සුව දිවිය

මන්කිපොක්ස් ලංකාවටත් එයිද?

ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළියටත් බයය. ඒ නිසා ලෝකයේ අනෙක් රටවලට මේ වනවිට බලපෑම් ඇතිකරමින් තිබෙන ‘වඳුරු වසංගතය’ හෙවත් ‘මන්කිපොක්ස්’වෛරසය පිළිබඳව අපි අවධානයෙන් සිටිය යුතුය. තවමත් ලංකාවට එහි බලපෑමක් නොපැමිණියද සංචාරකයින් හරහා රෝගය පැමිණීමේ අවදානමක් නැත්තේද නැත. ඒ නිසා එවැනි අවදානමක් උද්ගත වුවහොත් ඊට මුහුණ දෙන විදිය දැනුවත් වීම සිටීම වැදගත්ය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්තිකරණ විද්‍යා සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා සමඟ මේ සාකච්ඡාව ඒ ගැනය.

 

*මේ වෙනකොට වඳුරු වසංගතය නැත්නම් මන්කිපොක්ස් වෛරසය ගැන කවුරුත් කතාවෙනවා. අපිට ඒ ගැන පැහැදිලි කිරීමක් කළොත්?

වඳුරු වසංගතය නැත්නම් මන්කිපොක්ස් කියන්නේ වෛරස් එකක්. ඒක සාමාන්‍යයෙන් මධ්‍යම අප්‍රිකානු සහ බටහිර අප්‍රිකානු රටවල්වල තමයි මෙච්චර කාලයක් දකින්නට ලැබුණේ. ඒත් මේ වෙනකොට ඒ ඒ රටවල සංචාරය කරන සංචාරකයින් නිසා වෙනත් රටවලිනුත් මේ වෛරසය වාර්තා වෙලා තියෙනවා. 2022 මැයි 13 වෙනිදා ඉඳන් ලෝකය තුළ මේ වෛරසය පැතිරීමේ යම් වේගවත් බවක් පෙන්නුම් කරනවා.

 

*අපිට දැනගන්න ලැබුණා වඳුරු වසංගතය කියන්නේ ලොකු ඉතිහාසයක් තියෙන වෛරස් එකක් කියලා. එහි බලපෑම කොයි වගේද?

මේ වෛරසය 1958 වසරේ තමයි වඳුරන්ගෙන් මුලින්ම වාර්තා වෙලා තියෙන්නේ. ඒකයි මේකට වඳුරු වසංගතය කියන්නේ. ඊටපස්සේ 1970 වසරේ මේ වෛරසය මුලින්ම මිනිසෙකුගෙන් වාර්තා වෙලා. සත්වයින් හරහා මේ වෛරසය මිනිසුන්ට ආවට පස්සේ සමීප සම්බන්ධතා හරහා මිනිසාගෙන් මිනිසාට බෝවෙනවා. මෙහි බලපෑම තියෙන්නේ එතැනයි. වඳුරු වසංගතයේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් මධ්‍යම අප්‍රිකානු ප්‍රභේදය. අනික බටහිර අප්‍රිකානු ප්‍රභේදය. මෙතැනින් මධ්‍යම අප්‍රිකානු ප්‍රභේදය තරමක් මාරාන්තිකයි. හැබැයි මේ වෙනකොට පැතිරෙමින් තියෙන්නේ බටහිර අප්‍රිකානු ප්‍රභේදය. ඒ නිසා මධ්‍යම අප්‍රිකානු ප්‍රභේදයට සාපෙක්ෂව එහි මාරන්තික බව අඩුයි.

 

*මේ වෛරසය කෙනෙක්ට බෝවෙන්න පුළුවන් ආකාරය ගැන තව ටිකක් විස්තර කළොත්?

මුලින් කියපු විදිහට සමීප සම්බන්ධතා තුළින් තමයි බෝවෙන්නේ. වෛරසය ශරීර ගතවුණු රෝගියෙකුගේ කෙල බිඳිති හරහා වගේම රෝගියා භාවිතා කරපු ඇඳ ඇතිරිලි, තුවා, ලේන්සු, ඇඳුම් පැළඳුම් වගේම කන බොන උපකරණවලින් වෛරසය බෝවෙන්න පුළුවන්. එවන් රෝගියෙක් එක්ක ලිංගිකව එක්වීමේදීත් බෝවීමේ ඉඩකඩක් තියෙනවා. ඒ වගේම වෛරසය ආසාධිත සත්වයින් ළඟින් ඇසුරු කිරීම හරහාත් වෛරසය ශරීරගත වෙන්න පුළුවන්.

 

*එතකොට මේ වඳුරු වසංගතයේ රෝග ලක්ෂණ මොනවද?

තදබල හිසරදය, උණ, ඇඟපත වේදනාව, කොන්දේ කැක්කුම, ශරීර අප්‍රාණිකත්වය, වසාගැටිති ඉදිමීම, සම මත ඇතිවෙන බිබිලි තමයි මූලික රෝග ලක්ෂණ වෙන්නේ. උණ හැදිලා දවස් දෙක තුනක් ඇතුළත සම මතුපිට බිබිලි හැදෙනවා. පස්සේ ඒවට වතුර පිරිලා කහපාට වෙලා සැරව ගෙඩියක් වගේ වෙනවා. ටික දවසකින් ඒ ගෙඩි නිකන්ම වේලිලා කබොලක් වගේ වෙලා ඉබේම වැටිලා යනවා. පුද්ගලයාගෙන් පුද්ගලයාට හැදෙන බිබිලි ප්‍රමාණය වෙනස්. කෙනෙක්ට බිබිලි කීපයක් එද්දි තව කෙනෙක්ගේ සමේ බිබිලි දහස් ගණනක් එන්න පුළුවන්. එයින් රෝගයේ දරුණු බව තීරණය වෙන්නේ. මේ බිබිලි ගොඩාක් වෙලාවට මුහුණ පුරාවට සහ අත්පා ආශ්‍රිතව වගේම ලිංගාශ්‍රිත ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවෙනවා. කොහොමත් සති තුන හතරක් වගේ තියෙනවා.

