සුව දිවිය

ඩෙංගු කොවිඩුයි දැන් කිරියි පැණියි වගේලු

ඩෙංගු, අපිට කොතරම් හුරුපුරුදු පරණ මාතෘකාවක් වුණත් ඒ ගැන යළිත් කතා කරන්නට සිතුවේ ඩෙංගු යළිත් හිස ඔසවා ඇති නිසාය. එසේම මේ වනවිට හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සමහරක්, කොවිඩ් රෝගීන්ගේ රෝග ලක්ෂණ පෙන්වන බවද වාර්තා වී ඇත. කෙසේනමුත් මේ දෙකම මාරාන්තික වෛරස නිසා ඩෙංගු සහ කොවිඩ් රෝගීන්ව වෙන් වෙන්ව හඳුනාගැනීමට නොහැකි තත්ත්වයක් මතු වුවහොත් තත්ත්වය භයානක විය හැකිය.

ඒ පිළිබඳව කායික රෝග විශේෂඥ ආනන්ද විජේවික්‍රම මහතා සමඟින් කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සකසා ඇත.

සාමාන්‍යයෙන් අපේ රටේ ඩෙංගු රෝගය වැඩිපුරම වාර්තා වෙන්නෙ නිරිතදිග මෝසම් සුළයි වැස්සයි එක්ක. මේ වෙනකොට නිරිතදිග මෝසම ආරම්භ වෙලා නිසා පහුගිය සති දෙක තුනේම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් තියෙනවා. මේ තත්ත්වය තවත් බරපතළ වෙලා තියෙන්නේ අපේ රටේ ක්‍රියාකාරීත්වයේ වැරදි නිසා. මොකද කොයිතරම් මදුරුවන් බෝවීම වළක්වන ක්‍රම ගැන කිව්වත් ඒ ගැන අවධානයක් නෑ. ඊළට තමන්ගෙ කුණු ටික පාරට ගිහින් දැම්මම එතැන මදුරුවෝ බෝවෙනවා. මදුරුවා කියන සතාට පියාඹන්න පුළුවන් කියන එකත් දැන් දැන් අපේ මිනිස්සුට අමතකයි. මං වෛද්‍යවරයෙක් විදිහට මෙහෙම කියන්නේ ද්වේශසහගතව නෙවෙයි. මොකද අපි එහෙම කරාම ඒකෙන් කොහෙවත් ඉන්න අසරණ ජීවිතයකට වන්දි ගෙවන්න සිද්ධ වෙන්න පුළුවන්.

කතාව අතරතුර ඔහු ඩෙංගු රෝගියෙකු පිළිබඳ කණගාටුදායක අත්දැකීමක්ද සිහි කළේය.

දවසක් තදබල විදියටම උණ හැදුන අවුරුදු දාහතරක විතර පිරිමි දරුවෙක් ප්‍රතිකාරවලට ගෙනාවා. පස්සෙ මම මේ දරුවගේ වාර්තා සියල්ල බැලුවම තේරුම් ගියා දරුවට දරුණුවටම ඩෙංගු කියලා. පස්සෙ මේ දරුවට ඩෙංගු මාරාන්තික වෙලා වෛද්‍යවරු දරුවගේ ජීවිතේ බේරගත්තෙ පුදුම සටනක් කරලා. ඉතින් ඊටපස්සෙ අර දෙමව්පියෝ මගේ ළ වැවැටිලා කියනවා, අනේ දොස්තර මහත්තයෝ අපේ වත්ත පිටියේ වතුර ටිකක් පිරෙන්න කොස් කොළයක්වත් නෑ, අපි බොහෝම පිරිසිදුවට ඉන්නෙ කියලා. පස්සෙ ඉතින් මං අර කලින් කිව්වා වගේම ඒ උදවියටත් මතක් කරලා දුන්නා මදුරුවා කියන්නෙ පියාඹන සතෙක් බව. ඊටපස්සෙ ඒ අය කියන්න ගත්තා, අනේ මහත්තයෝ අපේ ගෙදරට අල්ලපු ගෙදර උදවිය ඉන්නෙ රට නිසා ඒ වත්ත නම් මදුරුවො නෙවෙයි අලි කොටි වලස්සුත් ඉන්න එකක්ය කියලා. බැලුවම කතාව ඇත්ත. මට දැනගන්න ලැබුණු  විදිහට පස්සේ මේ උදවියයි, අහල පහල උදවියයි එකතු වෙලා අර ගෙදර මිනිස්සුන්ට විරුද්ධව නඩු මගට පවා යන්න කටයුතු කරලා තිබුණා. ඉතින් බලන්නකෝ අපේ නොසැලිකිල්ල නිසා ඒ විදිහට අසරණ ජීවිතයක් නැති වුණොත් අපිට නිදහසේ හුස්ම ගන්න අයිතියක් තියෙනවද? මම මේ කතාව කිව්වෙ අල්ලපු ගෙදර මනුස්සයා අපිරිසිදු නම් වැඩක් නෑනෙ කියලා තව කෙනෙකුට බෝලේ පාස් කරලා නිකන් ඉන්න නෙවෙයි. මේක අපි කාගේත් වගකීමක් කියලා ඒත්තු ගන්වන්න.

