නවතම ප්‍රවෘත්ති

නිහඬ මෙහෙවරක යෙදෙමින් සතුටින් ජීවිතය දරන ඇඟළුම් විරුවෝ

මේ වගේ වෙලාවක රටේ ආර්ථිකයට උරදෙන්න ලැබුණු එක ගැන ඇත්තටම හිතේ ලොකු අභිමානයක් වගේම ආඩම්බරයකුත් තියෙනවා.

ඔවුන් නිහතමානීව කියති. ඇත්තය. රටේ බරපතළ ආර්ථික අර්බුදයක් ඇතිවී ඇති මෙවන් මොහොතක ඉඳිකටු තුඩෙන් රට රකිනා ඔවුන් ගැන සමස්ත ජාතියක් ලෙස අපද ආඩම්බර විය යුතුය.

පවතින වසංගත තත්ත්වය නිසා අපනයන සීමා වී ඇති මොහොතක ශ්‍රී ලංකාවට විදේශ විනිමය සපයන ප්‍රධානම මූලාශ්‍රය ඇඟළුම් කර්මාන්තයයි. ඉදින්, මේ මොහොතේ ‘ධරණී’ කවරය දරා සිටින්නට ඔවුන් තරම් සුදුසුකම් ඇති තවත් කවුරුන් හෝ සිටිය හැකි බව ඔබ සිතනවාද?

ඒ නිසාම Ritz Clothing සමූහ ව්‍යාපාරයේ පොල්පිතිගම ශාඛාවේ සුන්දර ඇඟළුම් ශිල්පිනියන් අතුරින් කිහිපදෙනෙකුගේ රුවින් මෙවර ‘ධරණී’ කවරය සරසන්නට සිතුවෙමු.

දහවලේ කාර්යබහුලත්වය නිසා මේ සියල්ලන් සමඟ කතාබහ කළ නොහැකි වුණත් ඇඟළුම් ශිල්පිනී එම්.ඒ.ටී.මධුවන්ති සමඟ කෙටි කතාබහක යෙදෙන්නට අපිට හැකිවිය. මේ ඇය පැවසූ ඔවුන්ගේ කතාවයි.

වසර කිහිපයක සිට ඇඟළුම් ශිල්පිනියක ලෙස සේවය කරන මධුවන්ති ඇඟළුම් ක්ෂේත්‍රයේ වෘත්තියක් තෝරාගන්නේ කුඩා කල සිට ඇය එම ක්ෂේත්‍රය ගැන දැක්වූ ආසාව සහ කැමැත්ත නිසාය.

මම නම් හිතන්නේ අපි රැකියාවක් විදිහට තෝරාගන්න ඕනේ ආසාවෙන් කරන්න පුළුවන් දෙයක් කියලයි. මම පොඩි කාලෙ ඉඳලම මැහුම්, ගෙතුම්වලට ගොඩක් කැමති කෙනෙක්. ඉතින් ඒ නිසා තමයි මම මේ ක්ෂේත්‍රයට යොමු වෙන්න හිතුවේ.”

මධුවන්තිගේ රැකියා ස්ථානය පිහිටා තිබෙන්නේ ඇයගේ නිවසේ සිට විනාඩි දහයක පහළොවක තරම් දුරකය. ඒ නිසා ඇයගේ කාල වේලාව කළමනාකරණය කරගැනීමද පහසු බව ඈ කියන්නීය.

ඉස්සර නම් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වුණ තරුණ තරුණියෝ ඇඟළුම් ක්ෂේත්‍රයේ රැකියාවලට නගරබද ප්‍රදේශවලට යනවනේ. හැබැයි දැන් ඒ සංස්කෘතිය වෙනස් වෙලා. බොහෝ ග්‍රාමීය ප්‍රදේශවලත් ඇඟළුම් කර්මාන්තශාලා තියෙන නිසා වැඩි මහන්සියක් නොවී ගෙදර ඉඳලම අපිට රැකියාවට යන්න පුළුවන්.”

ඍජු රැකියා අවස්ථා 350,000ක් සහ වක්‍ර රැකියා අවස්ථා 600,000ක් පමණ සම්පාදනය කිරීමට ශ්‍රී ලංකා ඇඟළුම් කර්මාන්තයට හැකියාව ලැබී ඇති බවත් කිව යුතුය. එයින් සපථ වන්නේ රැකියා අවස්ථා ජනනය කරන්නෙකු ලෙසද ඇඟළුම් ක්ෂේත්‍රය රටට විශාල කාර්යභාර්යයක් ඉටු කරනා බවය.

මම දැන් මේ ක්ෂේත්‍රයේ රැකියාව කරන්න අරගෙන අවුරුදු හයක් විතර වෙනවා. මගේ විවාහයේ වැඩ කටයුතු, රන් ආභරණ සකස් කරගැනීම වගේ ගොඩක් දේවල් කරගත්තේ මේ රැකියාවෙන් ලබන වැටුපෙන්. අද වෙනකොට නිවසට අවශ්‍ය ආර්ථික හයියත් සපයන ගමන්ම මටම කියලා යම් මුදලක් ඉතිරි කරගන්නත් මට පුළුවන් වෙලා තියෙනවා.”

ඇය කියන්නේ ආයතනයෙන් ප්‍රවාහන පහසුකම් සහ ආහාරපානත් නොමිලේ ලබාදෙන නිසා ඇයට වැඩි මුදලක් ඉතිරි කරගත හැකි බවයි.

එසේම ඇඟළුම් ක්ෂේත්‍රයෙන් ඈ උගත්තේ මැහුම්, ගෙතුම් පමණක්ම නොවන බවත් ඕ කියන්නීය.

