විශේෂාංග

සිස්ටම් එක CHANGE කරලා එන්න දත් මදින්න

තනියම මොකුත්ම කරගන්න බැරි සන්ධියේදි කටේ තියෙන කිරි දත් ටික මැදලා කරලා පරිස්සම් කරලා දෙන්නේ අම්මා. ඊටපස්සේ ඉතින් ඔන්න යමක් කමක් තේරෙන වයසට ආවම අපි දත් මදින්න ඉගෙනගන්නවා. ‘අපි මෙහෙමයි දත් මදින්නේ… දත් මදින්නේ… දත් මදින්නේ’ කියලා මොන්ටිසෝරි කාලෙදි කියලා දෙන සිංදුවකුත් තියෙනවනේ. හරි විදියටනම් දවසට දෙපාරක් දත් මදින්න ඕනේ. ඔයිට වඩා වැඩි වාර ගාණක් දත් මදින අයත් ඉන්නවා. හැබැයි හරි සිස්ටම් එකට දත් මදින්නේ නැත්තම් දෙපාරක් නෙමේ දහපාරක් මැද්දත් වැඩක් නෑ. හරියට දත් මදින්නේ කොහොමද කියලා කතා කරන එක වැදගත් වෙයි කියලා හිතුවේ ඒකයි.

ආහාර අඹරාගන්න, මුහුණේ හැඩය සහ සුන්දරත්වය පවත්වාගන්න අපිට දත් නැතිව බැහැ. දත් නැතිව බත් කන්න බෑ කියලා කතාවටත් කියනවනේ. මිනිසාට සොබාදහමෙන් දත් කට්ටල දෙකක් දීලා තියෙනවා. එයින් පළවෙනි එක තමයි කිරි දත් කියන්නේ. දරුවෙක්ට අවුරුදු හය විතර වෙනකොට ඔය කිරි දත් හැලෙන්න පටන්ගන්නවා. පුංචි කාලේ අපි නම් කළේ ඔය වැටෙන කිරි දත් අරන් ගිහින් “ලේනෝ ලේනෝ මේ දත අරගෙන අලුත් දතක් මට දියෝ” කියලා අහසට විසි කරපු එක. ඊටපස්සෙ ඉල්ලුවත් වගේ දතක් ලැබෙන නිසා ඒක ඇත්තටම ලේනා දෙන දතක් කියලයි ඒ කාලේ අපි හිතුවේ. කොහොමහරි මේ කිරි දත් හැලීමත් එක්කම ස්ථිර දත් එන්න පටන්ගන්නවා. ඊටපස්සේ ඉතින් ආයේ දත් ඒමක් නෑ. ඒ නිසා ජීවිත කාලෙටම ඔය දත් ටික පරිස්සම් කරගන්න ඕනේ.

අලින්ට දත් කට්ටල හයක් තියෙනවලු. ඔය කට්ටල හයම ගෙවිලා අහවර වුණු අලි කෑම කන්න බැරිව නිරහාරව මියයනවලු. අලින්ගේ විතරක් නෙමේ හරි විදිහට දත් මදින්නේ නැතිකොට අපේ දතුත් ගෙවෙනවා. ඒ මෙහෙමයි. දතක තට්ටු කිහිපයක් තියෙනවා. උඩම ලේයරය එනැමලය. ඒක කිරි පැහැති ඔපමට්ටම් ලේයරයක්. අනවශ්‍ය විදිහට තදින් අතුල්ලලා දත් මදිනකොට ඔය එනැමලයට හානි වෙනවා. ආම්ලික ආහාර ගත් හැටියේ දත් මැද්දහමත් එනැමලය ක්ෂය වෙනවා. ජානමය හේතු සහ වයස්ගතවීම නිසාත් මේ දේ සිද්ධ වෙනවා. ඒවා ඉතින් ස්වභාවිකයිනේ. එනැමලය ක්ෂය වුණාම දතේ ඊළඟ ලේයරය මතුවෙනවා. ඒක කහ පාටයි. ඔයගොඩක් අය දත් කහ ගැහිලා කියන්නේ ඔන්න ඕකට. දත් කහ පාට වුණු හැටියේ කට්ටිය කරන්නේ තව තවත් තදින් දත් මදින එක. ඒකෙන් වැඩේ එක දෙක වෙන බව දැන් පැහැදිලිනේ. පස්සේ මොනවා කරලවත් ඔය ක්ෂය වුණු ස්වාභාවික එනැමල් ලේයරය නැවත ගන්න බැහැ.