මේ දිනවල ඩෙංගු සමඟින් කොවිඩ් සහ ඉන්ෆ්ලුවෙන්සා වෛරසයත් පැතිරෙන නිසා යම් අයෙකුට උණ තිබෙනවා නම් බොහෝදුරට මෙම වෛරස තුනෙන් එකක් විය හැකි බවයි වෛද්‍යවරයා කියන්නේ. එමෙන්ම ඩෙංගු රෝගයේදී තද උණ ගතිය, හිසේ කැක්කුම, ඇඟපතේ වේදනාව, කොන්දේ අමාරුව, වමනය, පාචනය, උගුරේ වේදනාව, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණද පෙන්නුම් කළ හැකිය.

එම නිසාම යම් කෙනෙකුට පැය 48ක් යනතුරුත් පහව නොගිය උණක් තිබේ නම් රජයේ රෝහලකට ගොස්  සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් (FBC-Full Blood count)) නැමැති රුධිර පරීක්ෂණක් කරගතයුතුය.

වගේම ගොඩක් අයට ඩෙංගු සහ ඩෙංගු රක්තපාත කියන්නෙ මොකද්ද කියලා දැනීමක් නෑ. කෙනෙකුට ඩෙංගු අවදානම්ම තැනට ආවට පස්සෙ තමයි ඩෙංගු රක්තපාතයට එන්නේ. එතැනදි උණ සහ අනෙකුත් රෝග ලක්ෂණ සාමාන්‍ය ඩෙංගු රෝගයට සමාන නිසා රක්තපාත රෝගීන් මුල් අවදියේදි වෙන්කරලා හුනගන්න තරමක් අපහසුයි. ඩෙංගු රක්තපාතයේදී උණ බැසයාමත් එක්ක රුධිර වාහිනීවලින් පිටතට (පෙනහළු සහ උදර කුහරයට) ප්ලාස්මා තරලය කාන්දුවීමක් වෙන්න පුළුවන්. මේ තත්ත්වය සිද්ධ වෙන්න ඉඩකඩ වැඩි උණ හැදිලා තුන්වන සහ ඊට පසු දිනවලදී. අන්න ඒ නිසා පැය 48ක් යද්දිම සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් කරගත්තොත් මේ තත්ත්වයත් කල්තියාම හුනගන්න හැකියාවක් තියෙනවා.

එමෙන්ම ඩෙංගු රෝගීන් ඖෂධ ලබා ගැනීමේදී ලබාගන්නා  ඖෂධ ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බව වෛද්‍යවරයා අවධාරණය කළේය. උණ සහ ඇඟපත වේදනාව සඳහා නියමිත මාත්‍රාවට පැරසිටමෝල් ඇරෙන්නට වෙනත් කිසිඳු ඖෂධයක් නොගත යුතු අතර ස්ටීරොයිඩ් කාණ්ඩයට අයත් ප්‍රෙඩ්නිසිලෝන් (Prednisolone) වැනි ඖෂධ පාවිච්චි නොකළ යුතුය. එමෙන්ම ඖෂධ ලබාගැනීමේදී වෛද්‍ය උපදෙස් පිළිපැදීම වැදගත්ය. එමෙන්ම ගර්භණී මව්වරුන්, අවුරුදු 1ට අඩු දරුවන්, අධිබර සහිත රෝගීන්, වැඩිහිටි පුද්ගලයින් සහ නිදන්ගත රෝගීන් අවදානම් ලක්ෂණ නොතිබුණද වෛද්‍යවරයෙකු කරා යාම නුවණට හුරුය.

දැන් මේ අලුත් රැල්ලක් ඇවිල්ලා ඩෙංගුවලට ඇපල් ජූස් හොයි කියලා. ඇත්තටම එහෙම දෙයක් නෑ. උණ සහ වමනය නිසා ඇතිවෙන විජලනය මගහරවා ගන්න නිතරම දියර වර්ග බොන්න ඕන. (තැඹිලි, කැ, කිරි, ජීවනී, නැවුම් පලතුරු යුෂ) ඒ වගේම වමනය නිසා බර ආහාර නොගෙන සැහැල්ලු ආහාර විතරක් ගන්න එක වඩා හොයි.

ඒවගේම වෙහෙසකර කටයුතුවලින් ඈත්වෙලා ඉතාමත් හොින් ශාරීරිකව ව්වේක ගැනීමත් අත්‍යවශ්‍යම දෙයක්.

එමෙන්ම ඩෙංගු රෝගියෙකුට දෂ්ඨ කරන මදුරුවන් නිසා රෝගය බෝවීමට ඇති ඉඩකඩ වැඩිය. එමනිසා ඩෙංගු රෝගීන් මදුරුවන්ගේ දෂ්ඨ කිරීම්වලින් ආරක්ෂා වීම අනෙක් අයගේ ආරක්ෂාවට හොඳය. එමෙන්ම ඩෙංගු මදුරුවා හිරු පායා පැය කිහිපයක් යනතුරුද, සවසට හිරු බැසීමට පැය කිහිපයක් පෙරද, දෂ්ඨ කිරීම ඉඩකඩ ඇති බැවින් ඒ ගැන සැලකිලිමත් වන ලෙසයි වෛද්‍යවරයා කියා සිටියේ.

අවසාන වශයෙන් මