රූපලවන්‍ය

කාගෙත් හිත් ගත් උඩැක්කියක් වෙන්නෙ කොහොමද?

තොපගේ තෙල මොළොක් වූ කෝමල පතුල් රත්පියුම් දෙකක් මෙන් බබළයි. ක්‍රමයෙන් සිහින් වූ තොපගේ කෙණ්ඩා සඟල රන්මොනර කර දෙකක් මෙන් ඉතා පියකරුය. තවද තොපගේ මටසිලුටු වූ පිරිපුන් කලවා සඟල රන් කෙසෙල් කඳ දෙකක් මෙන් ඉතා සිත්කලුය. මිටින් ගත හැකි තොපගේ සිඟුවලඟ රන් සිරිවසක් මෙන් ශෝභාමත්ය.”

සාලිය කුමාරයා හෝපලු ගහක නැගලා උන්නු අශෝකමාලාගේ රුව වර්ණනා කළේ ඔන්න ඔහොමලු. චණ්ඩාල කුලේ කෙල්ලක් වෙච්චි අශෝකමාලාගේ පතුල් නෙළුම් මල් වගේලු. එතකොට කෙන්සා දෙක මොනර කරවල් වගෙයි කියනවා. කලවා දෙක මහත කෙසෙල් කඳන් දෙකකට උපමා කරලා තියනවා. එතකොට ඉඟ එකමිටට අතින් ගන්න පුළුවන් උඩැක්කියක් වගේ කියලයි ඔය වර්ණනාවෙන් කියන්නේ.

ගෑනු ශරීරයේ හැඩ විවිධාකාරයි. හැමෝටම තියෙන්නේ එකම හැඩේ නෙමෙයි. ඇපල් හැඩය, පෙයාර්ස් හැඩය, උඩැක්කි නැත්තම් වැලි ඔරලෝසු හැඩය, හතරැස් හැඩය, ත්‍රිකෝණ හැඩය, ඕවල් හැඩය, දියමන්ති හැඩය වගේ එක එක හැඩ තියෙනවා.

ඔතැනින් ලස්සනම හැඩේ උඩැක්කි හැඩේ. පේන විදියට අශෝකමාලාටත් තිබිලා තියෙන්නේ උඩැක්කි හැඩේ. ඇයට විතරක් නෙමෙයි ඉස්සර හිටපු කාන්තාවන් බහුතරේකට මේ හැඩය තිබිලා තියෙන හැඩයි. ‘සිසි වන උවන ඉඟ සුඟ ගත හැකි මිටින’ සැළලිහිණි සංදේශේ එන මේ ස්ත්‍රී  වර්ණනාවෙනුත් කියැවෙන්නේ එහෙම ශරීර තියෙන බවලතුන් ගැනනේ.

ආහාර රටාව නිසාදෝ ඉඟ සුඟ අතින් ගන්න පුළුවන් ළඳුන් නම් දැන් අඩුයි. කෙනෙක්ගේ ඇඟේ හැඩය තීරණේ වෙන්නේ ශරීරයේ මේදය තැම්පත් වෙන ආකාරයත් එක්කයි. ඉතින් ශරීර හැඩය මොකද්ද කියලා හරියටම අඳුනගත්තොත් ශරීර හැඩය පාලනය කරන්න ලේසියි. අනික හැමෝම අඳින පලියට හැම ඇඳුමම හැමකෙනාටම ගැලපෙන්නෙත් නැහැ. ඒකටත් ඇඟේ හැඩේ ගැන දැනගන්න ඕනේ. ඉතින් ඒ ගැන දැනගන්න ඕනේ නම් මේ ලිපිය කියවන්න.

