විශේෂාංග

පියයුරු පිළිකාව කලින් අඳුනගත්තනම් මටත් එච්චර දුක් විඳින්න වෙන්නෙ නෑ

කාන්තාවන්ට හටගන්නා පිළිකා අතරින් පළමු තැනට පත්ව ඇත්තේ පියයුරු පිළිකාවයි. සෑම වසරකම පියයුරු පිළිකාවෙන් පීඩා විඳිනා කාන්තාවන් 3,500ක් පමණ හඳුනාගන්නා අතර ඒ හේතුවෙන් සෑම දිනකම කාන්තාවන් දෙදෙනෙකු මියයයි.

නමුත් කල්තියා හඳුනාගැනීමෙන් පියයුරු පිළිකාවට සාර්ථකව ප්‍රතිකාර කළ හැකි බව අපට කීවේ ඉන්දිරා පිළිකා භාරයේ මාධ්‍ය සම්බන්ධීකාරක චිත්‍රිකා ඩී මෙල් ය.

ඇය මේ පිළිකා මාරයා පරාජය කළ දිරිය ගැහැනියකි. එවැනිම තවත් කාන්තාවන්ට සිතට හයියක් වනු පිණිස චිත්‍රිකා ඇගේ කතාව ‘ධරණී’ට කීවේ මෙසේය.

‘‘එතකොට මට වයස අවුරුදු හතළිස් පහයි. ම​ගේ වම් පියයුරේ පොඩි කසනසුළු ගතියක් තිබුණා. එහෙම කසනකොට පියයුර ඇතුළෙන් පොඩි ගැට කිහිපයක් තියෙන වග අහම්බෙන් වගේ මට දැනුණා. ඊටපස්සේ මම වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඒ ගැන කිව්වම ඔහු මාව වෛද්‍ය පරීක්ෂණ කිහිපයකටම යොමු කළා. මට පියයුරු පිළිකාවක් වැළඳිලා කියලා එතකොට තමයි දැනගත්තේ.

ඒ වෙනකොට අපේ පවුල්වල කිසිම කෙනෙක්ට කවමදාකවත් පිළිකාවක් හැදිලා තිබුණේ නැහැ. අනික ඒ දවස්වල පියයුරු පිළිකාව ගැන සමාජේ ලොකු කතාබහක් තිබුණෙත් නැහැ. ඉතින් පිළිකාවක් හැදිලයි කිව්වට මට ඒක ඒ තරම් බැරෑරුම්වට දැනුණේ නැහැ.

පිළිකාව වම් පියයුරේ තැන් කිහිපයකටම පැතිරිලා තිබුණු නිසා මගේ වම් පියයුර ඉවත් කරන්න වෙනවා කියලා වෛද්‍යවරු කිව්වා.

මමත් ලස්සනට අඳින්න ආසයි. පියයුර අයින් කළාට පස්සේ මගේ ඇඟේ හැඩය කොයිවිදියට වෙනස් වෙයිද කියලා මම චිත්ත රූප පවා මැව්වා. ඒත් පවුලේ අනාගතය වෙනුවෙන් ඒ දේ කරන්න මම කැමති වුණා.

මට ඉන්නේ පුතාලා තුන්දෙනෙක්. ඔය කාලේ මගේ ලොකුම පුතාට වයස දහහතරයි. බාලම පුතාට අවුරුදු හයයි.

සැත්කමින් පස්සේ දවසේ පුතාලා දෙන්නා මාව බලන්න එනකොට ලොකු පුතා දෙහි කට්ටකින් එයාගේ කන විදලා තියෙනවා මම දැක්කා. එහෙම කළේ ඇයි කියලා ඇහුවම ‘අම්මගේ වේදනාව මටත් විඳින්න ඕන වුණා අම්මේ’ කියලා පුතා හොඳටම ඇඬුවා.

දරුවො දුක් විඳිනවා බලන්න බැරිම තැන මේක බොහොම පොඩි ලෙඩක් කියලා මම එයාලගේ හිත් හැදුවා.

සර්ජරි එක කළාට පස්සෙත් දිගටම පිළිකා ඖෂධ ලබාගන්න සිද්ධ වුණා.