ඒ දත් මැදලා වැඩි වුණහම. තව සමහරු ඉන්නවනේ දත් මදින්නේම නැති. එතකොට දත්වල මැලියම් බැඳෙනවා. කාලයක් යද්දි ඒ මැලියම් ඝනවෙලා දත් දිරායනවා. හරියට දත් මදින එක වැදගත් වෙන්නේ ඒකයි. අනික කොහොමද දත් කැක්කුමක් ආවම දැනෙන සනීපේ? ඒකත් දත් සැට් එක හරියට මදින්න හොඳ හේතුවක් නේද?

දත් ටික රැකගන්න නම් දත් මදින්න ඕනේ කියලා මුලින්ම හොයාගෙන තියෙන්නේ චීන්නූ. ඔවුන් තමයි දිරාපත් වූ සත්ව අස්ථිවලට ඌරු කෙඳි බැඳලා ලෝකේ මුල්ම දත්බුරුසුව නිර්මාණය කරලා තියෙන්නේ. ඊටපස්සේ බිත්තර කටුවලට විවිධ තෙල් කවලම් කරලා දන්තාලේප හැදුවලු. පසුකාලීනව දත්බුරුසුව සහ දන්තාලේප මහා පරිමාණ ව්‍යාපාර දක්වා විකසනය වෙලා තියෙනවා. මුලින්ම අපේ රටේ අයට දත්බෙහෙත් බුරුසුවලින් දත් මදින්න පුරුදු කරලා තියෙන්නෙ සුද්දා. ඔය කාලේ හැබැයි අපේ රටේ උදවිය දැහැටි කූරු, අඟුරු ආදියෙන් දත් පිරිසුදු කරලා තියෙනවා.

හරියට දත් මදින්න නම් මුලින්ම හරිහමන් දත්බුරුසුවකුයි, දන්තාලේපෙකුයි තෝරගන්න ඕනේ. වැඩිහිටියෙක් සඳහා තෝරගන්න දත්බුරුසුවක හිසේ උස අඟලක් සහ පළල අඟල් බාගයක් වෙන්න ඕන කියලයි දන්ත වෛද්‍යවරු කියන්නේ. ඒ වගේම ඒකට සියලුම දත්වලට ළඟාවෙන්න පුළුවන් මිටකුත් තියෙන්න ඕනේ. බුරුසුවේ කෙඳිවල ස්වභාවය අනුව සොෆ්ට්, මීඩියම්, හාර්ඩ් කියලා වර්ග තුනක් තියෙනවා. ඝනකම් වැඩි කෙඳිවලින් මැද්දම එනැමලයට හානි වෙන්න පුළුවන්. ඒ නිසා නිතරම සොෆ්ට්, මීඩියම් වර්ගයේ කෙඳි තෝරගන්න. ඒ වගේම කෙඳිවල අග ගෝලාකාර නම් තවත් හොඳයිලු. ඒ වගේම අපි පාවිචිචි කරන බුරුසු මාස තුනකට වරක් මාරු කරන්න ඕනේ. කෙඳි නැවුණු, ගැලවුණු දත්බුරුසුවලින් දත් මදිනවට වඩා දත් නොමැදම ඉන්න එක හොඳා!

ඊළඟට දන්තාලේප. දන්තාලේප කියන්නේ දත් මදින්න උපකාර වෙන ලිහිසිකාරකයක්. ඉතින් ඔය දත්බෙහෙත් ඇඩ්වලින් කියන තරමේ හොඳක් නම් ඕවගෙන් අපේ දත්වලට වෙන්නේ නැහැල්ලු. හැබැයි ෆ්ලොරයිඩ්වලින් දත් දිරායාම පාලනයට පුංචි උපකාරයක් ලැබෙනවලු. ඒ නිසා දත්බෙහෙත් ගනිද්දි පාටයි, රසයි, සුවඳයි බලන්නේ නැතුව ෆ්ලෝරයිඩ් අඩංගු මෘදු දන්තාලේපයක් තෝරගන්න.