මුලින්ම අපි අපේ හැඩය මොකද්ද කියලා අඳුනගමු. ඒකට උරහිස, පපුව, ඉණ, උකුල් මැනලා කොළේක ලියාගන්න. පස්සේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා අපි කියන කරුණුත් එක්ක මිමි ප්‍රමාණත් බලලා ඇඟේ හැඩය තීරණය කරන්න

 

ඇපල් හැඩය/රවුම් හැඩය (Apple Shape)

කකුල්වලට සාපේක්ෂව උකුලයි, බඩයි විශාලයි. බඩේ සහ පපුවේ වැඩි වශයෙන් මේදය තැම්පත් වෙනවා කියන එක තමයි ඒකේ තේරුම. මේ හැඩය සෞඛ්‍යසම්පන්න නැහැ. ලංකාවේ බහුතරයක් කාන්තාන්ට තියෙන්නේ ඇපල් නැත්තම් රවුම් හැඩය කියන එක කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා.

 

පෙයාර්ස් හැඩය (Pear Shape)

පෙයාර්ස් හැඩය තියෙන අයගේ ශරීරයේ උඩට වඩා පහල විශාලයි. මේ අයගේ බඩ ලොකුයි, උකුල් පළල්. ඒ කියන්නේ වැඩියෙන්ම මේදය තැම්පත් වෙන්නේ ඒ තැන්වල. මේකත් සෞඛ්‍යසම්පන්න හැඩයක් නෙමෙයි. ඇපල්වලින් පස්සේ ලංකවේ සුලබ හැඩය මේක.

 

හතරැස් හැඩය (Athletic Shape)

උකුල සහ උරහිස් පළල්. මේදය එක තැනක තැම්පත් නොවී ශරීරය පුරාම බෙදිලා තැම්පත් වෙනවා. එතකොට බඩ, ඉණ, පපුව මේ හැමතැනකටම ලැබෙන්නේ එකම මිම්මක් වගේම මෙහෙම ඇඟවල් තියෙන අය ලේසියකට මහත් වෙන්නෙත් නැහැ.

 

උඩැක්කි හැඩය/වැලි ඔරලෝසු හැඩය (Hourglass Shape)

මේක තමයි ලස්සනම ශරීරය හැඩය කියලා කිව්වනේ. හැබැයි මේ හැඩය සහිත කාන්තාවන් හරි අඩුයිලු. මේ අයට සිහින් ඉඟටියකුත් සමානුපාතිකව බෙදුනු උඩුකයකුයි යටිකයකුයි තියෙනවා.

 

ත්‍රිකෝණ හැඩය (Triangles Shape)

සිරුරේ ඉහළ විශාලයි. කකුල් කුඩයි. පපුවෙයි අත්වලයි තමයි වැඩියෙන් මේදය තැම්පත් වෙන්නේ.

 

ඕවල් හැඩය (Oval Shape)

වැඩියෙන්ම මේදය තැම්පත් වෙන්නේ පියයුරුවල. ඒ නිසා පපුව විශාලයි. කකුල් සිහින්. ඒ වගේම උකුල පටුයි.

 

දියමන්ති හැඩය (Diamond Shape)

කකුල්වල සහ උකුලේ මේදය තැම්පත් වෙනවා වැඩියි. එව්වට සාපේක්ෂව පපුව කුඩයි.

 

ඉතින් මේ කාරණා එක්ක සිරුර අධ්‍යයනය කරලා තමන්ගේ හැඩය තේරුම්ගන්න. “මගේ මුළු ඇඟම කෙට්ටුයි, බඩ විතරක් ලොකුයි”, “මගේ නම් මුළු ඇඟම මහතයි, හැබැයි කකුල් විතරක් කෙට්ටුයි” සමහරු ඔය වගේ කතා කියනවා. ඒ ඇයි කියලා දැන් තේරුම්ගන්න පුළුවන් ඇති.