කීමෝ එක දෙන පළවෙනි දවසේ ඇඟට ගොඩක් අමාරු නැහැ. දවසක් දෙකක් යද්දි ඇඳෙන් නැගිටගන්න බැරිතරමට අමාරු වෙනවා. බත් කටක් දෙකක් උගුරෙන් පහලට යනකොටම වමනෙට එනවා. දවස් කිහිපයක් ගිහිල්ලා ඒ අමාරුකම් අඩු වේගන එනකොටම ආයෙත් දවස් දහයකින් විතර දෙවනි ඩෝස් එක ගහනවා. ඉතින් ආයෙත් ආයෙත් අර අමාරුකම් මතුවෙනවා. ඉතින් ඔය විදිහට පළවෙනි මාස හය මම පුදුම විදිහට විඳෙව්වා. පස්සේ මමත් ඒ වේදනාවට හුරු වුණා.

පළවෙනි කීමෝ එක ගහලා සුමාන දෙකක් ගියේ නෑ ඔන්න මගේ කොණ්ඩේ හැලෙන්න පටන් ගත්තා. මගේ දෙවනි පුතා මගේ කොණ්ඩේ අතගාන්න හරි ආසයි. දවසක් මම කොණ්ඩේ පීරනකොට කොණ්ඩෙන් පැත්තක් එහෙම පිටින්ම ගැලවිලා බිමට වැටුණා. ඕක දැකපු දෙවනි පුතා දුවගෙන් ඇවිල්ලා කෙස් ටික ඇහිදගෙන ගම් බෝතලයක් ගෙනල්ලා ‘අපි ආයෙ කෙස් ටික අලවමු අම්මේ’ කියලා කිව්වා. ඒ වෙලාවෙත් මට පපුව පිච්චෙන තරමේ වේදනාවක් දැනුණා.

දවස් කිහිපයකින් මගේ මුළු කොණ්ඩෙම හැලිලා ගියා. කොණ්ඩේ තමයි ගෑනු කෙනෙක්ට තියෙන ලොකුම සම්පත. ඉතින් ඒක මට ලොකුවටම බලපෑවා. පස්සේ ඔලුවට රෙද්දක් බැඳගෙන තමයි මම එළිපහලියට ගියේ. ඒත් එක්කම ටික කාලෙකින් මම කෙට්ටු වුණා. ඒ වගේම මගේ හමේ පාට එහෙම වෙනස් වෙලා නියපොතු පවා කළු පාටට හැරුණා.

ඒත් වාසනාවකට මගේ මහත්තයා මාත් එක්කම හිටියා. පවුලක් විදිහට අපි පිළිකාව පරාජය කරමු කියන එක තමයි ඔහු මට නිතරම කිව්වේ.

ඔලුවට රෙද්දක් බැඳගෙන යනකොට මිනිස්සු මගේ දිහා පුදුමෙන් වගේ බලාගෙන හිටියා. තට්ටේ ගාගෙන ඉන්නේ ෆැෂන් එකටද කියලා මූණටම අහපු අයත් හිටියා. ඒත් එහෙම හිනාවුණු කවුරුත් මම විඳවපු විඳවිල්ල ගැන දැනගෙන හිටියේ නැහැ. ඒ හැමදේම ඉවසුවා දරුවන්ටයි මහත්තයටයි දුක හිතෙන නිසා. එයාලා නැති වෙලාවට ඇයි මට මෙහෙම වු‍ණේ කියලා හිත හිත මම තනියම ඇඬුවා.

ඔය විදිහට අවුරුද්දක් විතර යනකොට මගේ කොණ්ඩේ ටිකෙන් ටික ආයෙත් වැවෙන්න පටන්ගත්තා. ඇත්තටම ඒ ආව කොණ්ඩෙ කලින් තිබුණු කොණ්ඩෙටත් වඩා ලස්සනයි. අවුරුද්දකට පස්සේ සාර්ථකව පිළිකාව පරාජය කරන්න මට පුළුවන් වුණා. හැබැයි අවුරුදු පහක් යනකල් සුමාන තුනෙන් තුනට කීමෝ ප්‍රතිකාර ගත්තා.