 

*කෙනෙක්ට මේ වෛරසය ශරීරගත වෙලා තියෙන බවට හඳුනාගන්න පහසු ක්‍රමයක් තියෙනවද?

වසාගැටිති ඉදිමීම සහ සම මතුපිට බිබිලි ඇතිවීමත් නිසා වෙනත් රෝගවලින් වඳුරු වසංගතය ඉතාමත් පහසුවෙන් වෙන්කර හඳුනාගන්න පුළුවන්.

 

*වඳුරු වසංගතය මාරාන්තිකයිද? එහි යම් අවදානම් තත්ත්වයක් තිබේද?

එතරම් මාරාන්තික නෑ. ඒත් අවදානම් සහිත කණ්ඩායම් කීපයක් ඉන්නවා. අලුත උපන් දරුවන්, කුඩා දරුවන්, ගැබිනි මව්වරුන්, ප්‍රතිශක්තිකරන ඌණතා ඇති පුද්ගලයින් ඒ අතරට අයත් වෙනවා. මේ අයට වෛරසයේ බලපෑම ආවොත් විවිධ සංකූලතා හරහා මරණය පවා ළඟාවෙන්න ඉඩ තියෙනවා.

 

*මේ වෛරසයට ලෝක මට්ටමින් යම්කිසි ඖෂධයක් හොයාගෙනද තියෙන්නේ?

මේ සඳහා 2022 ජනවාරි ඉඳන් වෛරස්නාශක ප්‍රතිකාරයක් අනුමත කරලා තියෙනවා. ඒ වගේම වසූරිය සඳහා එන්නත් ලබාදී ඇති අයට එයින් 85% ක වගේ ආරක්ෂාවක් ලැබෙන බව සඳහන් වෙනවා. ඒ වගේමයි මේ වෛරසය කාලයක් පුරාවට තිබුණු එකක් නිසා දැනටමත් වෛරසය ගැන ලෝක මට්ටමින් පර්යේෂණ රැසක්ම කරලයි තියෙන්නේ. ඒ නිසා එතරම් බයවෙන්න දෙයක් නෑ.

 

*අපිට තියෙන වැදගත්ම දේ තමයි වඳුරු වසංගතය ලංකාවට එන්න පුළුවන්ද කියන කාරණාව. ඒ ගැන යම්කිසි පැහැදිලි කිරීමක් කළොත්?

තවමත් ලංකාවට බලපෑමක් නෑ. එහෙම ආවොත් ඒ සංචාරකයෙක් හරහා තමයි. සංචාරක කටයුතු සිදුවන ඕනෑම රටකට වෛරසය ඇතුළුවීමේ අවදානමක් තියෙනවා. ඒක ලංකාවටත් පොදුයි.

 

*මේ වෛරසය මෙරටට නිකන් හරි පැමිණියොත් ඊට මුහුණදෙන්න තියෙන සූදනම කොයි වගේද?

අනිවාර්යයෙන්ම කොවිඩ්වලට අපි අනුගමනය කරපු සෞඛ්‍ය පුරුදු ඒ විදිහටම පිළිපදින්න වෙනවා. ඒ කියන්නේ මුඛ ආවරණ පළඳින්න වෙයි. නිතර සබන් යොදා අත් සෝදන්න වෙයි. සැනිටයිසර් භාවිතා කරන්න වෙයි. අනිවාර්යයෙන්ම පුද්ගල දුරස්ථභාවය රැකගන්න වෙයි. පැතිරීම වැළෙකෙන තරමට අවදානම අඩුයි.

 

*ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වෛරසය සම්බන්ධයෙන් කියන්නේ මොනවද?

වඳුරු වසංගතය මාරාන්තික වෛරසයක් නොවුණත් ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයන්ට එය මාරාන්තික වෙන්නට හෝ සංකූලතා ඇතිවෙන්නට ඉඩකඩ තියෙන බවයි ඔවුන්ගේ අදහස. ඒ වගේම වෛරසය මේ වෙනකොට එක්සත් රාජධානිය, ප්‍රංශය බෙල්ජියම, ජර්මනිය, ඉතාලිය, පෘතුගාලය, ස්පාඤ්ඤය, ස්වීඩනය, නෙදර්ලන්තය, ඇමෙරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඊශ්‍රායලය වගේම ස්විට්සර්ලන්තය වගේ රටවල පැතිරෙමින් ඇති බව ඔවුන් ප්‍රකාශ කරනවා.

 

*අවසාන වශයෙන් අපට කියන්න වඳුරු වසංගතය තමන්ට වැළඳී ඇති බවට කෙනෙක්ට සැකයක් ආවොත් ඒ පුද්ගලයා කළයුත්තේ මොකක්ද?

අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් මුණගැහිලා ඒ ගැන දැනුවත් කළ යුතුයි. ඊටපස්සේ පී.සී.ආර්. (PCR) පරීක්ෂණයක් මගින් මේ වෛරසය ආසාදිතද යන්න තහවුරු කරගන්න පුළුවන්. හැබැයි ආයෙමත් මං කියන්න කැමතියි තමවත් ලංකාවට වඳුරු වසංගතයේ බලපෑමක් නෑ. ඒ නිසා අනවශ්‍ය බියක් ඇතිකරගන්න උවමනා නෑ. ඒත් සූදානමින් ඉන්න එක වටිනවා.

 

රුවන් එස්.සෙනවිරත්න