විශේෂාංග

ලෝකෙ ඉන්න හොඳම පුහුණුකරු සහ නායකයා ගෙනත් දුන්නත් දුර්වල ක්‍රිඩකයො එක්ක තරඟ දිනන්න බෑ

වැඩිම එක්දින තරඟ ප්‍රමාණයක් පරාජය වූ රට බවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම පසුගියදා ලෝක වර්තාවක් තැබුවේය. මේ නිසා කරළියේ ‘ක්‍රිකට්’ සම්බන්ධ කතාබහ තවමත් උණුසුම්ය. ඒ නිසා කාන්තා ක්‍රිකට් ලෝක වාර්තා කිහිපයකම නම සටහන් කළ ශ්‍රී ලංකා විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමඟ අපි ක්‍රිකට් ගැන කතා කළෙමු. ඒ කතාබහයි මේ.

2017 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ඔබ ලබාගත් ලකුණු 178 වාර්තාව තවමත් නොනැසී පවතිනවා. පරාජිත කණ්ඩායමක ක්‍රීඩිකාවක් ලැබූ ඉහළම ලකුණු ප්‍රමාණය ලෙසයි එය සටහන් වෙන්නේ. අද ඒ ගැන හිතෙන්නේ කොහොමද?

ඒ වනවිට ලෝක ශූරයන් වූ ඕස්ට්‍රේලියාවට එරෙහිවයි මම ඒ ඉනිම ගොඩනැගුවේ. ඒ නිසා ඒ ඉනිම ගැන එදා වගේම මම අදත් ගොඩක් සතුටු වෙනවා.

එදා ශ්‍රී ලංකාව පරාජය වුවත් තරගයේ වීරයා ඔබ. චමරි අතපත්තු ගැන ලෝකයේම අවධානය යොමුවු‍ණේ ඉන් පස්සෙද?

ඊට කලිනුත් මම හොඳට ක්‍රීඩා කර තිබුණා. නමුත් මේ ඉනිමෙන් පස්සෙ තමයි හැමෝම මං ගැන කතා කරන්න ගත්තේ. බොහෝ ලීග්වලින් මට ආරාධනා ලැබුණොත් මේ ඉනිම නිසා. ඇත්තටම මගේ ජීවිතේට ගොඩක් දේ ලැබුණේ ඊට පස්සෙයි.

ඒ ජයග්‍රහණය සමඟ සුවිශේෂී සුබපැතුම් එහෙම ලැබෙන්න ඇති නේද?

ලෝකෙ පුරා බොහෝදෙනා මට සුබ පැතුවා. ගොඩක් අය ඒ තරඟය නරඹලා තිබුණා. සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර වගේ ජ්‍යෙෂ්ඨයන්ගේ සුබපැතුමුත් ලැබුණා.

ඒ ලෝක වාර්තාව තැබූ අවස්ථාව වෙද්දී කණ්ඩායමේ සෙසු සාමාජිකාවන් සහ නිලධාරීන්ගෙන් ලැබුණු සහාය කෙසේද?

ඒ තරගාවලියේදී කණ්ඩායම් නායිකාව වුණේ ඉනෝකා රණවීර. ඇය ඇතුළුව හැම සාමාජිකාවක්ම මට සහාය දුන්නා. ඒ වගේම ඒ වනවිට තේරීම් කමිටු සභාපති රසාංජලී සිල්වා, කාන්තා ක්‍රිකට් බාරව සිටි අප්සාරි තිලකරත්න, ඉන්ද්‍රානි ආරියරත්න ඇතුළු කළමනාකාරීත්වයෙනුත් මට විශාල සහායක් හිමිවුණා.

ජාත්‍යන්තර එක්දින තරගයක වැඩිම ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියන ක්‍රීඩිකාවන් අතර ඉහළින්ම ඉන්නේ ඔබ. ඒ වගේම විස්සයි විස්ස තරගවලදීත් ඔබ ඒ සටහනේ දසවැන්නිය. එහෙම බලද්දි ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ලැබීම ඔබේ කර මත රැඳී තිබෙනවා කීවොත් ඔබ ඊට එකඟද?

ගොඩක් ඉනිම්වල මුළු ලකුණුවලින් වැඩි ප්‍රමාණයක් මම අරන් තියනවා කියලා දත්ත සැලකුවාම පේනවා. මම ලකුණු අතර ඉන්න ක්‍රීඩිකාවක්. ලකුණු ගන්න ඕනෙ කියන එක මට දැනෙනවා. ඒ ප්‍රෙෂර් එකට මම කැමතියි. මං ඒක පොසිටිව් විදියට අරගෙන සෙල්ලම් කරනවා.

