විශේෂාංග

හතර පෝයට සිල්ගත්තු අම්මයි, තාත්තයි, පුතාලා දෙන්නයි එකම දවසේ මහණ වෙලා

දෙව්ලොව සැප කෙළවර අමාමහ නිවන් දොරටු විවර වේවා යන්න නිතර බෞද්ධයින්ගේ සවන් වැකෙන වදන් පෙළකි. නමුත් ඒ කියන පරිදි සියලු සැප කෙළවර නොව, සියලු සැප අතහැර දමා මේ භවයේදීම මාර්ග ඵල අවබෝධය පිණිස කටයුතු කරන්නෝද නැතුවාම නෙවේ. ඒ ගමන තනිවමත්, තම පවුලේ ආදරණීයයන් සමඟිනුත් යා හැකි ගමනකි.

පසුගියදා බිංගිරිය ගමේ එකම පවුලේ මව, පියා, පුතුන් දෙදෙනා ඇතුළුව එම ගමේම තවත් දෙදෙනෙකු ඒ මග තෝරාගත්තේ සසර පින් මහිමය නිසා විය යුතුය.

දුරුතු පෝයදා මේ අසිරිමත් මොහොත දැකබලාගැනීමට ලැබුණේ, බිංගිරිය-කරව්වැව අනීඝ සද්ධර්මෝදය සෙනසුන් කුටි විහාරයේදීය. සතර පෝයට සිල්සමාදන් වෙමින්, සතර සතිපට්ඨානය වඩමින් ගිහි ජීවිතයේ ඇති දුක් දෝමනස්සයන්ට සැනසුම සෙවූ කරව්වැව ගමේ එකම පවුලේ පිරිස කාගෙත් අවධානයට ලක්වුණි.

ඒ පවුලේ පියා තිස්නව හැවිරිදි ලක්ෂ්මන් ආරියරත්න බිංගිරියේ සතිමන්ත හිමි ලෙසත්, මව තිස්නව හැවිරිදි රසිකා දිල්හානි බිංගිරියේ සිසුපචාලා මෑණියන් ලෙසත්, ඔවුන් දෙපළගේ වැඩිමහල් පුතු දස හැවිරිදි දෙනුවන් නිම්සර බිංගිරියේ අමරවංශ හිමි ලෙසත්, හත් හැවිරිදි පොඩි පුතු යසිත් දෙනුවන් බිංගිරියේ කල්‍යාණවංශ හිමි ලෙසත් පැවිදි නම් ලදහ.

දෙනුවන් තරමටම ආදරය රැකවරණය දෙමින්, පුතුන් දෙදෙනා හා සැපවත් ජීවිතයක් ගත කරන්නට එම දෙමාපියනට තිබූ සැපසම්පත් හොඳටෝම ප්‍රමාණවත්ය. ඒ එම දෙපළ කලක් සයිප්‍රසයේ රැකියාකොට මිල මුදල් උපයාගනිමින්, ගෙවල් දොරවල් යානවාහන මිලදී ගනිමින් ගිහිදිවිය ගොඩනගාගත් බැවිනි. මව දිල්හානි ලංකාවට ආවේ පළමු දරු ප්‍රසූතිය සඳහාය. ඉන් කලකට පසු සැමියාද ලංකාවට පැමිණි අතර, ඔහු වාහන සම්බන්ධ ව්‍යාපාරයකට අත තැබුවේය. උදව් අවැසි බොහෝදෙනෙකුට උදව් උපකාර කරමින් එම පවුලේ උදවිය බොහෝ සැනසිලිදායක සතුටක් අත්විඳි බව කියති. දිල්හානිද රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යමින් ගමේ අය හා බොහෝ සුහදව කටයුතු කළාය. පුතුන් දෙදෙනාද ඉගෙනුමට වාගේම, පිනට දහමටද ලැදිය. ඔවුන් සිව්දෙනා සද්ධර්මෝදය සෙනසුනේ සතර පෝයටම සිල්සමාදන් වෙන්නට ගියේ ඒ දහම් ලැදියාව නිසාය.

මේ හතරදෙනාගෙන් ලොකු පුතා වන දෙනුවන් නිම්සර තමයි මුලින්ම එයාට මහණ වෙන්න ඕන කියලා ගෙදරදි කියලා තියෙන්නේ. අයියා මහණ වෙනවා කිව්වම මල්ලිටත් ඒ සිතිවිල්ලම ආවා. දරුවෝ දෙන්නා ඔහොම කියද්දි තාත්තගේ හිතත් මහණ වෙන්න ඕන කියන තැන නතර වෙනවා. ඒ නිකම්ම නෙවෙයි සසර ගමන පිළිබඳ හිතේ ඇතිවෙන දහම් අවබෝධය එක්කයි.”

ඒ හඬ අනීඝ සද්ධර්මෝදය අසපු ආරාමයේ ප්‍රධාන අනුශාසක උඩුනුවර පසන්න මානස හිමියන්ගේයි.

තම පුතුන් දෙදෙනාත් සැමියාත් ගිහිගෙයින් නික්මෙන්නට ඇති කැමැත්ත කියද්දී මව දිල්හානිද ගිහි ජීවිතයේ බැඳීම්වල නිස්සාරත්වය ගැන සිතන්නට වූවාය. ඒ නැතත් පුතුන් හා සැමියා යන ගමනට ආශිර්වාද එක්කළ හැකි හොඳම විදිය තමාද සතුටු සිතින් ඒ ගමනට එක්වීමය. ඒ අනුව එකම බිමකදී, එකම අරමුණක් උදෙසා හිස මුඩුකොට පැවිදිවීමේ සිතිවිල්ලට අවසානයේ ඇයගේ සිතද කැමතිවන්නේ සසර පුරුද්දට යැයි කීම වැරදි නොවේ.