මීටපස්සේ ව්‍යායාම කරද්දි මේදය වැඩිපුර තැම්පත් වෙන තැන්වලට වැඩියෙන් ව්‍යායාම කරන්න. උදාහරණයක් විදියට ඇපල් හැඩයේ නැත්තම් රවුම් හැඩයේ ඇඟක් තියෙන කෙනෙක් නම් බඩට  වැඩියෙන් ව්‍යායාම කරන්න. එතකොට ත්‍රිකෝණ හැඩයේ ශේප් එකක් තියෙනවා නම් අත්වලට පපුවට කරන ව්‍යායාම අනික්වට සාපේක්ෂව වැඩි කරන්න. ව්‍යායාමවලින් මේ හැඩ වෙනස් කරන්න පුළුවන්. කෑම පාලනය කරලා හොඳින් ව්‍යායාම කළොත් ඇපල් හැඩයේ කෙනෙක්ට වැලි ඔරලෝසු හැඩය වුණත් ගන්න බැරිකමක් නැහැ

මේ මෑතකදි ඇමරිකාවේ ‘ස්පෝර්ට් ඉලස්ට්‍රේටඩ්’ කියලා නාන ඇඳුම් විලාසිතා දැක්මක් තිබුණා. මේකට එක එක ශරීර හැඩ තියෙන අය සහභාගී වෙලා තිබුණා. එතැන හිටපු ලොකු බඩවල් තිබුණු ඇපල් ශේප් එකේ අයයි, පෙයාර්ස් ශේප් එකේ අයයි ගොඩක් කැපිලා පෙනුණා. ඒ වගේ අයටත් විලාසිතා දැක්මවල්වල තැනක් දෙන එකට ගොඩක් අය සංවිධායකයන්ට ස්තූති කරලා තිබ්බා.

හැබැයි ඕක දැකපු ඇමරිකාවේ වෛද්‍යවරු කිව්වේ වෙන කතාවක්. ඒ ශරීර හැඩ ඒ විදියට ප්‍රොමෝට් කරන එක ස්ථුලතාවය අගයනවා වගේ වැඩක්ලු. ඒක අනතුරුදායක සෞඛ්‍යක් හදාගන්න කියලා නොකියා කියනවා වගේ එකක්ලු. ඒ කතා කොහොම වෙතත් හැඩට නිරෝගීවට ඉන්න කැමති කෙනෙක් නම් ශරීරයේ හැඩය බලලා මේ ව්‍යායාම කරන්න කියලයි ඔන්න අපි නම් කියන්නේ.

ඇපල්/රවුම් හැඩයේ කෙනෙක් නම් කාර්ඩ්යෝ, ඇරබික්, පුෂ්-අප්ස්, ස්කොට්, ප්ලැන්ක් වගේ ව්‍යායාම වැඩිපුර කරන්න. පෙයාර්ස් හැඩයේ කෙනෙක් නම් ඉහත ව්‍යායාම වගේම ඩෙඩ්ලිෆ්ට්, ස්ටැටික් එව්වත් කරන්න. උඩැක්කි හැඩයේ කෙනෙක්ට ප්ලැන්ක්, රිවර්ස් ෆ්ලයිස් වගේ ව්‍යායාම කදිමයි. ත්‍රිකෝණාකාර හැඩේ කෙනෙක් නම් ස්කොට් සහ ලිෆ්ටින් කරන්න. ස්වෙල් ස්කොට්, ලිෆ්ට් ඕෆ් ලුන්ග් වගේ එව්වයි හතරැස් අයට හොඳ. ඕවල් කෙනෙක් නම් කාර්ඩියෝ, රෙසිස්ටන්ස් ට්‍රේනින්ග් වගේ දේවල් ගැලපෙනවා. දියමන්ති බොඩි ශේප් එකක් තියෙනවා නම් පුෂ්-අප්, ප්ලෑන්ක් වගේ එවා වැඩිපුර කරන්න.

හැම ඇඳුමක්ම හැම කෙනෙක්ටම ගැලපෙන්නේ නෑ කිව්වනේ. වෙන කෙනෙක් ඇඳන් ඉන්න ඇඳුමක් ලස්සනයි කියලා හිතුවට ඒක ඔයාට ලස්සන නොවෙන්න පුළුවන්. නැත්තම් කඩේ ඩමියකට අන්ඳපු ඇදුමක් ගෙදර ගෙනැල්ලා ඇඳලා බැලුවහම වෙනස් වෙන්න පුළුවන්. ඒකට බලපාන්නේ ඇඟේ හැඩය. ඇඟේ හැඩයට අනුව ඇඳුම් තෝරගන්න හැටි දැන් කතා කරමු.

