රූපලවන්‍ය

ආස නැද්ද මාසයක් ඇතුළත රෝස මලක් වගේ ලස්සන වෙන්න?

මීට අවුරුදු කිහිපයකට කලින් ජපානේ කට්ටිය කරපු සමීක්ෂණයකට පස්සේ බෙනිඕ කියලා සමාගමක් ටොෆි ජාතියක් නිෂ්පාදනය කරලා තිබුණා. ඇමරිකානු වෙළඳපොළට තමයි මුලින්ම මේ ටොෆිය ඉදිරිපත් කරලා තිබුණේ. හැබැයි මෙච්චර කාලයක් ‘රස’ නිසා ටොෆි කාපු උදවිය මේ ටොෆිය කෑවෙනම් වෙන පරමාර්ථයකින්ලු. ඒ පරමාර්ථය තමයි සුවඳවත් වීම. 

මොකද මේ ටොෆි ජාතිය හැදුවා කියලා කියන්නේ දුගඳ නැති කරන විලවුන් විශේෂයක් විදියට. ඒක කාපු ගමන් මුළු ශරීරයෙන්ම රෝස මල් සුවඳ හමන්න පටන්ගන්නවලු. පැය හයක් විතර සුවද තියෙනවා කියලයි කියන්නේ. 

මේ ටොෆි ජාතිය හදලා තිබුණේ බල්ගේරියාවේ රෝස මල්වලින්. ඒක නිසාම ඒ ටොෆිවලට කිව්වේ රෝස ටොෆි කියලා. බල්ගේරියාව කියන්නේ රෝස මල්වලටම ප්‍රසිද්ධ රටක්නේ. රෝස මල් නිම්නය පිහිටලා තියෙන්නේත් ඔය රටේම තමයි. බල්ගේරියාවෙ රෝස මල්වලින් හදපු ඔය රෝස ටොෆි එන්න කලින් ඉඳලම බල්ගේරියාවේ ගෑනු ළමයි සුවඳවත් වෙන්න වගේම ලස්සන වෙන්නත් පවිච්චි කරලා තිබුණේ රෝසමල්. ඒකට එයාලා යොදාගත්තේ රෝස මල්පෙති, වතුර වගේම තෙල්. අන්න රෝස මල් සත්කාරය ගැන තමයි අද ලිපියෙන් අපි කියන්න යන්නේ. 

රෝස මල්වල විටමින් සී අඩංගු නිසා සමේ සෛලවලට වෙන හානිය වළක්වාගන්න බැරිකමක් නැහැ. ඒ විතරක් නෙවෙයි අව් රශ්මියෙන් සම ආරක්ෂා කරගන්න වගේම බැක්ටීරියාවලට එරෙහිව කටයුතු කරන්නත් රෝසමල්වලට පුළුවන්. සමේ කැළැල් නැති කරලා සිදුරු පිරිසිදු කරලා හම පැහැපත් කරන්න රෝස මල් කියන්නේ කියාපු සත්කාරයක්. හැබැයි ඉතින් මේ වැඩේට යොදාගන්න ඕන කල්තබා ගැනීමේ ද්‍රව්‍ය වගේම රසායන ද්‍රව්‍යයත් අඩංගු නැති රෝස මල් තමයි.

සමේ තෙතමනය රඳවලා පිරිසිදු නිකළැල් සමක් ලබාගන්න කැමති අයට රෝස වතුර කියන්නේ හොඳ විසඳුමක්. රෝස වතුර ටෝනර් එකක් විදියට පාවිච්චි කරනවා නම් ඒවා පුළුන් කෑල්ලකින් මුළු මූණේම ආලේප කරන්න ඕනෑ. 

ඇස් යට කළුවෙලා වගේ තියෙනවා නම් කපු පුළුන් කැබැල්ලක් අරන් ඒක හොඳට රෝස වතුරේ පොඟවලා විනාඩි පහළොවක් විතර ඇස් යට ගාලා තිබ්බම හරි. 

රෝස වතුර ස්වභාවික ටොනර් එකක් විදියට පාවිච්චි කරනවා නම් තරමක් ලොකු රෝස මල් දෙකක් වතුරේ පෙඟෙන්න ඇරලා උණුවතුර කෝප්ප දෙකකුත් ඒකට එක්කරලා පැයක් විතර තියන්න. ඊටපස්සේ පෙති අයින් කරලා ස්ප්‍රේ බෝතලයකට දාලා ශීතකරණයේ තියන්න. අවශ්‍ය වුණොත් මුහුණට ඉහලා තෙතමාත්තු කරගත්තා නම් හරි.

රෝස මල් වතුර ක්ලෙන්සර් එකක් විදියටත් සුදුසුයි. ඒකට රෝස වතුරයි, නැවුම් කිරියි මුහුණේ අලේප කරලා හෝදන්න ඕනෑ.

රෝස මල් පෙති කියන්නෙත් හොඳ ස්ක්‍රබ් එකක්. ඒ ස්ක්‍රබ් එක හදාගන්නවනම් පල්පයක් විදියට හදාගත්ත රෝස මල් පෙතිවලට මයිසූර් පරිප්පු කුඩු මේස හැන්දකුයි හාල්පිටි මේස හැන්දකුයි, මී පැණි මේස හැන්දකුයි මිශ්‍ර කරගන්න. ඊටපස්සේ ඒක මූණේ ආලේප කරලා ටික වෙලාවක් තියලා සෝදලා හරින්න.

රෝස පෙති බ්ලෙන්ඩ් කරලා යුෂ ටික පෙරාගෙන ඒකට කෝමාරිකා ජෙල් ටිකකුත් එකතු කරගත්තොත් ඒක උදේ හවස ෆේස් සීරම් එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්. 

රෝස පෙතිවලින් මුහුණේ ගාන ක්‍රීම් එකක් හදාගන්න ඕන නම් බ්ලෙන්ඩ් කරගත් ඇපල් හා රෝස පෙතිවලට වතුර නොදා පොල්කිරි විතරක් දාලා ක්‍රීම් එකක් වෙනකම් හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඊටපස්සේ ඒක මුහුණේ ආලේප කරලා විනාඩි 20ක් විතර තියලා සෝදා හරින්න.

රෝස පෙති වගේම රෝස තෙල් කියන්නෙත් සමට හොද රූපලාවණ්‍ය සත්කාරයක්. වියළි සමකට වගේම සාමාන්‍ය සමකට තමයි රෝස තෙල් ගොඩක්ම ගැළපෙන්නේ. තෙල් සහිත සමකටත් නරකම නැහැ. ඒක නිසාම ඔය කියපු මොන විදියේ සමකට වුණත් රෝස තෙල් ටිකක් පුළුන් කැබැල්ලකට අරන් අත් පාවල ආලේප කරලා සම පැහැපත් කරගන්න බැරිකමක් නම් නැහැ. 

හිස්හොරි තියෙනවා නම් රෝස තෙල්වලට දෙහි බිංදු කිහිපයක් එක්කරලා හිස්කබලේ ආලේප කරගන්න එකයි කරන්න ඕනෑ.

රෝස මලක් වගේ ලස්සනට ඉන්න කැමති නම් රෝස මල්වලින් මේ කියපු සත්කාර ටික කරලා බලන්නකෝ…

නෙත්මි තෂාරා