ලංකාවේ හතර පෝයටම නිවාඩු නැතත් මේ පවුලේ උදවියත් ගමේ බොහෝදෙනාත් දුර මග ගෙවා සෙනසුනට එමින් දුකින් නිදහස් වීමේ මාවත සොයා යන්නේ සැදැහැ සිත් පෙරදැරිවය. ‘අනීඝ සදහම් කථිකාවත’ බොහෝදෙනාගේ සිත්ගත් දහම් වැඩසටහනක්ව තිබේ.

පසන්න මානස හිමියන් කියන්නේ තවත් තරුණයකු එදා පැවිදි වෙන්නට සිටියත් ඔහුට කර්මය හරස් වූ බවයි. එනම් ඔහු පැවිදි වෙන්නට කැමැත්තෙන් සිටියද ඔහුගේ බිරිඳ ඊට අකමැති වී තිබේ. ඒ අනුව ඔහුගේ පැවිදිවීමේ බලාපොරොත්තුව මෙවර ඉටු නොවුණත්, ඉදිරියේදී ද ආරාමයේ පැවිදිබව ලබන්නට අපේක්ෂාවෙන් තිස්දෙනෙකු පමණ සිටින බවද උන්වහන්සේ පැවසූහ.

එදා එකම පවුලේ සිව්දෙනා සමඟින් පැවිදි වූ අනෙක් තරුණිය විසිහය හැවිරිදි තාරුකා උදාරි, බිංගිරියේ උප්පලවණ්ණා මෑණියන්ය. ඇය පෞද්ගලික ආයතනයක මුදල් අයකැමිවරියක ලෙස කලක් සේවය කළාය. දිලූප රොෂාන් තරුණයා තිස්අට හැවිරිදි වියේ පසුවූ අතර ඔහු විදුලි කාර්මික ශිල්පියෙකු ලෙස රැකියාව කළේය. ඔහු කතෝලික ආගමේ සිට බුද්ධාගම වැළඳගත් ​අතර, මාරවිල සන්ථබෝධි හිමිය.

මේ පැවිදිවුණු පුංචි සාමනේර හිමිවරුන් දෙනම පවා රාත්‍රියට ආහාර වැළඳීමක් නැහැ. ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා හැටියට අපි මුදල් පරිහරණය කිරීමක් කරන්නේ නැහැ. පිණ්ඩපාතයෙන් පමණයි යැපෙන්නේ. සද්ධර්මෝද කුටි සෙනසුන කියන්නේ තවමත් ගොඩනැගෙමින් පවතින සෙනසුනක්. පොල්අතු සෙවිලි කළ ධර්මශාලාවක් තියෙන්නේ. බුදුගේ ඇතුළුව වැඩසිටින කුටි කිහිපයක වැඩ නිමවා තිබෙනවා. බුදුන්වහන්සේ පැනවූ විනය නීති මෙහි පිළිපැදීමක් සිදුවෙනවා වගේම පැවිද්ද ලබන්න කලින් ඒ පිළිබඳව ලොකු කුඩා සැමට අවබෝධයක් ලබාදෙනවා. ඒ වගේම පිණ්ඩපාතෙන් යැපෙන භික්ෂූන් වහන්සේ නමක් හැටියට මට ඉන්නේ ශ්‍රාවකයෝ. දායකයෝ නෙවෙයි.”

පසන්න මානස හිමියන් පවසන පරිදි මෙම ආරාමය ගොඩනගා ඇත්තේ 2014 වසරේදීය.

මෙවර පැවිදි දිවියට පත් හිමිවරුන් එහි කුටිවල වාසය කරද්දී, මෑණිවරුන් නාන්කඩවර මෙහෙණි ආරාමයේ වැඩවාසයට පිටත්ව ගොස් ඇත.

මෙම පැවිදි පින්කමට සමගාමීව සිදුවූ තවත් පුණ්‍යකර්මයක් වෙන්නේ දියණිවරුන් එකසියදාසය දෙනෙකු තම අලංකාර කේෂ කලාපයන් දන්දීමයි. ඒ පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් කෘත්‍රිම කොණ්ඩා සැකසීම වෙනුවෙනි.

මේ සියලු පින් කටයුතුවලට බිංගිරිය ගමේ සැදැහැවතුන් වගේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල සැදැහැවතුන්ගේ දායකත්වය ලැබී තිබේ. එදින මෙම ආරාමයේ පැවිදි වූ භික්ෂූන් වහන්සේලා හා මෑණිවරුන්ට අමතරව නාන්කඩවර මෙහෙණි ආරාමයේ වැඩවාසය කරන මෑණිවරුන් සිව්නමක්ද මෙහි ධර්ම විනය තුළ කටයුතු කරන්නට එක්වීමද විශේෂයකි.

මෙම පැවිදි පින්කමේ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ ලෙස කටයුතු කරන ලද්දේ අනුනායක ඉහළමුල්ලේ සුගුණවංශ නාහිමියන් වන අතර, නුවරඑළිය දිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති, පණ්ඩිත ඇකිරියේ පඤ්ඤානන්ද හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් එක්වූහ.

කලක් එකට දුකසැප බෙදාගනිමින් එකට විසුවත්, පැවිදි ජීවිතය තුළ අතහැරීම ඉහළින්ම තිබෙන්නකි. ඒ අතහැරීම තුළ මව, පියා, දූදරු බැඳීම් නැත. ලෝකෝත්තර සුවය පතා යන ගමනේ ඔවුන් ප්‍රාර්ථනා කරන්නා වූ සැනසුම බොහෝ දුරක නොවේවායි අපද ප්‍රාර්ථනා කරන්නෙමු.

දීපා වසන්ති එදිරිසිංහ