නවතම ප්‍රවෘත්ති

පිළිකාව පස්සෙන් ආවත් ඔබ ඉස්සරහට යන්න

අද ‘ධරණී’ කවරය හැඩ කරන්නේ සුන්දර මනාල යුවලක්. ඒ වෙන කවුරුත් නෙමෙයි 2020 වර්ෂයේ ලෝක විවාහ රූ රැජින කිරුළ දිනූ කැරොලයින් ජූරී සහ ඇගේ සැමියා නිශාන්ත දීපාල්. කවදාවත් නැතිව ‘ධරණී’ මනාල යුවලක් දරාගෙන ඉන්නේ ඇයි කියලා හිතුණා නේද? ඒක බොහොම විශේෂ කතාවක්.

ඒ කතාව මෙහෙම පටන්ගන්නම්. ලෙයිනි ජෝන්ස්  අවුරුදු 25ක ඇමරිකානු තරුණියක්. ලෙයිනිගේ ප්‍රේමවන්තයා සැමුවෙල්. අවුරුදු ගාණක සම්බන්ධයකට පස්සේ මේ යුවල විවාහවෙන්න තීරණය කළා.

කැන්සර් එකක් තියෙනවා කියලා දැනගන්නකොට වෙඩින් එකට මාසයයි. මොන දේ වුණත් ප්ලෑන් කරපු විදියටම වෙඩින් එක ගන්න අපි දෙන්නම තීරණය කළා.”

වෙඩින් එකට සති තුනක් තියෙද්දි ලෙයිනිගේ කීමෝ ප්‍රතිකාර ආරම්භ කරලා. කීමෝ එකෙන් පස්සේ ඇගේ කොණ්ඩය සේරම වගේ ගියාලු. හැබැයි ලස්සනට මල්වලින් හිස සරසලා ලෙයිනි ලස්සන මනාලියක් වුණා. ඒ විතරක් නෙමෙයි ධෛර්යවන්ත මනාලියක් විදියට ඇගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප සමාජ මාධ්‍යවල පවා හුවමාරු වුණා. ඇය මේ හරහා අනිත් අයට හයියක් වුණා වගේම හොඳ පණිවිඩයක් දුන්නා කියලයි ගොඩක් අය කිව්වේ.

මේ සිදුවීම වුණේ ඇමරිකාවේ. හැබැයි අපේ රටේ විවාහ වෙන්න ඉන්න යුවතියකට පිළිකාවක් හැදුනොත්?

පිළිකාවක් හැදිලා කියලා දැනගත්තු හැටියේම අපේ උදවිය සිහින, බලාපොරොත්තු වගේ දේවල් අතහරිනවා. ඉතින් ඒ විවාහය එතැනින්ම ඉවරයි. ඇත්තටම පිළිකාව නිසා යුවතියකගේ ලස්සනම දවස කල්දාන්න ඕනද? ඒ ප්‍රශ්නෙට උත්තරයක් එක්ක සුබ පණිවිඩයක් සමාජගත කරන්න පහුගිය දවසක අපේ ප්‍රවීණයෝ පිරිසක් උත්සාහ කළා.

පහුගිය මාර්තු 21වැනිදා කොළඹ හිල්ටන් හෝටලේ ‘Celebrity Designer Wedding Show’ කියලා ලොකු විවාහ ප්‍රදර්ශනයක් තිබුණා. මේක සංවිධානය කරලා තිබුණේ ‘Bride and Groom’ සඟරාවේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රමිත් මල්ලවාරච්චි. ඉන්දිරා කැන්සර් ට්‍රස්ට්, Triad වෙළඳ දැන්වීම් ප්‍රචාරක ආයතනය වගේම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක්ම මේ වැඩේට ඔහුත් එක්ක එක්කාසු වෙලා හිටියා. කොණ්ඩේ නැති යුවතියකටත් ලස්සන මනාලියක් විදියට හැඩවෙන්න පුළුවන් කියන එක උපහැරණෙන්ම පෙන්වන්න ඔවුන් ජටා බැඳගත්තු මනාලියන් තුන්දෙනෙක්ව ඉදිරිපත් කළා. අර ඉහතින් කිව්වා වගේ අද ‘ධරණී’ කවරය සරසන්නේ එයින් එක මනාල යුවලක්.

