නවතම ප්‍රවෘත්ති

‘විහාරා ටීචර්’ගේ චරිතයට මං හරිම ආදරෙයි

අද ධරණී ඇතුල් පිටු පෙරළීමට පෙර කවරය සොඳුරු කරන රුවැත්තිය ළඟ ඔබේ නෙත් නතර වූ බව නම් නිසැකයි.

‘2019 දෙරණ අවුරුදු කුමරිය ලෙස අභිසෙස් ලබමින් රංගන ක්ෂේත්‍රයට පිවිසි මේ සුන්දර තරුණ රංගන ශිල්පිනිය දමිත්‍රී සුබසිංහය. මේ ඇය ධරණීඅපත් සමඟ සිදුකළ සොඳුරු කතාබහක සටහනය.

දමිත්‍රී, ඔබ ඔබව හඳුන්වලා දෙන්න කැමති මොන විදිහටද?

ජීවිතේ සරලව, සුන්දරව දකින කලාකාරිනියක් විදිහට මම මාව හඳුන්වලා දෙන්න කැමතියි.

 

පවුලේ තොරතුරු ටිකක් වගේම දමිත්‍රීට පවුලෙන් ලැබෙන සහය ගැනත් දැනගන්න කැමතියි?

මම තමයි පවුලේ එකම ළමයා. ඉතින් අම්මගෙනුයි, තාත්තගෙනුයි මට ලොකු සහයක් ලැබෙනවා. විශේෂයෙන්ම අම්මා ගැන මතක් කරන්න ඕනේ. මම මොන දේ කරන්න ගියත් මටත් වඩා උනන්දුවෙන් අම්මා ඒ හැමදේම හොයලා බලනවා. ඇත්තටම ඇය මට ලොකු ශක්තියක්.

 

අධ්‍යාපන පසුබිම ගැනත් ටිකක් කතා කරමු?

මම පාසල් ගියේ කොළඹ ශාන්ත පාවුළු විද්‍යාලයට. උසස් පෙළින් පස්සේ උසස් අධ්‍යාපනය හදාරන්න BMS පෞද්ගලික විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා. ඉතින් දැනට මම වාණිජ අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරනවා.

 

දමිත්‍රී රංගන ක්ෂේත්‍රයට එන්න හීන දැකපු කෙනෙක්ද?

අනේ නැහැ, මම රංගන ක්ෂේත්‍රයට එන්න හීන දැකපු කෙනෙක් නම් නෙවෙයි. ඇත්තටම මම රංගන ක්ෂේත්‍රයට යොමු වුණේ අහම්බයකින් කිව්වොත් හරි.

 

ඔබ රංගනයට පිවිසෙන්නෙ 2019 දෙරණ අවුරුදු කුමරිය හරහායි. ඒ ලැබුණු අවස්ථාව දමිත්‍රිගේ ජීවිතේට බලපෑවේ කොහොමද ඇහුවොත්?

ඔව්. 2019 දෙරණ අවුරුදු කුමරිය තරගයේ ප්‍රථම ස්ථානය දිනාගන්න මට පුළුවන් වුණා. එතනින් පස්සේ දෙරණ නාළිකාවේ විකාශය වුණු ‘නොනිමි’ ටෙලි චිත්‍රපටියේ රඟපාන්න මට අවස්ථාවක් ලැබුණා. ඊටපස්සේ ‘පාවෙලා වළාකුලේ ඒවිදෝ අම්මා’, ‘ඉස්කෝලේ’ වගේ ජනප්‍රිය ටෙලි සිත්තම්වලට සම්බන්ධ වෙන්නත් මට අවස්ථාව ලැබුණා.

 

රඟපානවා මුලින්ම ටීවී එකේ දකිද්දි කොහොමද දැනුණේ?

මම මාව මුලින්ම ටීවී එකෙන් දැක්කේ ‘දෙරණ අවුරුදු කුමරිය’ තරඟ විකාශයේදියි. ඉතින් එදා මට කියාගන්න බැරි සතුටක් දැනුණා. එදා දැනුණු ඒ සතුට ඒ විදිහටම මගේ මුල්ම රංගනය බලද්දිත් මට දැනුණා.

 

මෙතෙක් කල් රඟපෑව චරිතවලින් දමිත්‍රී කැමතිම චරිතය මොකක්ද?

මේ දවස්වල විකාශය වෙන ‘ඉස්කෝලේ’ ටෙලි නාට්‍යයේ ‘විහාරා ටීචර්’ගේ චරිතය ඇත්තටම මගේ සැබෑ චරිතයටත් සමීපයි. ඒ නිසා ‘විහාරා ටීචර්’ගේ චරිතයට මම හරිම ආදරෙයි.

 

දමිත්‍රීට ලැබෙන රසික ප්‍රතිචාර එහෙම කොහොමද?

ගොඩක් රසික ප්‍රතිචාර ලැබෙනවා. ඇත්තම කිව්වොත් පාරේ යද්දිත් මට ගොඩක් අය විහාරා ටීචර් කියලා කතා කරනවා. කලාකරුවෙක් තෘප්තිමත් වෙන්නේ රසිකයන්ගෙන් ලැබෙන ආදරය නිසානේ. කලා ක්ෂේත්‍රයට ඇවිල්ලා මේ තරම් ආදරයක් ලබන්න පුළුවන් වුණ එකත් මගේ වාසනාවක්.

