රූපලවන්‍ය

නහරකාරියන්ට වැඩිය හිටගෙන ඉන්න නරකයි

එයා නාන්නේ නැහැ, එකම ඇඳුම දවස් ගාණක් අඳිනවා. ඒ මදිවට කකුල්වල නහර ඉලිප්පිලා සර්පයෝ වගේ. බලන්න කැතයි.”

අනූ ගණන්වලදි පොප් ලෝකේ හොල්ලන් හිටපු ඇමරිකාවේ බ්‍රිට්නි ස්පියර්ස්ව නොදන්න අය අඩුයි. කාලයක් බ්‍රිට්නි, ජේසන් ට්‍රැවික් කියලා නළු හාදයෙක් එක්ක සම්බන්ධයක් පැවැත්තුවා. පස්සේ මේ ඇයිහොඳැයිය නතරවුණා. සම්බන්දේ නතර වුණාට පස්සේ ජේසන් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා බ්‍රිට්නිගේ සායම හේදුව හැටි තමයි ඔය උඩින් සඳහන් කරලා තියෙන්නේ.

යාළුවෙලා ඉන්දැද්දි කිරිපැණි තාලෙට ඉඳලා සම්බන්දෙ නතර කළාම පෞද්ගලික දේවල් මාධ්‍යට කියාපු ජේසන්ගෙයි පෞද්ගලික විඩීයෝ වගේ දේවල් ලීක් කරන බාල ගණයේ පෙම්වතුන්ගෙයි වෙනසක් නෑ කියලයි බ්‍රිට්නිගේ රසිකයො නම් කිව්වේ.

ඒ කොහොම වෙතත් කකුල්වල සර්පයෝ වගේ නහර පේන එක බ්‍රිට්නිට විතරක් නෙමෙයි ගෑනු 70%කට විතර තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා අද මාතෘකාව ඒක.

කකුල්වල නහර ගැටගැහිලා වගේ පේන එකට කියන්නේ වෙරිකොස් වේයින්ස් කියලා. නහර ගැටගැසීම කියලත් කියනවා.

මේ නහර කරදරේ මිනිස්සුන්ට අද ඊයේ ඇතිවුණු එකක් නෙමෙයි. ඊජිප්තු කැණීම්වලින් හම්බවුණු පුරාණ ඊජිප්තුවරුන්ගේ වෙද හෙදකම් ගැන ලියාපු ‘ඊබර්ස් පැපිරස්’ කියලා පැපිරස් පොතකත් මේ ගැන සඳහන් වෙලා තියෙනවා. ඒ කාලේ උදවියටත් මේ නහර ප්‍රශ්නේ තිබුණය එකෙන් තේරුම්ගන්න පුළුවන්. ඒ අය මේකට කියලා තියෙන්නේ ‘සර්ප වංගු’ කියලා.

කාලෙකට කලින් ග්‍රීසියේ ඇක්‍රොපොලිස් නගරෙන් ක්‍රි.පූ. 400ක් පරණ පිළිමයක් හම්බුණා. වෙරිකොස් හැදිච්චි කකුලක් අල්ලගෙන ඉන්න වෛද්‍යවරයෙක්ව තමයි ඒකෙන් නිරූපණය වෙන්නේ. කකුල්වල නහර ගැටගැහෙන එක බොහොම දරුණු ලෙඩක් කියලලු ඒ කාලේ උදවිය හිතුවේ. ඉතින් වෛද්‍යවරු අමු අමුවෙම මිනිස්සුන්ගේ කකුල් පළලා කොකුවලින් නහර දිග අරිනවලු. ඔය සැත්කම් නිසා දාස් ගාණක් මිනිස්සු මැරිලා. පස්සේ වෛද්‍ය විද්‍යාවේ පියා හිපොක්‍රටීස් නහර ගැටගැහෙන එක මාරාන්තික තත්ත්වයක් නෙමෙයි කියලා හොයාගෙන. ඊටපස්සේ අර මාරාන්තික සැත්කම් එහෙමත් නතර වුණාලු.

කකුල්වල මේ වෙරිකොස් වේයින්ස් ඇතිවෙන්නේ කොහොමද?

ඔන්න ඒක පැහැදිලි කරගන්න පුංචි පහේ විද්‍යා පාඩමකට යන්න වෙනවා. අපේ ඇඟේ තියෙන ටිකක් අපිරිසිදු ලේ ටික හෘදයට ගෙනියන්නේ ශිරා කියන නහර. ශිරා ගෙනියන ලේ හෘදයෙන් පිරිසුදු කළාම ධමනි එව්වා එතැනින් එළියට අරන් යනවා.

ස්කන්ධයක් තියෙන හැම වස්තුවක්ම පොළොව දිහාවට ඇදගන්නවා කියලා අයිසෙක් නිව්ටන් මහත්තයාගේ ගුරුත්වාකර්ෂණ නියමයෙන් කියැවෙනවනේ. හැමදෙයක්ම පොළොවට ඇදගන්නවා නම් කකුලේ තියෙන ලේ ටික උඩට අරන් යන්නේ කොහොමද? ඔය ප්‍රශ්නෙටත් සොබාදහමෙන් විසඳුම් දීලා තියෙනවා. අපි ටිකක් අතපය හොලවද්දි මස්පිඬු සංකෝචනය වෙලා කකුලේ තියෙන ලේ ටික උඩට යනවා. ශිරා නහර ඇතුළේ කපාල කියලා පියන් වර්ගයක් තියෙනවා. ලේ ටික උඩට ගියපු ගමන් කපාලවලින් නහර වැහෙනවා. එතකොට ශිරාට පුළුවන් රුධිරය හෘදයට පොම්ප කරන්න.

හැබැයි කපාල දුර්වල වුණහම මේ වැඩේ හරියට වෙන්නේ නැහැ. එතකොට නහරවලට පිරෙන රුධිර ප්‍රමාණය වැඩිවෙලා ඒ පීඩනේට නහර දඟර ගැහිලා ඉලිප්පිලා එළියට පේන්න ගන්නවා. හරියටම වතුර බටේකට දරාගන්න බැරිතරමේ පීඩනයක් ආපුවහම ඇද වෙන්නේ. ආන්න ඒ විදියට.

මේ විදියට කපාල දුර්වල වෙන්න බලපාන හේතු කීපයක්ම තියෙනවා. ප්‍රධානම දේ තමයි වැඩිපුර හිටගෙන ඉන්න එක. ගොඩක් වෙලා හිටන් ඉන්දැද්දි නහරවල රුධිරය පල්ලෙහාට තල්ලු වෙනවා. එතකොට ශිරාට ලේ උඩට අරන් යන්න අමාරුයි. ඔහොම වුණහම කපාලවල ක්‍රියාකාරිත්වයත් අඩුවෙන නිසා එව්වත් හරියට වැඩ කරන්නේ නැතිව යනවා. එකදිගට හිටගෙන රැකියා කරන අයට එහෙම මේ ප්‍රශ්නේ වැඩියි. දැනටමත් වෙරිකොස් තියෙන කෙනෙක් නම් වැඩිවෙලා හිටන් ඉන්න වෙන රස්සා කරන්න හිතන්නවත් එපා. ඒකෙන් ප්‍රශ්නේ වැඩිවෙන්න පුළුවන්.

ඊළඟ දේ බර. ඇඟේ බර වැඩිවුණාම චලනයන් අඩුවෙනවා. අනික මුළු ඇඟේම බර කකුල්වලට දැනෙන නිසා කපාල දුර්වල වෙන්න ඉඩ තියෙනවා. වයස්ගත වෙද්දි වගේම පරම්පරාවේ ජානමය උරුමයක් විදියටත් වෙරිකොස් හැදෙන්න පුළුවන්.

ටිකක් මහතට වැඩිපුර පිටතට පේන්න වෙරිකොස් තියෙනවා නම් කකුලට වේදනාවක් ඇතිවෙන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් වෛද්‍යවරයෙක් ගාවට යන එක තමයි ගොඩක් හොඳ. සැත්කම්, ලේසර් සත්කාර වගේ දේවල්වලින් වෙරිකොස් ඉවත් කරන්න පුළුවන්. නහර ගැටගැසීගෙන එනවා කියලා තේරිච්චි ගමන් ප්‍රතිකාර කරනවා නම් තත්ත්වය පාලනය කරගන්න ලේසියි.

සාමාන්‍ය විදියට වෙරිකොස් තියෙනවා නම් මේ ප්‍රතිකාර කරන්න. ඔලිව් තෙල් බෝතල් කාලකට සුදුලූණු බික් තුනක් තලලා දාන්න. ඒකට විටමින් E කරල් තුනකුත් දාලා පැය හයක් තියලා කකුලේ ගාලා කොට්න් රෙද්දකින් සැහැල්ලුවට කකුල ඔතලා විනාඩි විස්සකින් විතර හෝදන්න.

ගොටුකොළ ඉස්ම ගාන්න. වැඩිපුර ගොටුකොළ කන්න. තක්කාලි ගෙඩි දෙකක් බ්ලෙන්ඩ් කරලා වෙරිකොස්වල ගාලා කොට්න් කෑල්ලකින් සැහැල්ලුවට ඔතලා විනාඩි 20කින් හෝදන්න. කකුල උණුසුම් තුවායකින් තවලා සාමාන්‍ය රස්නේ පොල්තෙල් ටිකක් ගාලා කකුලේ පහල ඉඳලා උඩට සම්බාහනය කරන්න.

දැනටමත් වෙරිකොස් තියෙන කෙනෙක් නම් දිනපතාම ව්‍යායාම කරන්න. කකුල් උඩට හිටින තාලේ ව්‍යායාම, ඇවිදීම, යෝගා, පඩි නැගීම, ඇවිදීම කරන්න. වෙරිකොස් නැති කෙනෙක් වුණත් ඔය ව්‍යායාම කරනවා නම් එව්වා ඇතිවෙන එක වළක්වන්න පුළුවන්. වැඩි වෙලාවක් හිටන් ඉන්න වෙන රැකියාවක්  කරනවා නම් ඒ අතර කාලයේ ටිකක් ඉඳගන්න. වැඩ කරන අතරතුරේ කකුලට ව්‍යායාම කරන්න.

මොන දේ වුණත් ශිරාව ෆිට් එකේ තියාගන්න බලන්න. මොකද ශිරා ෆිට් නම් සර්ප වංගුවලට නෝ චාන්ස්. එහෙම නැත්තම් ඉතින් නහරකාරයෙක් කියලා අනුන්ගෙන් කතා අහගන්න තමයි වෙන්නේ. හරියට බ්‍රිට්නිට වුණා වගේ.

සෙව්වන්දි හෙට්ටිආරච්චි