පිළිකාවක් හැදුණු යුවතියකට ඔවුන් දීපු ඒ පණිවිඩය ගැන කතා කරන්න ‘Celebrity Designer Wedding Show’ එක පිටිපස්සේ ඉන්න පිරිස සමඟ අපි කතා කළා.

 

ප්‍රමිත් මල්ලවාරච්චි

ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර සංස්කාරක

Bride and Groom සඟරාව

‘Celebrity Designer Wedding’ දැක්මේ සංවිධායක

 

අපි මුලින්ම කතා කළේ ‘Celebrity Designer Wedding Show’ සංවිධායක ප්‍රමිත් මල්ලවාරච්චිට. මේ උතුම් කර්තව්‍යයේ අදහස ඔහුගේ.

“Celebrity Designer Wedding Show’ එක 2009 ඉඳලම කරන වෙඩින් ශෝ එකක්. විවාහ වෙන අයට අලුත් අදහස් ගන්න වගේම අපේ විලාසිතා නිර්මාණකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ එළිදක්වන්නත් මේ විවාහ දැක්ම හොඳ වේදිකාවක් වුණා. හැබැයි මේ අවුරුද්දේ වෙනස්ම වැඩක් කරන්න ඕන කියලා මට හිතුණා.

පස්සේ මම ඉන්දිරා කැන්සර් ට්‍රස්ට් එකේ සභාපතිනිය ලංකා ජයසූරිය මහත්මිය එක්ක ඒ ගැන සාකච්ඡා කළා. ‘Unveil’ කියන සංකල්පය නිර්මාණය වුණේ එතැනදී.

පිළිකාවක් හැදුනහම එතැනින් එයාගේ ජීවිතේ ඉවරයි කියලා තමයි ගොඩක් අය හිතන්නේ. විවාහය කියන්නේ කෙනෙක්ගේ දෙවැනි උපත කියනවනේ. හැබැයි කැන්සර් එකක් හැදුනට පස්සේ ගොඩක් අය විවාහයත් කල්දානවා. එහෙම නැත්නම් කීමෝවලට කොණ්ඩේ ගියොත් කොණ්ඩෙ නැතිව විවාහ වෙන්න බැහැ කියලා හිතනවා.

පිළිකාවක් හැදුනු පලියට හැම මනුස්සයම මැරෙන්නේ නැහැ. පිළිකාව සාර්ථකව පරාජය කරලා සුවවුණු අය ඕනතරම් ඉන්නවා. ඉතින් පිළිකාව නිසා තමන්ගේ ජීවිතේ වැදගත්ම දවසක් කල්දාන්න ඕන නැහැ. කොණ්ඩය නැති වුණත් ඒ දවස ලස්සන කරගන්න පුළුවන් කියන පණිවිඩය දෙන්න විතරක් නෙමෙයි ඒ අයට උදව් කරන්නත් අපි සූදානමින් ඉන්නවා.

‘Triad’ ඇඩ්වර්ටයිසින් ආයතනය එක්ක එකතු වෙලා තමයි අපි මේ ව්‍යාපෘතිය පටන්ත්තේ. මයිකල් විජේසූරිය, රමනි ෆර්නෑන්ඩෝ, කැරොලයින් ජූරි, පවුසිල් හුසේන්, රොසෑන් ඩයස් වගේ ලොකු පිරිසක් ‘Unveil’ ප්‍රොජෙක්ට් එක පිටිපස්සේ ඉන්නවා.

‘Unveil’ සෙග්මන්ට් එක වෙනුවෙන් අපි මනාලියන් තුන්දෙනෙක් ඉදිරිපත් කළා. කැරොලයින් ජූරි, ස්ටෙෆනි සිරිවර්ධන, චන්දි අලුවිහාරේ වගේ ප්‍රවීණ ශිල්පිනියන් මනාලියන් විදියට හැඩවුණා. මනාලියන්ට කොණ්ඩා මෝස්තර වෙනුවට ජටාවලින් ලස්සන හෙඩ් ගියර් දාලා තියෙනවා. කොණ්ඩය නැති මනාලියකට වුණත් මේ විදියට ඇඳලා ආත්මවිශ්වාසයෙන් යුතුව තමන්ගේ ලස්සනම දවසට මුහුණදෙන්න පුළුවන්. එදා ඒ පණිවිඩය සමාජගත වුණා කියලා මම හිතනවා.

පිළිකාව නිසා විවාහ වෙන්න බැරිව ඉන්න කෙනෙක් මේක දැකලා අපේ උදව් ඉල්ලුවොත් ඒ අයට අවශ්‍ය සහාය ලබාදෙන එක තමයි අපේ ඊගාව පියවර. ඒ වෙනුවෙනුත් මේ වෙනකොට අපි සැලසුම් කරගෙන යනවා. ඒ වගේම ‘Celebrity Designer Wedding Show’ එකෙන් ලැබුණු ලාබය, ඉදිරියේදී ඉන්දිරා පිළිකා භාරයට ලබාදෙන්නත් අපි කටයුතු කරනවා.”

 

වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක

සභාපති/නිර්මාතෘ ඉන්දිරා පිළිකා බාරය

 

ඉන්දිරා පිළිකා බාරයේ සභාපතිනිය වෛද්‍ය ලංකා ජයසූරිය දිසානයක මහත්මිය ‘Celebrity Designer Wedding Show’ ගැන අපිත් එක්ක කිව්වේ මෙහෙම කතාවක්.

“Celebrity Designer Wedding Show’ හැම අවුරුද්දෙම කරන එකක්. මේ අවුරුද්දේ මේ මංගල ප්‍රදර්ශනය හරහා ගැඹුරු පණිවිඩයක් සමාජගත කරන්න ප්‍රමිත්ට අවශ්‍ය වුණා. ඉතින් ඒකත් එක්ක විලාසිතා දිගහැරෙන වේදිකාවක පිළිකාව සම්බන්ධ පණිවිඩ කිහිපයක්ම දෙන්නත් අපිට පුළුවන් වුණා. ලංකාවේ පිළිකා සම්බන්ධ වැඩ කරන ආයතනයකුයි රූපලාවණ්‍ය ක්ෂේත්‍රයයි එකට එකතු වෙලා මෙහෙම වැඩක් කරපු පළවැනි වතාව මේක.

පිළිකා රෝගියෙක් කිව්වහම ගොඩක් අයගේ ඔළුවට එන්නේ කොණ්ඩය නැති කෙනෙක්ගේ රූපයක්. පිළිකාවට කීමෝ ප්‍රතිකාර කරද්දි කොණ්ඩය යනවා. ඒක සාමාන්‍යයි. ඒ විදියට කොණ්ඩය ගියාට පස්සේ ගොඩක් අය තමන්ගේ විවාහය කල්දානවා. පිළිකාවක් තියාගෙන විවාහ වුණ කිසිම කෙනෙක් මට මුණගැහිලා නැහැ. විවාහය කියන්නේ මනුස්සයෙක්ගේ ජීවිතේ වැදගත් සන්ධිස්ථානයක්. පිළිකාවක් හැදුනු කාන්තාවකටත් ඒක එහෙමමයි. ඉතින් පිළිකාවක් තියෙනවා කියලා හෝ කොණ්ඩේ නෑ කියලා විවාහය ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ. ‘Unveil’ ප්‍රොජෙක්ට් එක හරහා මඟුල් දිනයේදී කොණ්ඩා මෝස්තරය වෙනුවට ලස්සන ජටාවක්, මඟුල් ඇඳුම්, මේකප් ඒ සියලු දේ නොමිලේම නැත්නම් සහනදායී විදියට සපයලා දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ ඒ නිසයි.

ඒ වගේම ‘Celebrity Designer Wedding Show’ එකේ සංකේතය වුණේ පියයුරු පිළිකා රිබන් එකක්. කල්තියා හඳුනාගත්තොත් පියයුරු පිළිකාව සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන් කියන පණිවිඩය සමාජගත කිරීමයි ඒකේ අරමුණ වුණේ. මේ කර්තව්‍යයටත් ඉන්දිරා පිළිකාබාරය සමඟ අත්වැල් බැඳගත්තු හැමෝවම ගෞරවයෙන්, ආදරෙන් මතක් කරනවා. ඒ වගේම සමාජ සත්කාරයක් විදියට මේ වැඩේට අත්වැල් බැඳගන්න කැමති රූපලාවණ්‍ය ශිල්පීන්, ඡායාරූප ශිල්පීන් සහ විවාහ සැලසුම් ශිල්පීන් ඉන්නවා නම් අපිත් එක්ක එකතුවෙන්න ඔවුන්ටත් ආරාධනා කරනවා.

ඒ වගේම කියන්න ඕනේ ගිය අවුරුද්දෙදි අපි ලෝක රූ රැජින කැරොලයින් ජූරි එක්ක ‘ජටා’ කියන සංකල්පයට අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා. පිළිකාවක් හැදුනු කාන්තාවන් ඔළුවේ ජටාවක් ගැටගහනවා. සමාජයේ ඉන්න ගොඩක් උදවිය මේක දිහා අමුතු විදියට බලනවා. හැබැයි ජටාවක් බඳින එක සාමාන්‍ය විලාසිතාවක් කරන්න පුළුවන් නම් ඒකේ අමුතුවෙන් බලන්න දෙයක් නැහැ. කැරොලයින්ට අවශ්‍ය වුණේ ඒ ජටාව සාමාන්‍යකරණය කරන්න. මේ වගේ දේවල් සාමාන්‍යකරණය කරමු, ඒ සංකල්පය සමාජගත කරමු කියලා මම අපේ අනිත් කාන්තාවන්ගෙනුත් ඉල්ලනවා.”

 

මයිකල් විජේසූරිය

ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පී සහ විලාසිතා උපදේශක

‘Celebrity Designer Wedding Show’ හි මනාලියන් තුන්දෙනාව හැඩකළේ මයිකල් විජේසූරිය. ඉතින් ඒ සද්කාර්යය ගැන ඔහු එක්ක කතා නොකර කොහොමද?

“හැම කාන්තාවක්ම මනාලියක් වෙන්න කැමතියි. හැබැයි පිළිකාවක් හැදුනු කාන්තාවෝ ආදරවන්තයෙක් හිටියත් විවාහය ගැන අදහස අතහැරලා දානවා. පිළිකාවක් වගේ දෙයක් තියෙද්දි විවාහ වෙන්න පුළුවන් නම් ඒ කෙනාගේ ධනාත්මක ශක්තිය වැඩිවෙනවා. ඒක ලෙඩ හොඳ වෙන්නත් උදව්වක්. ඉතින් ඒ අය ගැන හිතලා තමයි අපි මේ ‘Unveil’ ප්‍රොජෙක්ට් එක කළේ.

ශෝ එකේදි මම මනාලියන් තුන්දෙනෙක් හැඩ කළා. කොණ්ඩය යාන්තමින්වත් නොපෙනෙන්න ඔවුන්ට ලස්සන ජටාවක් බැන්දා. නළල් පටිය, මාල හත දැම්මා. පිළිකාවක් හැදුනු යුවතියක්වත් සාමාන්‍ය මනාලියක් වගේම හැඩ කරන්න අපිට පුළුවන්. අපි ඒක කරන්නේ මුළු හදවතින්ම. ඉතින් කෙස් නෑ කියලා විවාහ වෙන්න දාගෙන හිටපු දින කල්දාන්න එපා. අපිත් එක්ක එකතු වෙන්න. අපි ඒ හැම ප්‍රශ්නයක්ම විසඳලා දෙන්නම්.