පිළිකාවක් තියෙන කෙනෙක්ගේ දුක, වේදනාව ඉස්සර මටත් තදින් දැනිලා නැහැ. ඒත් මට පිළිකාවක් හැදුනු නිසා ඒක ගැන මං දැන් හොඳටම දන්නවා. ඇත්තම කිව්වොත් පිළිකාව නිසා මගේ ජීවිතේ සෑහෙන වෙනස් වුණා.

පිළිකාවෙන් දුක් විඳින මිනිස්සු වෙනුුවෙන් මොනාහරිම කරන්න ඕනේ කියලා මම හිතුවා. ඒකයි 2016 ඉඳලා මම ඉන්දිරා පිළිකා භාරයේ ස්වේච්ඡා සේවිකාවක් විදිහට කටයුතු කරන්නේ.

පිළිකාවකින් දුක් විඳින ගොඩක් කාන්තාවන්ට මම මගේ මේ කතාව කියනවා.

පිළිකාව නිසා මීටත් වඩා දුක් විඳින අය ඕනතරම් ඉන්නවා.

පිළිකාව නිසා තමන්ගේ බිරිඳව අතඇරලා දාපු සැමියන් ගැන මම දන්නවා. කොණ්ඩෙ ගිහින් පෙනුම වෙනස් වුණාම දරුවන් පවා අම්මලාගේ ළඟට යන්නේ නැහැ. දවසක් ‘අනේ මිස් ගෙදර ඉන්න පූසාවත් දැන් මගේ ළඟට එන්නෙ නෑ’ කියලා ගැහැනු කෙනෙක් මාත් එක්ක කිව්වා. අවුරුද්දකින් වගේ මේකෙන් ගොඩ එන්න පුළුවන්. ඉතින් මම කියන්නේ අවුරුද්දක් විතර කොහොමහරි ඉවසන්න.

ඒ වගේම ගෙදර අයගේ උදව්වත් අනිවාර්යයෙන්ම එයාලට ඕනේ. ඒ නිසා කරුණාකරලා වචනයකින්වත් එයාලගේ හිත් රිද්දන්න එපා. පිළිකාව පරාජය කරන්න ඔහුට, ඇයට නිතරම ශක්තියක් වෙන්න.

මේ කතාව කියලා ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නෙ කල්තියා පියයුරු පිළිකාව හඳුනගන්න කටයුතු කරන්න කියන එක. කල්ගත වුණොත් ඒකෙන් ජීවිතේට පවා හානියක් වෙන්න පුළුවන්. අවුරුදු 20ක් පසු කළ හැම ගෑනු කෙනෙක්ම ඔසප් වෙලා දවස් හතකින් පස්සේ පියයුරුවල වෙනදා නැති වෙනසක් තියෙනවද කියන එක පරීක්ෂා කරගන්න ඕනේ. එහෙම කරලා පැතිරිලා යන්න කලින් පිළිකාව අඳුනගත්තොත් පියයුර ඉවත් නොකර ප්‍රතිකාර කරන්න පුළුවන්.

ඉන්දිරා පිළිකා භාරයේ අපි පිළිකාව එක්ක සටන් කරන ඔබත් එක්ක ඉන්නවා කියන එක මතක් කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා. මේ වෙනකොට අපි ඒ වෙනුවෙන් ව්‍යාපෘති 20ක් ක්‍රියාත්මක කරනවා.

පිළිකාවකින් පීඩා විඳින මවක් හරි පියෙක් හරි ඉන්න අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට අධ්‍යාපනය සඳහා යම් ආධාර මුදලක් දීමේ වැඩපිළිවෙලක් පවා තියෙනවා. එහෙම දරුවෙක්ට ජීවිතේ ජයගන්න මාසිකව යම් මුදලක් ලබාදීලා මේ සද්කාර්යයට සහාය දෙන්න ඔයාලටත් පුළුවන්.

අපේ කාර්යයන් එහෙම නැත්නම් පිළිකා සම්බන්ධ යම් තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් 0112363211 හරහා ඉන්දිරා කැන්සර් ට්‍රසට් අපිව අමතන්න ඕනම කෙනෙක්ට පුළුවන් කියන එකත් කියන්න ඕනේ.’’

සෙව්වන්දි හෙට්ටිආරච්චි