මට දැන් හරි ලස්සනට මහන්න පුළුවන්. ඇඳුම් මහන හැටි විතරක් නෙවෙයි තාක්ෂණය එක්ක හරි හරියට වැඩ කරන හැටිත් මම ඉගෙනගත්තේ මෙතනින්. අද වෙනකොට බොහෝ ඇඟළුම් ආයතනවල පුහුණුවීම් පවා ලබාදෙන්නේ යම් යම් තාක්ෂණික ක්‍රමවේද හරහායි. ඉතින් එතැනදී පරිගණක තාක්ෂණය, ඉංග්‍රීසි භාෂාව හැසිරවීම වගේ දේවල් පවා අපිට ඉගෙනගන්න පුළුවන්.”

එපමණක්ද නොව කාර්යක්ෂමව වැඩ කිරීම, නිවැරදි විනයක් ගොඩනගා ගැනීම සහ කලට වේලාවට වැඩ කිරීම රැකියා ස්ථානයෙන් මධුවන්ති ඇතුළු අනෙකුත් ඇඟළුම් ශිල්පිනියන් උපයාගත් ධනයයි.

මේ ක්ෂේත්‍රයේදි අපිට ලීන් මැනේජ්මන්ට්, 5S වගේ සංකල්පවලට අනුගත වෙන හැටි ගැනත් හොඳ පුහුණුවක් දෙනවා. ඉතින් වෘත්තීය ජීවිතය විතරක් නෙවෙයි මගේ පෞද්ගලික ජීවිතයත් හොඳින් කළමනාකරණය කරගන්න ඒ දේවල් මට උදව් වෙනවා.”

රැකියාවේ පීඩනය පිළිබඳව නිතර මැසිවිලි නගනා අයවලුන් අතරේ ඇය කියන්නේ ඊට හාත්පසම වෙනස් කතාවක්ය.

අත්වැරදීමකින් මැහුමක් වැරදුණා කියලා හිතන්නකෝ. එහෙම වුණත් කවුරුත් අපිට කෑගහන්න, බනින්න එන්නෙ නැහැ. ඒ වෙනුවට ඒ වරද නිවැරදි කරගන්න අපිට උදව් වෙන එක තමයි ඔවුන් කරන්නේ. අනික අපිට අවශ්‍ය කරන නිවාඩු වගේම විවේකය වුණත් අවශ්‍ය විදිහට ලබාගන්න පුළුවන්. ඇත්තටම මේ රැකියාවෙන් අපි ලබන මානසික සුවය රුපියල් ශතවලට නම් සීමා කරන්න බැහැ.”

මේ කතාව අතරතුර මධුවන්ති ඇය සමඟ සේවය කරන ඇයගේ කණ්ඩායමේ සාමාජිකාවන් පිළිබඳවත් මතක් කිරීමට අමතක නොකළාය.

මාත් එක්ක වැඩ කරන ටීම් එකේ තව සහෝදරියන් දහහතර දෙනෙක් ඉන්නවා. අපි හැමෝම එකා වගේ එකට එකතු වෙලා හරි සහයෝගයකින්, බැඳීමකින් තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් ඒ නිසා ලොකු මහන්සියක් දැනෙන්නෙත් නැහැ.”

ඇඟළුම් ක්ෂේත්‍රය තුළින් කාන්තාවකට යා හැකි උපරිම දුර කුමක්දැයි මා ඇයගෙන් විමසා බැලුවෙමි.

මැෂින් ඔපරේටර් විදිහට සේවයට බැඳිලා ආයතනයේ ඉහළ තනතුරුවල සේවයේ නිතර වෙන අය ඕනතරම් අපේ ආයතනයේ ඉන්නවා.”

ඈ කියන්නේ උත්සාහය සහ කැපවීම ඇත්නම් ඕනෑම අයෙකුට සුළු තනතුරක සිට ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර දක්වා වුවත් ගමන් කළ හැකි බවය.

මධුවන්තිගේ බලාපොරොත්තුව තව තවත් දැනුම, පළපුරුද්ද එක්කාසු කරගෙන ඇඟළුම් ක්ෂේත්‍රයේම දිගු ගමනක් යාමය.

ඒ අරමුණ කරා යන්නට ඇයට සියලු ශක්තිය ලැබෙනා බව නම් නිසැකය.

ශ්‍රී ලංකාවේ නාමය ඉතා උසස් තත්ත්වයේ ඇඟළුම් සඳහා ලෝක පූජිත සන්නාම නාමයක් බවට පත් කිරීමට හැකියාව ලැබී ඇත්තේ අපේ ඇඟළුම් ශිල්පීන්ගේ සුවිශේෂී දස්කම් විස්කම් නිසාය.

පිළිගත් දත්තවලට අනුව 2019 වර්ෂයේ රටේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 9,426ක් වූ අතර එයින් 59%ක්ම ලැබී ඇත්තේ ඇඟළුම් කර්මාන්තයෙන් බව නොකියාම බැරිය.

මේ මොහොතේ කොරෝනා අවධානම මධ්‍යයේ වුවත් නිසි සෞඛ්‍ය නිර්දේශ, උපදෙස් මත ඔවුන් අප වෙනුවෙන්, රට වෙනුවෙන් වෙහෙසෙති. කුමන තරාතිරමක සිටිනා අයවලුන්ගේත් විලි බිය වසා දමන්නේ මේ සොඳුරු මිනිසුන් බව කිසිවිටෙක අමතක නොකළ යුතුය. ඒ නිසාම රටේ ජාතික ආදායමට උරදෙන සහ රටට දිරිදෙන මේ දිරිය ඇඟළුම් විරුවන්ට ‘ධරණී’ අපගේ ද ප්‍රණාමය පුද කළ යුතුමය!

සෙව්වන්දි හෙට්ටිආරච්චි