රූපලවන්‍ය

කොණ්ඩේ යනවානම් භෘංගරාජයාට කියන්න

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්නධරණීහැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා.

ආයුර්වේදය කියන්නේ සොබාදහමට ලැදි වෛද්‍ය විද්‍යාවක්. ධන්වන්තරී කියන දෙවියන් ආයුර්වේදය නිර්මාණය කළා  කියලයි ඉන්දියානුවන්ගේ පිළිගැනීම. දිව්‍ය මණ්ඩලේ දෙවිවරුන්ට අසනීපයක් කාරිය හැදුනහම බේත් ඉල්ලගන්නේ මේ කියන ධන්වන්තරී දෙයියන්ගෙන්ලු.

ඔහොම ඉන්දැද්දි දවසක් පාර්වතී දේවියගේ කෙස් හැලෙන්න පටන් අරන්.දේව බලෙන් අටෝරාශියක් දේවකර්ම කළත් කෙස් හැලෙන එකේ නෙමේලු අඩුවක් වුණේ. අවසානෙදි පාර්වතී දේවිය ධන්වන්තරී දෙයියෝ මුණගැහෙන්න ගිහින්. පස්සේ ධන්වන්තරී  පර්වතීට භෘංගරාජවලින් බේතක් හදලා දුන්නලු. මේ බේත ගෑවහම පාර්වතී දේවියගේ කේශ ප්‍රශ්නේ සුව වුණාලු. දේව බලේටත් සුව කරන්න බැරි ලෙඩ භෘංගරාජයා සුව කොළා ඕන්.

ඉතින් එදා ඉඳලා භෘංගරාජයා කොණ්ඩෙටම කියාපු බේතක් විදියටයි සැලකෙන්නේ. ඉන්දියාවේ මිනිස්සු විතරක් නෙමෙයි ඉස්සර අපේ ඇත්තොත් කොණ්ඩෙට දැම්මෙම භෘංගරාජ. ඉස්සර අපේ ආත්තම්මලා වෙල්වල ඇවිදලා භෘංගරාජයෝ හොයාගෙන එව්වයින් තෙල් හින්දලා කෙස්වලට දානවා.

කවුද හැබෑටම මේ භෘංගරාජයා? භෘංගරාජ කියන්නේ කීකිරිඳියාවලට. මේක කේශ්‍ය සොබාවය වැඩි ශාකයක් විදියටයි ආයුර්වේදයේ දැක්වෙන්නේ. කේශ්‍ය සොබාවේ කියන්නේ කෙස් පෝෂණය කරන ගුණ වැඩියි කියන එකයි.

අකලට කෙස් හැලීම, සුදුවීම, දුර්වල වීම නවත්තන්න කීකිරිඳියා කදිමයි. ඒ විතරක් නෙමෙයි කෙස් කළු කරන්න හිස්හොරි පාලනය කරන්නත් භෘංගරාජයාට පුළුවන් නොවෑ. දැන් අයට වැඩි අගයක් නැතිවට මොකෝ ඉස්සර බවලතියෝ මේ ශාකෙට සලකලා තියෙන්නේ කේශ දෙවියෝ ගාණට.

හැබැයි කෘත්‍රිම සත්කාර පාවිච්චියට අකමැති ඖෂධීය ශාකවල ගුණ දන්න අය අදත් ඉන්නවා. අන්න ඒ අයට කීකිරිඳියවලින් හර්බල් ෂැම්පු එකක් හදලා විකුණන හැටියි අද කියන්නේ.

කේශ කලාපෙට ෂැම්පු එකක් දාන එක දැන් සාමාන්‍ය දෙයක්. හැබැයි මේ දවස්වල ගොඩක් ෂැම්පු අස්ප ගණන්. ඒ වගේම අපේ වෙළඳපොළේ තියෙන ගොඩක් ෂැම්පුවල අහිතකර රසායන අඩංගුයි. එහෙම බැලුවහම ඉතින් ඒ ෂැම්පු ගාන එක අතින් කාලා හරක් බලනවා වගේ වැඩක්. ඔය හැම ප්‍රශ්නෙකටම විසඳුමක් තමයි මේ හර්බල් ෂැම්පු එක.

ෂැම්පු එකක් කියන්නේ හිසට ආලේප කරන දෙයක්නේ. ඉතින් නිෂ්පාදනයට SLS සහතිකය ගන්න තරමට ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන්න පහසුයි. මොකද දැන් ගොඩක් උදවිය හර්බල් කියලා ගෙදර හදපු මෙලෝ ප්‍රමිතියක් නැති කුණ්ඩවාල කොච්චර නම් විකුණනවද?

හරි දැන් බලමු වැඩේ කරන හැටි. මේකට කීකිරිඳියා හොයාගන්න. වෙල් තියෙන තැන්වලින් භෘංගරාජ හොයාගන්න පුළුවන්. එහෙම නැත්තම් ආයුර්වේද බෙහෙත් කඩවලින් ගන්නත් පුළුවන්. කීකිරිඳිය යුෂ 250ml ඕනේ. ඊට අමතරව SLES (Sodium laureth sulfate) 200g (කෙස්වල කුණු ඉවත් කරයි), EDTA (Ethyl  Die Tetra Acid) 10g (වතුරේ කිවුල නැති කරයි), ග්ලිසරින්100ml (තෙතමනය ආරක්ෂා කරයි), වතුර 50ml, CDEA (Coco Diethanolamide) 45ml (පෙන නැගීමට), Perling Agent 5g (දිස්නය දීමට), ඇමෝනියම් ක්ලෝරයිඩ් 4 – 5g (උකු කිරීමට)

 

පියවර 1

වතුර සහ කීකිරිඳිය මිශ්‍ර කරලා SLES දාලා හොඳට පැයක් විතර දිය කරන්න.

 

පියවර 2

පස්සේ අනිත් දේවල් පිළිවෙලින් දාන ගමන් හොඳට මිශ්‍ර කරන්න.

පෙන අඩුවුණාට පස්සේ බෝතල් කරන්න.

අවශ්‍ය නම් කීකිරිඳියා යුෂ වෙනුවට හීං නාරං, දෙහි, උලුහාල්, සපත්තු මල්, කළුදුරු, නෙල්ලි, කෝමාරිකා වගේ කොණ්ඩේට ගුණ දෙන ඕනම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් හර්බල් ෂැම්පු කිහිපයක්ම හදන්නත් බැරි නෑනේ. හර්බල් ෂැම්පු 200ml ප්‍රමාණයක් රුපියල් 400 වගේ ඉඳලා මිල කරන්න පුළුවන්. මේ ගැන තවත් විස්තර දැනගන්න තියෙනවා නම් 0714766819 අංකෙට කතා කරන්න.

සෙව්වන්දි හෙට්ටිආරච්චි