විශේෂාංග

කකුල් මසාජ් කළාම මූණ ලස්සන වෙන්නෙ කොහොමද?

ඉතා වෙහෙසකර දිනක අවසානයේදී කිසිවකු ලවා මොහොතක් දෙපතුල් සම්බාහනය කරන විට දැනෙන සැහැල්ලුව ඔබ විඳ ඇතුවාට සැක නැත.

දෙපතුල් මේ සා සංවේදී වීමට හේතුව ශරීරයේ ඇතැම් අවයව සහ ශරීර පද්ධතිවලට සම්බන්ධ ස්නායුවල පීඩන ස්ථාන (Pressure Points) රැසක් යටිපතුලේ පිහිටා තිබීමය. සරලවම කිවහොත් නිවැරදි පතුල් තෙරපීමකින් මානසික ආතතිය අවම කර ඇතැම් ලෙඩ රෝග පවා සුවපත් කළ හැකි බව වෛද්‍ය මතයයි.

එපමණක්ද, නැත. දිදුලන සමක් හිමිකරගැනීම සඳහාත් පතුල්වල ඇති පීඩන ලක්ෂ තෙරපීමේ ක්‍රමවේදය යොදාගත හැකියි.

පාද සම්බාහන ක්‍රමවේදවලටත් එහා ගිය එවැනි සුවිශේෂී සත්කාරයක් පිළිබඳව කතා කිරීමටයි අද අපගේ මේ සූදානම.

මෙම සත්කාරය හඳුන්වන්නේ Reflexology යනුවෙනි. වසර සියදහස් ගණනකට පෙර චීනයේ සහ ඊජිප්තුවේ විසූ රාජකීයයන් සම පැහැපත් කරගැනීමට සහ ශරීර ශක්තිය සමතුලිත කරගැනීමට පීඩන ලක්ෂ තෙරපීමේ මෙම ක්‍රමවේදය භාවිතා කළ බව සඳහන්ය.

නමුත් මෙම කරුණ විද්‍යාත්මකව සනාථ කරන ලද්දේ භෞත චිකිත්සකවරියක වන Eunic D.Ingham ය. පාදවල පීඩන ලක්ෂ සිතියම්ගත කරමින් ලොවට Reflexology චිකිත්සාව හඳුන්වා දෙන ලද්දේ ඇයයි.

‘‘මේ වගේ චිකිත්සාවකින් ලස්සන වෙන්න පුළුවන්ද කියන එක ඇත්තටම මට ප්‍රශ්නයක් වුණා. ඒත් ඒකට යොමු වුණාට පස්සේ මට ඒ ප්‍රශ්නයට පිළිතුරු ලැබුණා. දැන් මම මේ චිකිත්සාව මාසෙකට දවස් දෙක තුනක්වත් කරනවා.’’

එසේ පවසන්නේ ලොව සුන්දරතම කාන්තා ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙන ඇමරිකානු නිළි ඇන්ජලීනා ජොලී ය. 46 වියැති ඇයගේ සම තවමත් තාරුණ්‍යයෙන් දිදුලන්නට එක් හේතුවක් නම් Reflexology චිකිත්සාව බව ඇය පවසන්නීය.

ඇය පමණක් නොව ‘වේල්සයේ රෝස කුසුම’ ලෙසින් හැඳින්වෙන ඩයනා කුමරියද මෙම චිකිත්සාවේ රසිකාවියකි. ඇය සතියට දින තුනක්වත් ඒ සඳහා යොමුවුණු බව ඇයගේ පෞද්ගලික භෞත චිකිත්සකවරිය වන Christine Fitzgerald වරක් මාධ්‍යයට පැවසුවාය.

චිකිත්සාවේදී ප්‍රධාන වශයෙන් සිදුකරන්නේ සියලු ශරීර පද්ධතිවල ක්‍රියාකාරීත්වය වැඩි කරලීම සඳහා දෑඟිලි මගින් පීඩන ලක්ෂ තෙරපීමයි. පැයක් පමණ එම ලක්ෂ තෙරපන විට මුළු සිරුරේම මාංශපේශීන් ලිහිල් වී රුධිර සංසරණයද ක්‍රමවත්ව සම පැහැපත්වීමට අවශ්‍ය ඔක්සිජන් යහමින් ශරීරයට මුදාහරියි.

‘‘Reflexology එකක් කළාම ශරීරයේ හැම පද්ධතියක්ම හොඳින් ක්‍රියාකාරී වෙනවා. එහි අතුරුඵලයක් විදිහට තමයි සම පැහැපත් වෙන්නේ. ඒ වගේම කුරුලෑ අවම කරගන්නත් අපිට මේ චිකිත්සාව කරගන්න පුළුවන්.

ඊට අමතරව දෙපාවල රළු බව, දෙපාවලට දැනෙන යම් යම් වේදනා ඉවත් කරගන්න මේ සත්කාරයට යොමුවෙන අයත් ඉන්නවා.

මේ චිකිත්සාවට වයස් භේදයක් නැහැ. මාසෙකට එක චිකිත්සාවක් හරි කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. හැබැයි මේ චිකිත්සාව සතියකට වාර කිහිපයක් කළත් හොඳක් මිසක් නරකක් නම් වෙන්නේ නැහැ.’’

මෙය හුදෙක් පාද සම්බාහන ක්‍රමවේදයක් නොවන බැවින් පීඩන ලක්ෂ නිවැරදිව තෝරාගැනීමට දැනුමැති පළපුරුදු රූපලාවන්‍ය ශිල්පියෙකු තෝරාගැනීම ඉතා වැදගත් බව විශේෂයෙන් සටහන් කළ යුතුය.

නදීශා නිර්මාණි