දවසට දෙපාරක් දත් මදින්න කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. හැබැයි කෙඳි සහිත ආහාර ගත්තු වෙලාවට දත්බෙහෙත් නොයොදා බුරුසුවෙන් දත් සුද්ද කළාට කමක් නැහැ. රාත්‍රී කාලයේදි මුඛයේ බැක්ටීරියා විශාල ප්‍රමාණයක් ක්‍රියාකාරී වෙනවා. ඒ නිසා උදෑසන ආහාර ගන්න කලිනුත්, රාත්‍රී ආහාර ගැනීමෙන් පසුත් දන්තාලේප යොදලා දත් මදින්න. ඒ වගේම මතක තියාගන්න කොයිම වෙලාවකවත් විටමින් C, සිට්‍රස් වගේ ආම්ලික ආහාරගත් හැටියේ දත් මදින්න එපා. ඒකෙන් එනැමලයට හානිවෙන බව අපි කිව්වා. එවැනි ආහාරවලින් විනාඩි විස්සකට පස්සේ දත් මදින එක දත්වලට ගුණයි.

අරයා මෙයා එක්ක කතා කරන ගමනුයි එහෙ මෙහේ ඇවිදින ගමනුයි දත් මදින්න යන්නේ නැතුව කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් දත් ටික දිහා බලාගෙන නිවී හැනහිල්ලේ දත් මදින්න. මුලින්ම අපි තෝරගත්තු මෘදු බුරුසුවට කඩල ඇටයක තරමේ දන්තාලේප ටිකක් දාන්න. ඊටපස්සේ උඩු හනුවේ විදුරුමස සහ දතක් අතර දත්බුරුසුව අංශක 45 කෝණයකින් ‍තියලා කාවාකාරව පස් සැරයක් පිරිමැදලා පහලට පිහිදාන්න. මෙහෙම උඩුහනුවේ හැම දතක්ම මැද්දට පස්සේ යටිහනුවේ දතුත් කවාකාරව මැදලා උඩට පිහිදාන්න.

දත් මදිනකොට තරහට වගේ මුළු ඇඟේම වාරුව අතට යොදන්න එපා. තදින් දත් මැද්දම එනැමලයට විතරක් නෙමෙයි විදුරුමහටත් හානිවෙලා මුඛයේ ආසාදන ඇතිවෙන්නත් පුළුවන්. ඔය විදිහට විනාඩි දෙකක් දත් මදින්න ඕනේ.

දත් මදින හැමවෙලාවකම දත් තිස්දෙක මැද්දේ තියෙන දිව මදින්න අමතක කරන්න එපා. දිව මත බොහොම ඉක්මනින් බැක්ටීරියා ඇතිවෙනවා. මුඛ දුර්ගන්ධය ඇතිවෙන්නත් ප්‍රධාන හේතුවක් තමයි දිව පිරිසුදු නොකිරීම.

ඔසුහල්වල තියෙනවා දත්වල මැලියම් ඉවත් කරන්න පුළුවන් ෆ්ලෝස් කියලා නූල් වර්ගයක්. ඕකෙන් බුරුසුවට වඩා හොඳින් මැලියම් ඉවත් කරගන්න පුළුවන්. සුද්දෝ නම් ඒකට කියන්නේ ෆ්ලෝස් කරනවා කියලා. දත් මදිනවට අමතරව ෆ්ලෝස් නූලක් පාවිචිචි කරලා බලන්නත් පුළුවන්. ඊට අමතරව මාස හයකට සැරයක් දන්ත වෛද්‍යවරයා මුණගැහෙන්නත් අමතක කරන්න එපා. මේ කිව් දේවල් හරියට කරනවා නම් ඉතින් දෙයියනේ කියලා බයක් සැකක් නැතිව ලස්සනට දත් ටික පෙන්නලා හිනාවෙන්න පුළුවන්.

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි