රූපලවන්‍ය

මේක ටිකක් පරණ කතාවක්. හැබැයි කතාව පරණ වුණාට මොකද අද අපේ බියුටි කතාවට මේක අදාළයි කියලයි අපිට හිතුණේ.

ඔන්න ඒ කලේ කල්පිටිය පැත්තේ ඉඳපු ‘අග්බෝ’ කියලා කොලුගැටයෙක් සීගිරිය බලන්න ගියාලු. හැබැයි සීගිරි ගලේ කොටපු ලලනාවන් දකින්න කලින්ම මේ කොලුගැටයාගේ හිත සීගිරි ගල පාමුල දැකපු ගෑනු ළමයෙක් ළඟ නතර වෙලා. අන්තිමට ඇස්මානෙන් දුරස් වුණත් මේ ගෑනු ළමයව හිත්මානෙන් දුරස් කරන්න බැරි වෙච්චි අග්බෝ ගෙදර ආපු ගමන් කවියක් ලිව්වලු.

‘මානෙල් මලකුත් අතින් අරන් නිල්කට්රොලු මලක ඇමිණුනු වැටකොළු මලක් වගේ ඉන්න නුඹව මට හැම හැන්දෑවකම මතක් වෙනවා’ 

ඒක තමයි කවිය…

මෙච්චර අටෝරාශියක් මල් තියෙන රටේ මේ කොල්ලට සීගිරියේ දැකපු කෙල්ලව වර්ණනා කරන්න නිල්කටරොලු මලක්ම ඕනෑ වුණු හැටි බලන්නකෝ… හැබැයි හිතවතුනි, අද වෙනකොට මේ තත්ත්වය වෙනස්වෙලා. කෙල්ලන්ගේ ලස්සන ගැන කියන්න ඒ කාලෙ අග්බෝලා නිල්කට්රොලු මල ඈඳගත්තට අද කාලෙ ගෑනු ළමයි නිල්කට්රොලු පාවිච්චි කරන්නේ රූපෙ ලස්සන කරගන්න.

එහෙම කරන කුරුණෑගල පැත්තේ එක ගෑනු ළමයෙක් ගැන පහුගිය කාලෙක පත්තරයක ලිපියකුත් පළවෙලා තිබුණා. නිල්කට්රොලු මල් මුදලට ගනු ලැබේ කියලා දැන්වීමක් දැකලා මේ දැරිවි ඒ ගැන හොයලා බලද්දී දැනගන්න ලැබුණලු නිල්කට්රොලුවලින් හදන රූපලාවණ්‍ය නිෂ්පාදනවලට හොඳ ඉල්ලුමක් තියෙනවා කියලා. ඒක දැනගත්ත දවසේ ඉඳලා ඒ ඇත්ති නිල්කට්රොළුවලින් එක එක නිෂ්පාදන හදලා. මුලින්ම හදලා තිබුණෙ නිල්කට්රොලු තේ පානයක්. 

තේ විතරක් නම් බැරියැ, පස්සේ පස්සේ  සබන්, නයිට් ක්‍රීම් වගේ ජාති එහෙමත් අත්හදා බලලා. අඩු ගාණටත් තිබ්බ නිසා එකපාරක් ගත්ත කෙනා තුන්හතර පාරක්ම ඒවා මිලට ගත්තලු. ඒ තරමටම නිල්කට්රොලු සබන් ගාලා කට්ටියගෙ හම පැහැපත් වෙලා ලස්සන වෙලා. දැන් ඉතිං එහෙමයි කියලා නිල්කට්රොලු සබන් හොයාගෙන කුරුණෑගල දුවන්න කාරි නෑ.  නිල්කට්රොලු මල් තුන හතරක් හොයාගත්තොත් ගෙදර ඉඳන්ම ලස්සන වෙන්න පුළුවන් විදියේ සත්කාර කිහිපයක් ගැන අපි කියලා දෙන්නම්. 

නිල්කට්රොලු කියන්නේ තරුණබව රකින්න කියාපු සංඝටක අන්තර්ගත පුෂ්පයක්. සමේ තිබෙන විෂබීජ ඔක්කොම ඉවත් කරලා හම පැහැපත් කරන්න ඔය සංඝටකවලට පුළුවන්. ඒ නිසා නිල්කට්රොලු ආලේපනයක් විදියට විතරක් නෙමෙයි තේ පානයක් විදියටත් තායිවානය, බුරුමය වගේ රටවල උදවිය මේවා පාවිච්චියට ගන්නවා. රුධිරගත සීනි මට්ටම අවම කරලා ප්‍රතිඔක්සිකාරකයක් හැටියටත් ක්‍රියා කරන නිසා නිල්කට්රොලු පානය කළා කියලා හොඳක් මිස නරකක් නම් වෙන්නේ නැහැ. ටැනින්, කාබෝහයිඩ්‍රේට්, සැපොනින්, ෆීනෝල් වගේ සංඝටකවලින් ශරීරයට ඇතුළු වෙන පරපෝෂිතයන්ට එරෙහිව සටන් කරනවා කියලයි විද්‍යාව දන්න උදවිය කියන්නේ. බුද්ධදාස රජතුමාත් එතුමගේ සාරාර්ථ කියන පොතේ නිල්කට්රොළු හඳුන්වලා දීලා තියෙන්නේ විස නසන ඔසුවක් හැටියටනේ. ඒ විදියට විස නසන නිල්කට්රොලුවලින් ලස්සන වෙන්න ක්‍රමත් ඕසෙට තියෙනවා.

නිල්කට්රොලු මල්වලින් අයිස් කියුබ් හදලා මුහුණේ ආලේප කරලා විනාඩි 05ක් විතර හොඳට සම්භාහනය කරලා සෝදා හැරියොත් හමේ පැහැදිලි වෙනසක් අත්දකින්න පුළුවන්.

සමේ අවපැහැගැන්වීම්, රැළි වැටීම් වළක්වා ගන්න ඕනෙ නම් කෝමාරිකා ජෙල් තේ හැඳි දෙකකට නිල්කට්රොලු මල් තුනක යුෂ එකතු කරලා මුහුණේ ආලේප කරගත්තා නම් හරි.

ඒ වගේම ටෝනර් එකක් විදියටත් නිල්කට්රොලු දියරය හොඳ සත්කාරයක්.  

තව ඕනෙ නම් පිසගත් බතුයි, නිල්කට්රොලු යුෂයි හොඳට බ්ලෙන්ඩ් කරලා ගෑමෙන් මුහුණේ ලප කැළැල් මකාගන්න පුළුවන්. 

නිල්කට්රොලු මල් තේ පානයෙන් නිරෝගී දිගු කෙස්කළඹක් ලැබෙනවා වගේම ඇස්වල පෙනීමත් වර්ධනය කරගන්න පුළුවන්. තේ පානය හදාගන්නවා නම් නිල්කට්රොලු මල් 6-7ක් පැසෙන උණුවතුරේ විනාඩි දහයක් පමණ තියලා එයට මී පැණි හා සීනි  එක්කරගෙන පානය කරන්න පුළුවන්.

හිසකෙස් දුර්වල නම් නිල්කට්රොලු මල් 10කට කරපිංචා, උළුහාල් මේස හැඳි දෙකයි, වතුර කෝප්ප දෙකකුයි දාලා විනාඩි දහයක් විතර මඳගින්නේ තම්බලා හිස කෙස්වල ගාගන්න.

නෙත්මි තෂාරා