Health

එළදෙනුන්ගේ කිරි ගානවද? නැත්නම් එළදෙනක් වගේ බ්ලීචින් ගානවද?

කිරි කියන්නේ සෞභාග්‍යයේ සංකේතයක්. ඒ නිසාම ඉතින් එදා ඉඳලම අපි සුබ කටයුත්තකට අත ගහන්න කලියෙන් කිරි උතුරවනවා. අලුත් අවුරුද්දක් පටන්ගනිද්දි වුණත් කිරි මුට්ටියක් උතුරවලා හැමෝම ප්‍රාර්ථනා කරන්නේ කාට කාටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඕනා කියලනේ. හැබැයි මේ අවුරුද්ද පටන්ගනිද්දි නම් “කිරි ඉතිරෙන අවුරුද්දක් වේවා!” කියලා කියන්න අපහසු වග කට්ටිය කතා වෙනවා අපි අහගෙන. ‘කිරි දියෙහි යෙදුවත් අඟුරු සුදුවන කලෙක් නම් නැත්’ කියන්නා වාගේ මොන සුමේ කරලාවත් ලංකාවේ මහපුටුවල ඉන්න උන්දලාගේ දූෂණ නැති කරන්න බැහැයි කියලත් ඔය අතරේ කට්ටිය කතා වුණා.

ඔය වගේම ආණ්ඩු හුටපටස් නිසා 1988 අවුරුද්දේ පාසල් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් පටන්ගත්තා, ඔබට සමහරවිට මතක ඇති. ඔය ආණ්ඩු විරෝධී ව්‍යාපාරයේ තේමාව වුණේ ‘කොළඹට කිරි ගමට කැකිරි’ කියන එකයි. ආණ්ඩුව කොළඹ ඉස්කෝලවලට කිරි හැන්දෙන් බෙදලා ගමේ ඉස්කෝලවලට කුඩම්මාගේ සැලකිලි දක්වනවය කියලයි ඒ අය කිව්වේ. හැබැයි ඕන් අපි නම් කොළඹ ගමේ කියලා නෑ කාටත් සලකන්නේ කිරි හැන්දෙන්. කොළඹ හිටියත් ගමේ හිටියත් ඕන කෙනෙක්ට කිරිවලින් කරගන්න පුළුවන් කිරි සත්කාර ටිකක් කියන්න හිතුවේ ඒකයි. කොළඹ ද ගමේ ද කියලා නෑ ඕනම කෙනෙක් කිරිටොයියා වාගේ ලස්සනට ඉන්නවා දකින එකයි අපේ ආසාව.

ලෝකේ ලස්සනම ලලනාව විදියට නම් දරාපු ක්ලියෝපැට්‍රා දිනපතාම එළකිරිවලින් ස්නානය කළාය කියලා අහලා ඇතිනේ. ඒ උත්තමාවිය විතරක් නෙමේ එක්දාස් පන්සිය ගණන්වල එංගලන්තේ රජකම් කරාපු පළමුවැනි එළිසබෙත් රැජිනියත් හම ලස්සන කරගන්න කිරිවලින් නෑවලු. ඇගේ නාන තටාකෙට කිරි සපයන්නම කියලා වෙනම නල මාර්ගයක් පවා  තිබුණලු. රැජිනියෝ පවා ලස්සන වෙන්න පාවිච්චි කරාපු කිරිවල ඇත්තටම මොනවද තියෙන්නේ කියන එක මුලින්ම ඩිංගක් කතා කරලා බලමුකෝ. එළකිරිවල තියෙනවා ඇල්ෆා හයිඩ්‍රොක්සි ඇසිඩ් (AHA) කියලා සංඝටකයක්. ඔය ලොකු ලොකු ගණන්වලට විකිණෙන සමහර බියුටි ආලේපනවල මේ කියන ජාතිය තියෙනවා.

