙන සැත්කම් මඟින් ඇස්පිහාටුවලට සම්බන්ධ කරාපු එකයි එතැනදි කරලා තියෙන්නේ.

අයිලෑශ් එක්ස්ටෙක්ශන් කරනවා නම් සේරටෝම කලින් පලපුරුදු ‍රූපලාවණ්‍ය ශිල්පියෙක් තෝරගන්න. එක්ස්ටෙක්ශන් දාන්න යද්දි ඇහිපිහාටුවල මස්කාරා, සීරම් වගේ දේවල් ගාගෙන යන්න එපා. වැඩේ කළාට පස්සේ පැය 24ක් යනකල් ඇහිපිහාටු තෙමන්න එපා. මස්කාරා, ක්‍රීම් එහෙම ගාන්නත් එපා. ඇහිපිහාටු කසන්න තද කරන්න යන්නත් එපා. හොඳට පරිස්සම් කරගන්න පුළුවන් නම් මේ කෘතිමව අලවන ඇහිපිහාටු සති අටක් විතර තියාගන්න පුළුවන්. හැබැයි සති තුනකට සැරයක් ඇහිපිහාටු රීෆිල් කරන්න වෙනවා.

ඔය කෘත්‍රිම දේවල් මොකුත්ම නොකර ඇහිපිහාටු වවාගන්නත් පුළුවන්. ඒ මෙහෙමයි.

එඬරු තෙල්වල රිසිනොමික් කියලා සංඝටකයක් තියෙනවා. ඇහිපිහාටු ගන කරන්න, කළු කරන්න මේ සංඝටකයට පුළුවන්. කොට්න් බඩ් එකක කෙළවර එඬරු තෙල් ටිකක් ගාලා ඇස්වල නොවදින විදියට ඇහිපිහාටුවල එඬරු තෙල් ගාන්න. සතියට දවස් දෙකක්වත් මේ සත්කාරය කරන්න.

ඇස් යට කළු වෙනකට විතරක් නෙමෙයි ඇස්පිහාටුවලටත් ටී බෑග් හොඳයි. සතියට දෙවතාවක්වත් ඇස්වල ටී බෑග් තියාගෙන ඉන්න.

දොඩම් ගෙඩියක පොත්ත සිහින්වට ගාගන්න. සුදු පොල්තෙල්වලට දොඩම් පොතු ටික දාලා දුම් දාන තරමට රත් කරන්න. මිශ්‍රණය නිවෙන්න තියලා ඇහේ නොවදින්න ඇහිපිහාටුවල ගාන්න.

ඊට අමතරව බිත්තර, කිරි, චීස්, ආමන්ඩ්, මල්ගෝවා, හතු, බතල වගේ බයෝටීන් බහුල ආහාර ගන්නත් අමතක කරන්න එපා.

මේ දේවල් හරියට කළොත් කෘත්‍රිම ඇස්පිහාටු නොදාත් බෝනික්කෙක් වගේ ලස්සන ඇහිපිහාටු දෙකක් හදාගන්න අමාරු වෙන එකක් නෑ.

සෙව්වන්දි හෙට්ටිආරච්චි