එක්දින ක්‍රිකට් වැඩිම ලකුණුලාභිනියන් දසදෙනා අතර සිටින එකම ශ්‍රී ලාංකිකයා වෙන්නෙත් ඔබ. වසර දහයකට වැඩි ජාත්‍යන්තර ක්‍රීඩා අත්දැකීම් ඇති ක්‍රීඩිකාවක් විදියට ඒ ගැන ඔබ සෑහීමකට පත් වෙනවාද?

නෑ. මම ඉන්න තැන ගැන මම සෑහීමකට පත්වෙන්නෙ නෑ. 2009 ඉඳලා මම ටී ටුවෙන්ටි සෙල්ලම් කරනවා. ඕ.ඩී.අයි. සෙල්ලම් කරන්නෙ 2010 ඉඳලා. ඒත් අන්තිම අවුරුදු දෙකටම අපිට තරඟ තිබුණෙ නෑ. මේ අවුරුදු ගානට මීට වඩා තරඟ ප්‍රමාණයකට සෙල්ලම් කරන්න තිබුණා කියලා මම හිතනවා. ඒත් අපිට තරඟ ලැබෙන්නෙ අඩුවෙන්. තරඟ වැඩියෙන් ලැබුණනම් මීට වඩා අත්දැකීම් ගන්නත් තිබුණා. තව දක්ෂතා පෙන්නන්නත් තිබුණා. මට ශතක කිහිපයක්ම මග ඇරිලත් තියනවා. කොහොම වුණත් ලැබුණු අවස්ථාවලදී මම මගේ උපරිම දායකත්වය දීලා තියෙනවා.

ශ්‍රී ලංකාව තුළ කාන්තා ක්‍රිකට් සඳහා ප්‍රමාණවත් සැලකීමක් ලැබෙනවා කියලා ඔබ හිතනවද?

පහසුකම් පැත්ත සැලකුවාම ඒ සියල්ල පිරිමි කණ්ඩාමට වගේම කාන්තා කණ්ඩායමටත් ලැබෙනවා. ඒත් ක්‍රීඩකයකුට ලැබෙන මූල්‍යමය වටිනාකම ක්‍රීඩිකාවකට ලැබෙන්නෙ නෑ. එතන විතරයි සමබරතාවයක් නැත්තේ. ඒකට ගොඩක්ම බලපාලා තියෙන්නේ අනුග්‍රාහකයන් හිඟවීම. මේක ප්‍රඩක්ට් එකක් විදියට අපි මාකට් කරනවා මදි කියලත් මට හිතෙනවා. තරඟ සජීවීව ප්‍රචාරය කරනවනම් මීට වඩා කාන්තා ක්‍රිකට්වලට ආකර්ෂණයක් ඇතිවෙයි. ඉතින් මං හිතනවා ක්‍රීඩිකාවන් වෙනුවෙන් මීට වැඩි යමක් කළොත් තව ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා.

ඔබ වැඩියෙන්ම ලකුණු වාර්තා කර තිබෙන්නේ කණ්ඩායම් නායිකාව ලෙස සිටියදී. නායකත්වය ඔබේ සාමාන්‍ය ක්‍රීඩා රටාව ශක්තිමත් කරනවාද? නැතිනම් ඒක අභියෝගයක්ද?

නායකත්වය තියෙද්දිත් නැතුවත් මම හොඳින් ලකුණු අරන් තියනවා. 178 ගත්තේ නායිකාව ලෙස නෙමෙයි. ඒ වගේම ලංකාව වෙනුවෙන් ටී ටුවෙන්ටි පළවෙනි ශතකය මම ගන්නෙ නායිකාව විදියට. නායිකාව වුණත් නැතත් මම ක්‍රීඩා කරන්නේ මගේ රට වෙනුවෙන්. මම නායකත්වය බාරගන්නේ සැහැල්ලු විදියට. නායිකාව වෙන්නේ ග්‍රවුන්ඩ් එකේදී ෆීල්ඩ් එක සෙට් කරද්දි හරි පිටියෙන් එළියේ සැලසුම් හදද්දී හරි. ඒත් බැට් කරද්දී මම තවත් ක්‍රීඩිකාවක් විතරයි. ඒ නිසා මගේ සුපුරුදු ක්‍රීඩා රටාවට නායකත්වය බාධාවක් නෙමේ. ඒක මම ඔප්පු කරලත් තියනවා.

ක්‍රීඩකයෙකු/ක්‍රීඩිකාවක සතුවිය යුතුම ගුණාංග ලෙස ඔබ දකින්නේ මොනවාද?

ඉවසීමයි නොපසුබට උත්සාහයයි තමා මං හිතන විදිහට ක්‍රීඩකයකුට තිබිය යුතුම ගුණාංග.

ඔබ අනුගමනය කරන හෝ කැමතිම ක්‍රීඩකයා කවුද?

පුංචි කාලෙ ඉඳලම මගේ ආසම ක්‍රීඩකයා සනත් ජයසූරිය. මං සමහර ඉනිම් සෙල්ලම් කළාට පස්සෙ ගොඩක් අය මට කියනවා මං ජයසූරිය වගේ ක්‍රීඩා කරනවා කියලා. මම සෙල්ලම් කරන විදියට කැමතියි කියල සනත් අයියත් කියලා තියනවා. මගේ ක්‍රිකට් වීරයා ඔහු නිසා ඒ ගැන හරිම සතුටුයි.

කුසල් ජනිත්ගේ නායකත්වය ජාතික කණ්ඩායමට සාධාරණයක් ඉෂ්ඨ කරනවා කියලා ඔබ හිතනවාද?

හොඳ නායකයෙක් හැමවිටම නිර්මාණය වෙන්නෙ හොඳ ක්‍රීඩකයො ඉද්දි. හොඳ ක්‍රීඩකයො ඉන්නකොට හොඳ කණ්ඩායමක් හැදෙනවා. එතකොට තරග දිනනවා. මේක චක්‍රයක් වගේ. ලෝකෙ ඉන්න හොඳම පුහුණුකරුයි, හොඳම නායකයායි ගෙනැත් දීලා දුර්වල ක්‍රීඩකයන් දහයක් දුන්නොත් තරග දිනන්න බෑ. නායකයවත්, පුහුණුකරුවත් වෙනස් කරන එක නෙමේ කරන්න ඕන. ඕන ප්‍රෙෂර් එකක සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රීඩකයන් හදන ක්‍රමවේදයක් සහ වටපිටාවක් හැදෙන්න ඕනේ. නැතුව කකුලෙ තියෙන තුවාලෙට ඔලුවට බෙහෙත් බැන්දට වැඩක් නෑ.

මේ වෙලාවේ ඔබ, ජාතික කාන්තා ක්‍රිකට් නායිකාවක විදියට ජාතික කණ්ඩායමට කරන යෝජනාව මොකක්ද?

මේ තමයි අපිට ආයෙ හැදෙන්න තියන හොඳම වෙලාව. අපිට දැන් නැතිවෙන්න දෙයක් නැහැනේ. සියලුම අංශ එකතුවෙලා සාකච්ඡා කරලා අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න අවධානය දෙන්න ඕනේ. ඒ වගේම දේශීය තරග ව්‍යුහය තවත් තරගකාරී වුණානං හොඳයි. මට හිතෙන විදියට ඩොමෙස්ටික් ස්ට්‍රක්චර් එකයි ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙයි ගැප් එකක් තියනවා. ඒක හැකිතාක් අඩුකර ගන්න ඕනේ. ඒ වගේම ක්‍රීඩකයො විදියට අපිට මේ හැමදේම ලැබිලා තියෙන්නේ ක්‍රිකට් නිසානේ. ඒ හින්දා ඒකට අපි ප්‍රමුඛතාව දෙන්න ඕනෙ. ක්‍රිකට් වෙනුවෙන් වන ගෞරවය, කැපවීම අඩු කළොත් අපිත් ටික ටික පහළට වැටෙනවා. විරාට් කෝලි ගැන මම කියවලා තියනවා ඔහු ක්‍රිකට් වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන බව. ඒ වගේ අයගෙන් අපට ඉගෙනගන්න බොහෝ දේ තියනවා. ටික කාලයයි අපි ඒ කැපකිරීම කරන්න ඕනේ. පැරදුනාම තමයි අපි ඉගෙනගන්නෙ දිනන විදිය. වැරදි හදාගෙන අපිට ඉදිරියට යන්න පුළුවන්.

ඔබ මේ දක්වා ආපු ගමනේ කරපු කැපකිරීම් මොනවද?

මම කුරුණෑගල ගොකරැල්ලෙ. පවුලෙ එකම දරුවා. අප්පච්චිගේ අභාවයත් එක්ක මමයි අම්මයි එක කාලෙකදි තනිවුණා. ඊටපස්සෙ හැලහැප්පීම් මැද මේ ගමන ආවෙ. පුහුණුවීම්වලට පාන්දර තුනට ගෙදරින් ඇවිත් ආයෙ යනකොට රෑ දහය විතර වෙනවා. ක්‍රිකට් බෑග් එකක් අරන් එනකොට සමහරු හිනා වුණා. මගෙ වයසෙ යහළුවන් පවා කිව්වා ගෑනු ළමයි ක්‍රිකට් ගහනවද කියලා. අද ඒ තත්ත්වය වෙනස්. අමාරුවෙන් ආපු ගමනෙදි ජීවිතේට බෝහෝ දේ එකතු කරගෙන මම ශක්තිමත් වුණා.

චමරි අතපත්තු 178 ක වාර්තාව තබන විට එවකට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිනිය වූයේ රසාංජලී චන්දිමා සිල්වාය. ඇය තවමත් කාන්තා ක්‍රිකට් වාර්තා කිහිපයකට හිමිකම් කියන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් හිටපු නායිකාවකි. එංගලන්තයේ සිට චමරිගේ දස්කම් සජීවීව නැරඹූ ඇයවද අපි සාකච්ඡාවට සම්බන්ධ කරගතිමු.

චමරි නොදැවී ලකුණු 178 ක් ලැබූ අවස්ථාවේ ඔබ එය සජීවීව නැරඹුවා. එය ඔබට දැනුණේ කොහොමද?

එංගලන්තයේ දේශගුණය, ඒ තණතීරු සැලකුවාම ක්‍රීඩා කිරීම එතරම් පහසු නෑ. ක්‍රීඩිකාවක විදියට මම ඒක හොඳට දන්නවා. චමරි ඉනිමේ මුල් ටික හරිම ඉවසීමෙන් ක්‍රීඩා කළේ. එයා සියල්ල හොඳින් අධ්‍යයනය කළා. පසුව චමරි ඇගේ සුපුරුදු පිතිහරඹයට අවතීර්ණ වුණා. ඒක මල් වරුසාවක් වගේ. ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට කිසිවක් හිතාගන්න බැරිවුණා. එදා චමරි ඒ ඉනිම ක්‍රීඩා කරද්දි ඉඳගෙන ඉන්න හැකි වුණෙත් නෑ. ඒක ලේවලටම දැනෙන හැඟීමක්. මට දැනුණේ මමත් කණ්ඩායමේ ක්‍රීඩිකාවක් වගේ. මම හිතනවා ඒ ඉනිම සජීවීව නරඹන්න වගේම ඒ වෙලාවේ තේරීම් කමිටු සභාපති වීමත් මගේ වාසනාවක් කියලා.

චමරි අතපත්තු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව කිරීම සම්බන්ධව විරෝධතා තියෙද්දි ඔබ ඇය වෙනුවෙන් පෙනී සිටියා. එසේ කිරීමට ඈ වෙතින් දුටු විශේෂත්වය කුමක්ද?

චමරි සටන්කාමී ක්‍රීඩිකාවක්. කිසි දේකට බය නෑ. ඕන අභියෝගයක් බාර ගන්නවා. අනිත් ළමයින්ට වඩා මං ඇගෙන් දුටු විශේෂත්වය තමා තරඟය වුණත් පුහුණුවීම් වුණත් එයා ඉන්නේ ක්‍රීඩාව තුළ. තරගයක් වුණත් හරිම අවධානයෙන් අධ්‍යයනය කරනවා. ඒ වගේම දැඩි කැපවීම. මේ සියලු ලක්ෂණ නිසා තමයි චමරි මේ විදියට ක්‍රීඩා කරන්නෙත්. යම් යම් බාධා ආවත් තේරීම් කමිටුවේ සිටි අප සියලුදෙනා ඇය නායකත්වයට සුදුසුයි කියන මතයේ ස්ථාවරව හිටියා. ඒක ඇයත් ඔප්පු කළා.

ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ විනය සම්බන්ධව මේ වනවිට සමාජයේ විශාල අවධානයක් යොමුව තිබෙනවා. ඒ ගැන ක්‍රීඩා පරිපාලනයට පැවරෙන වගකීම ගැන ඔබ දකින්නේ කෙසේද?

ක්‍රීඩකයෙක් හරි ක්‍රීඩිකාවක් හරි කණ්ඩායමට තෝරගද්දිමයි විනය පටන් ගන්නේ. රටේ ඉන්න හොඳම ක්‍රීඩකයා වුණත් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ අසමත් වුණොත් කණ්ඩායමට එන්න බෑ. ඊටපස්සෙ වෙන රටකට යනකොට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ඒ හැඟීම දැනෙන්න ඕනේ. මොකද පොඩි ළමයි නෙමේනේ. කණ්ඩායම භාර කළමනාකරුවෙක් හිටියත් ක්‍රීඩකයන් දැනගන්න ඕනේ තමන් ඇවිත් ඉන්නෙ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න කියලා. අම්මා කොයිතරම් හොඳට ළමයා හැදුවත් එළියට ගිහින් නරක් වුණාම අම්මට චෝදනා කරලා වැඩක් නෑ කියන එකයි මගේ මතය.

රෂ්නිකා ලියනගේ