රූපලවන්‍ය

කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි

සිංහල අලුත් අවුරුද්දට තව දවස් කීයද? ඔන්න දැන් ඉඳලම මාධ්‍යවලින් අවුරුදු කුමාරියෝ තෝරන්න පටන් අරන්. ගිය සතියේ දවසක ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක අවුරුදු කුමාරි තරඟයට ඉදිරිපත් වුණු යුවතියකගේ ෆොටෝ එකක් ෆේස්බුක් එකේ සෑහෙන්න වෛරල් වුණා. සමහරු මේ යුවතියට සමච්චල් කරලා පෝස්ට් හදලා. තව උදවිය අවලස්සන වචනවලින් ඇයව උපහාසයට ලක් කරලා.

දන්නවද එහෙම කරන්න හේතුව? සුදු හමක් තිබුණු තරඟකාරියෝ අතරේ හිටපු එකම කළු කෙල්ල වීම.

සොසිබිනී ටුන්සි, ටෝනී ඈන් වගේ කළු කෙල්ලන්ට සුද්දියො පාස් කරලා මිස් වර්ල්ඩ් වෙන්න පුළුවන් නම්, කළුපාට වාරිස් ඩයිරිට පොත් ලියලා ජනප්‍රිය වෙන්න හොඳනම්, ඔෆ්රා වින්ෆ්‍රිට ලෝකේ ජනප්‍රියම වැඩසටහන්වල නිවේදිකාව වෙන්න පුළුවන් නම් අපේ කළු කෙල්ලෙක්ට අවුරුදු කුමාරි තරඟෙකට ඉදිරිපත් වෙන්නවත් බැරි ඇයි? අර පෝස්ට් දැක්පුවහම මට ආපු ප්‍රශ්නේ ඒක.

ක්‍රි.ව. 40 ඉතියෝපියාවේ කන්කඩා කියලා රැජිනක් හිටියා. ලෝකේ කළුම සමක් තිබුණු රැජිනිය ඇයලු. රෝම අධිරාජ්‍ය ඉතියෝපියාව යටත් කරගන්න ආපු වෙලාවේ රෝමන්කාරයෝ පරාද කළේ ඔය රැජිනලු. ඉතින් අදටත් අප්‍රිකානු මිනිස්සු ඇයට ගෞරව කරනවා. ඇගේ සූරකම් ගැන කතා කරනවා. ඉතිහාසය මිනිස්සුන්ගේ පාට මතක තියාගන්නේ නෑ. මතක තියාගන්නේ ඒ අය සමාජයට කරපු වැඩ විතරයි.

සුදු ලස්සනයි… හිටු කියලා සුදු වෙන්න… තව සුදු වෙන්න මාධ්‍යවල වුණත් විසිහතර පැයේම ඇහෙන ඔය වගේ ප්‍රචාර නිසා අපේ මිනිස්සුන්ගේ ඔළු කුරුවල් වෙලා. මෑතකදි හමුවුණු වෛද්‍යවරියක් කිව්ව කතාවක් මතක් වුණා. ඇය සම පිළිබඳ වෛද්‍යවරියක්. ළඟකදි අම්මා කෙනෙක් ඇගේ ගැහැනු දරුවා එක්කලා ඇයව මුණගැහෙන්න ආවලු. ඒ දරුවට වයස අවුරුදු පහක් ඇතිලු. හැබැයි දරුවට තිබිලා තියෙන්නේ කළු සමක්. අර අම්මා වෛද්‍යවරිය ළඟට ඇවිත් තිබුණේ දරුවට සුදු වෙන්න බෙහෙතක් ඉල්ලගන්න කිව්වොත් ඔබ විශ්වාස කරනවද? සමහර අම්මලා දරුවන්ගේ මොළේ වර්ධනය ගැන හිතන්නේ නෑ, සුදු ළමයෙක් හදන්න දරුවා බඩේ ඉන්නකල් කැරට් කනවා. ඒ කාලත් බබා කළු වුණොත් සමාජෙට මූණදෙන්න ලැජ්ජයි. හමේ පාටින් දරුවන්ගේ ජීවිතවලට බලපෑමක් වෙන්න දෙන්න එපා කියන එක පළමුවෙන්ම අම්මලාගෙන් ඉල්ලනවා.

අතීතේ අප්‍රිකාවේ ජීවත්වෙච්ච මිනිස්සු සුදු සමක් තිබුණු අය තරම් රූපලාවණ්‍ය සත්කාර කරලා නැහැ. සොබාදහම ඒ අයගේ සම රැකගන්නවා කියලා ඔවුන් විශ්වාස කළා. ඇත්ත. ඔවුන් හිතුවා හරි. කළු මිනිස්සු සුදු අය තරම් රූපය ගැන කරදර වෙන්න ඕනේ නෑ. මොකද මෙලනින් එයාලව රැකගන්නවා.

ඒ මෙහෙමයි. මෙලනීන් කියන්නේ වර්ණකයක්. මෙලනීන් වැඩි වුණාම මිනිස්සු කළු වෙනවා. අඩු වුණාම සුදු වෙනවා. මනුස්සයෙක්ගේ ඇඟේ පිහිටන මෙලනින් ප්‍රමාණය තීරණය කරන්නේ ජානවලින්.

හැබැයි අව්ව සහිත රටක ජීවත්වෙනවා නම් ඉබේටම සමේ මෙලනින් හැදෙනවා. ඒ ඇයි දන්නවද?

ඉරඑළියේ තියෙන UV කිරණ අවශෝෂණය කරලා ඒවගෙන් සමට වෙන හානිය අවම කරන්න මෙලනින්වලට පුළුවන්. මේ හේතුව නිසාම තද කළු සමක් තියෙන අයට සුදු හමක් තියෙන අයට සාපේක්ෂව චර්ම පිළිකා හැදෙනවා අඩුයි. ලෝකේ අවම පිළිකා ප්‍රතිශත වාර්තා වෙන්නේ කළු ජාතිකයෝ ඉන්න රටවල. ඒ විතරක් නෙමෙයි මෙලනින් නිසා සමේ තදබව වැඩි වෙනවා. ඒ කියන්නේ කළු සම එල්ලා වැටෙන, වයසට යන සීඝ්‍රතාවය අඩුයි. ඉතින් තමන්ට සොබාදහමින් ලැබුණු මෙලනින් තෑග්ග රැකගන්න ඕනා ඇයි කියලා දැන්වත් ​තේරෙනවද?

ලස්සන වෙනවා කියන්නේ හම සුදු කරගන්න එකට නෙමේ. කළු සම වුණත් පැහැපත්ව නිරෝගීව තියාගන්න බැරිකමක් නැහැ. කළු සමට ගැළපෙන ස්වභාවික සත්කාර මොනවද, කළු කෙල්ලන්ට හොඳ විලාසිතා මොනවද කියලා මේ ලිපියේ තියෙනවා. ඉතින් අද මේ ලිපිය කළු කෙල්ලන්ට විතරයි!

ග්‍රීක් යෝගට් ටිකකට ලෙමෙන් යුෂයි මී පැණියි එකතු කරලා ගාන්න. ග්‍රීක් යෝගට් හොයාගන්න අමාරු වුණොත් රස නොයෙදූ යෝගට් ටිකක් ගන්න.

ග්‍රීන් ටී එකක් උණුවතුරට දාලා නිවෙන්න අරින්න. ග්‍රීන් ටී යුෂවලට දෙළුම් යුෂ ටිකක් එකතු කරලා සමේ ආලේප කරන්න. විනාඩි 20ක් විතර තියලා සෝදලා අරින්න.

මුරුංගා කියන්නේ කළු සමට කියාපු බේත. මුලින්ම අපි මුරුංගා තෙල් ටිකක් හදාගමු. මුරුංගා කොළ ටිකක් අරගෙන සෝදලා තෙතමාත්තු කරලා පොඩිවට කපාගන්න. කපාගත්තු මුරුංගා කොළවලට පොල්තෙල් කාලක් එකතු කරලා හොඳට මිශ්‍ර කරන්න. පස්සේ ඒක ඩබල් බොයිල් ක්‍රමේට රත් කරගන්න. මේ මුරුංගා තෙල් සමේ වගේම හිසේත් ආලේප කරන්න පුළුවන්.

මුරුංගා කොළ වේළලා ඒකට වේළපු නෙල්ලි ගෙඩි දෙකක් එහෙමත් දාලා බ්ලෙන්ඩ් කරගන්න. ඊටපස්සේ මේ පවුඩර්වලට වතුර ටිකක් එකතු කරලා සමේ ගාන්න.

ෂියා බටර්, ටී ෆ්‍රී තෙල්, ආගන් තෙල්, රෝස්ෂිප් ජෙල්, කොහොඹ තෙල්, හයලුරොනික් ඇසිඩ් එහෙමත් කළු සමට හොඳයි.

ඇඳුම් තෝරනකොට සුදු, කාකි පාට, තද දම්, ප්ලම්, රතු, අළු, ළා නිල්, තැඹිලි, රත්තරං, රෝස වගේ පාටවලින් ඇඳුම් තෝරගන්න පුළුවන් නම් සුදු කෙල්ලෝ කීයක් හිටියත් කළු කෙල්ලෝ කැපිලා පේනවා.

කළු, නේවි පාට, තද දුඹුරු, ළා කොළ වගේ පාටනම් කිසිම වෙලාවක අඳින්න එපා. කළු සමට කැපෙන්නේ රත්තරං පාට ආභරණ කියන එකත් කියන්න ඕනේ.

ලිප්ස්ටික් තෝරනකොට චොක්ලට් බ්‍රවුන්, බ්‍රෝන්ස්, දම්, රෝස රතු, කොපර්, දුඹුරු, මැජෙන්ටා වගේ වර්ණ හොඳයි.

කොණ්ඩේ පාට කරන්න ඉන්න කළු කෙල්ලන්ට ඇශ්ලි බ්ලොන්ඩ්, කෝපර්, පේට් බ්ලැක්, කැරමල් බ්‍රවුන්, දුඹුරු, වයලට්, හනී ඩීප් හයිලයිට්ස් වගේ වර්ණ ගැළපෙනවා

දැන් කීපදෙනෙක්ම මගේ හම සුදු කරගන්න කිව්වා. ඒක නම් මම කවදාවත් කරන්නේ නැහැ. මේ පාට මට ආශිර්වාදයක්.”

ලෝකේ කළුම නිරූපිකාව නයකීම් ගට්වෙව් මාධ්‍ය සාකච්ඡාවකදී කිව්ව කතාවක්. ඉතින් කවුරු කොහොම කිව්වත් නයකීම් වගේ උපතින්ම ලැබුණු ඒ ආශිර්වාදය ගැන ආඩම්බර වෙන්න කියන එකයි අපිත් කියන්නේ.

සෙව්වන්දි හෙට්ටිආරච්චි