 

යහපත් ප්‍රතිචාර වගේම අයහපත් ප්‍රතිචාරත් අනිවාර්යෙන්ම ලැබෙනවා ඇතිනේ. දමිත්‍රී එහෙම දේවල්වලට දුක්වෙන කෙනෙක්ද?

මෙහෙමයි, මගේ රංගනයට කැමති වගේම අකැමති පිරිසකුත් ඉන්නවනේ. ඉතින් ඒ නිසා මාව මගේ රංගනය විවේචනය කරන්න ඔවුන්ට පුළුවන්. ඒ විවේචන ඇතුළේ වුණත් මට ගන්න පුළුවන් හොඳ දෙයක් තියෙනවා නම් මම ඒක ගන්නවා. ඒ ඇරෙන්න ඒ දේවල් ගැන හිතලා දුක් වෙන්නෙ නම් නැහැ.

 

දමිත්‍රී ලස්සන නර්තන කවර්ස් එහෙමත් කරනවා අපි දකිනවා. ඒ අදහස ඇති වුණේ කොහොමද?

මම නර්තනය හදාරන්න ඉගෙනගත්තේ හය වසරෙදි. ඇත්තටම නර්තනය කියන්නෙ මගේ ජීවිතේම කොටසක් කිව්වොත් හරි. නර්තනය ඉගෙනගෙනත් තියෙන නිසා යූටියුබ් චැනල් එකක් හදලා කවර්ස් ටිකක් දාන එක හොඳයි කියලා හිතුණා. මේ වෙනකොටත් මම කවර්ස් කිහිපයක්ම කළා. ඉතින් ඒවටත් ඉතාම හොඳ ආදරණීය ප්‍රතිචාර ලැබෙනවා.

 

ජීවිතේ අමතක නොවන සිදුවීමක් ගැනත් අපිට කියන්නකෝ?

ඒ තමයි ‘දෙරණ අවුරුදු කුමරිය’ මමයි කියලා මට ඇහුණු මොහොත. ඒක නම් මට කවමදාකවත් අමතක වෙන එකක් නැහැ.

 

ඔබ හිතන විදිහට ගෑනු ළමයෙක්ට තියෙන්නම ඕන හොඳ ගතිගුණ මොනවද?

ගෑනු ළමයෙක්ට තියෙන්නම ඕන ගතිගුණය තමයි ස්වයං විනය. ස්වයං විනයක් තියෙනවා නම් ඕනම ක්ෂේත්‍රයක දුර ගමනක් යන්න ගෑනු ළමයෙක්ට පුළුවන්.

 

දමිත්‍රී තමන්ටම දාගත්ත සීමා තියෙනවද?

ඔව්. යම් නිර්මාණයකට ආරාධනා ලැබුණම මම මුලින්ම බලන්නේ තිර පිටපත. ඊටපස්සේ නිර්මාණයට අඳින්න වෙන ඇඳුම් මොන වගේද කියන එක. මම රංගන ක්ෂේත්‍රයට පය තිබ්බෙම ස්වයං වාරණ කිහිපයක් දාගෙන. ඉතින් මොන හේතුවක් නිසාවත් මම ඒ රාමුවෙන් පිට යන්නේ නම් නැහැ.

 

ගෑනු ළමයෙක්ට එහෙම සීමා තියෙන්නම ඕනෙද?

මෙහෙමනේ. පිරිමි ළමයෙක්ට සාපේක්ෂව ගෑනු ළමයෙක්ගේ චරිතයට කැළලක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඉතින් ගෑනු ළමයෙක් තමන්ගේ ජීවිතේට යම් යම් සීමා, ප්‍රතිපත්ති පනව ගන්නවා නම් ඒ වගේ දේවල් වෙන එකක් නැහැ කියලා මම පෞද්ගලිකව හිතනවා.

 

දමිත්‍රී පෙම්වතියක් නේද? ඔහු ගැනත් විස්තර ටිකක් කියමු?

ඔව්. ඔහු කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නම් නෙමෙයි. ඔහු බැංකු ක්ෂේත්‍රයේ කෙනෙක්. තව අවුරුදු දෙකකින් අපි විවාහ වෙනවා.

 

අවසාන වශයෙන් දමිත්‍රීගේ අනාගත බලාපොරොත්තු මොනවද කියලත් කියමු?

මම වසර කිහිපයක්ම බැංකු ක්ෂේත්‍රයේ රැකියාව කළා. ඉතින් කලා ක්ෂේත්‍රයෙන් වගේම වාණිජ අංශයෙනුත් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පොඩි පොඩි සැලසුම්, හීන එහෙමත් නැතුවම නෙමෙයි. ඒත් හැමදාම සතුටින් ජීවත්වෙන එක තමයි ජීවිතේ ලොකුම බලාපොරොත්තුව.

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප ප්‍රදීප් දඹරගේ