ඇපල් හැඩයක් තියෙනවා කියන්නේ ටිකක් මහත කෙනෙක් කියන එකනේ. එහෙම කෙනෙක් නම් ඇඟට තද ඇඳුම් අඳින්න එපා. ඇඟේ සයිස් එකට වඩා ටිකක් ලොකු ඇඳුම් ගන්න. පහලට ඉරි තියෙන ඇඳුම් තෝරගන්න. ඒකෙන් උදරය අඩු කරලා පෙන්වනවා. ඒ වගේම ලොකු මෝස්තර තියෙන ඇඳුම් වෙනුවට තද පාට ප්ලේන් ඇඳුම් තෝරගන්න. අත් නැති ඇඳුම් වගේම කොට ඇඳුම්වලිනුත් ඇඟේ ප්‍රමාණය වැඩි කරලා පෙන්වනවා.

හතරැස් හැඩයක් තියෙනවා කියන්නේ ඒ කෙනා ටිකක් කෙට්ටුයි. ඉතින් එහෙම කෙනෙක් නම් තිරස් පැත්තට ඉරි තියෙන ඇඳුම් අඳින්න. වැලමිට ගාවට අත් දිග ඇඳුම් ගන්න. බෝරිච්චි, රැලි සහිත අත් තියෙන ඇඳුම් ගැලපෙනවා. වර්ණ කිහිපයක් මිශ්‍ර ඇඳුම් ඇන්දහමත් ලස්සනයි. උරපටි නැති ඇඳුමුත් හොඳයි. හැබැයි කිසිම වෙලාවක උරහිසට පෑඩ් දාපු ඇඳුම් අඳින්න එපා.

පෙයාර්ස් හැඩයේ කෙනෙක් ශෝල්ඩර් පෑඩ්ස් තියෙන ඇඳුම් ඇන්දට කමක් නැහැ. නිතරම ඉණෙන් ඉහළ ඉස්මතු වෙන විදියට අඳින්න. පුෂ් අප්, පැඩඩ් බ්‍රා ඇඳලා උඩුකය ටිකක් ලොකුවට පෙන්වන්න පුළුවන්. මැක්සි ගවුම්, බෝට්ටු කර ඇඳුම් එහෙමත් ගැලපෙනවා. හැබැයි තද සායවල්, බැලූන් ඇඳුම් අඳින්න එපා.

ත්‍රිකෝණ ඇඟක් තියෙනවා නම් බෝට්ටු කර ඇඳුම්. ඒ-ලයින් සායවල්, පැඩඩ් බ්‍රා, ඉණ තද ඇඳුම් අඳින්න, හැඩ නැති කමිස අඳින්න එපා.

වැලි ඔරලෝසු හැඩේ කෙනෙක්ට සාය, බ්ලව්ස්, හිර ගවුම්, ෆ්ලෙයර්ඩ් සාය, කඩා හැලෙන ඇඳුම්, පෙන්සිල් කට් ඔය ඕන එකක් ගැලපෙනවා. හැබැයි හැඩේ සඟවන හැඩ නැති ලොකු ඇඳුම් අඳින්න එපා.

ඇඟ ඕවල් නම් හතරැස් බෙල්ල, U-V කර ඇඳුම්, සිරස් ඉරි ඇඳුම්, පළල් කරපටි, දැල් ඇඳුම් වැඩිය හොඳයි. එත් ලිහිල් හැට්ට, පළල් රැළි සායවල්, තද ටී ෂර්ට්, උස් බෙල්ලක් තියෙන ඇඳුම් එපා.

සිහින් පෙනුමක් දෙන ඩෙනිම් කලිසම්, සාය, පටි අත් බ්ලව්ස්, තද ලෙගින්ස්, දියමන්ති හැඩේ අයට කදිමයි. විශාල මුද්‍රණ සහිත ඇඳුමුයි සිරස් ඉරි සහිත එව්වයි ගන්න එපා.

සෙව්වන්දි හෙට්ටිආරච්චි