කොලැජන් උත්තේජනය කරලා සම වයසට යන එක පහු කරන්න මේවට පුළුවන්. ස​මේ තියෙන සියුම් සිදුරු (Open pores) අවම කරන්නත් AHA යොදාගන්නවා. ඊට අමතරව කිරිවල තියෙන ලැක්ටික් අම්ලයට පුළුවන් සම තෙතමනය කරන්න. ඉර අව්වට පිච්චිලා එන සන්බර්න් නැති කරන්න කිරිවල තියෙන ප්‍රෝටීනවලට පුළුවන්. ඔය කියාපු ජාතිවලට අමතරව විටමින් D, B6, B12 වාගේ සංඝටකවලින් සමේ තෙල් ගතිය පාලනේ කරනවා. ඉතින් කුරුලෑ තියෙන අයටත් කිරි ගහට ඇන්නා වගේ හරියන බේතක් තමයි කිරි.

මසුරන් වටින මේ සත්කාර තියෙද්දිත් කිරි කලේට ගොම දැම්මා වගේ බ්ලීචිං ගාන උදවිය ඉන්නවනේ. බ්ලීචිංවලින් හානිවෙච්චි සම යථා තත්ත්වයට පත් කරගන්නත් ඕන් ගාන එකයි ඇත්තේ එළකිරි. හැබැයි මේ වැ​ඩේට පිටිකිරි නැතිව නැවුම් එළකිරිම යොදාගන්න කියන එකත් මතක් කරන්න ඕනේ.

කුරුලෑ තියෙන බවලතියක් නම් උකු කිරි ටිකක් අරන් කුරුලෑව මත ආලේප කරලා විනාඩි 20ක් විතර තියලා සීතල වතුරෙන් සෝදලා අරින්න. 

සම පිරිසිදු කරගන්න අවශ්‍ය වෙලාවට සීතල කරපු නැවුම් එළකිරි ටිකක් අරගෙන පුළුන් කෑල්ලකින් පොඟවලා මූණේ ගාන්න.

කිරිවලින් සම කිරි පාට කරගන්න ඕන නම් එළකිරි ටිකකට කඩල පිටි, කස්තුරි කහ සහ ඕට්ස් කුඩු ටිකක් මිශ්‍ර කරලා පැක් එකක් විදියට මූණේ ආලේප කරන්න. විනාඩි 20ක් තියලා සෝදලා අරින්න.

මුංඇට පිටිවලට කිරි එක්කාසු කරලා තලපයක් වාගේ මූණේ ආලේප කරන්න. විනාඩි 20 කින් සෝදලා අරින්න. ලප කැළැල් මකාගන්න මේ සත්කාරය අපූරුයි.

අර්තාපල් අලයක් අරගෙන ඒක එළකිරෙන් තම්බලා හොඳට පොඩි කරන්න. මේකට කස්තුරි කහ එකතු කරලා සමේ ආලේප කරන්න.

නැවුම් කිරිවලට දෙහි යුෂයි, මී පැණි මුහු කරලා දවසක් ඇර දවසක් ගාලා බලන්න. මූණේ තියෙන වියළි ගතියට කියාපු සත්කාරයක්. සමේ තෙතමනය වැඩි කරගන්නත් හොඳයි පිපිඥ්ඥා යුෂට කිරි එක්කාහු කරලා ගාන එක. 

යෝගට් එකකට නැවුම් කිරියි, පරිප්පු පිටියි, කෝමාරිකා යුෂයි එකතු කරලා ගාන්න. අව්වේ ගිහින් ආපු වෙලාවක එළකිරිවලට කෝමාරිකා යුෂ එකතු කරලා මූණේ ආලේප කරන්න. මේ කියාපු සත්කාර ටික හරි විදියට කරලා බලන්න කිරි ගහට ඇන්නා වගේ ප්‍රතිඵල නියතයි.

සෙව්වන්දි හෙට්ටිආරච්චි