රූපලාවණ්‍ය ශිල්පීන් විදියට ඇත්තටම අපිට මේක අමාරු කාලයක්. කොවිඩ් නිසා අපේ ක්ෂේත්‍රය කඩාවැටුණා. ඒ වගේම උද්ධමනයත් අපිට ලොකුවටම බලපාලා තියෙනවා. එහෙම තත්ත්වයක් තියෙද්දිත් පෞද්ගලිකව වියදම් කරගෙන මෙහෙම දේකට සම්බන්ධ වුණේ මේක මගේ යුතුකමක් කියලා හිතුණු නිසා. ඒ වගේම එක ශෝ එකක් කරලා අපි මේක අතඇරලා දාන්නේ නැහැ. පිළිකාවෙන් පීඩා විඳින යුවතියන් වෙනුවෙන් මේ ව්‍යාපෘතිය අපි ඉදිරියටම ගෙනියනවා.”

 

කැරොලයින් ජූරි

ලෝක රූ රැජින 2020

 

අද අපේ කවරය හැඩ කරන්නේ‍ 2020 ලෝක රූ රැජින කැරොලයින් ජූරි කියලා අපි මුලදි මතක් කළා. පිළිකාව නිසා කොණ්ඩය අහිමිවුණ කාන්තාවන් වෙනුවෙන් ‘ජටා’ සංකල්පය සමාජගත කරන්න ඇය සෑහෙන වෙහෙසක් ගන්නවා. ඇයත් ‘Unveil’ පිටිපස්සේ ඉන්න එක හස්තයක්.

“පිළිකා ප්‍රතිකාරයක් විදියට කීමෝතෙරපි කරද්දි හිසකෙස් වැටෙනවා. එතකොට ඉතින් ගොඩක් කාන්තාවන් ඔළුවට ස්කාෆ් එකක් බඳිනවා. එහෙම ඇඳගෙන යද්දි පාරේ ඉන්න මිනිස්සු පිළිකාවක් හැදුනු කාන්තාවක් කියලා අඳුනගෙන අමුතු විදියට ඒ අය දිහා බලනවා. ‘Jataa’ ව්‍යාපෘතියෙන් වෙන්නේ ස්කාෆ් එක සාමාන්‍ය විලාසිතාවක් කරන එක. පිළිකාවක් නැතත් එදිනෙදා විලාසිතාවක් විදියට ස්කාෆ් එකක් ඇන්දහම ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. ජටා කියන්නේ ලාබ ලබන ව්‍යාපෘතියක් නෙමෙයි.

ඉතින් ජටා එක්ක‘Unveil’ ප්‍රොජෙක්ට් එකට සහභාගී වෙන්න කියලා මට ආරාධනාවක් ලැබුණා. ‘Unveil’ සහ ‘Jataa’ සංකල්ප අතර සමානාත්මතාවයක් තිබුණා. ඉතින් ඒ ආරාධනාව බාරගන්න දෙපාරක් හිතන්න දෙයක් තිබුණේ නැහැ.

පිළිකාවක් හැදුනු පලියට සිහින අත්අරින්න ඕන නැහැ කියන පණිවිඩය සමාජගත කරන්නයි අපට අවශ්‍ය වුණේ. පිළිකාවට එරෙහිව සටන් කරන හැම කෙනෙක්ටම අපේ හදවතින්ම හයියක් වෙන්න පුළුවන් නම් ඒ අය තවත් ශක්තිමත් වෙයි, ධෛර්යමත් වෙයි කියන එකයි මගේ අදහස.”

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප Pulse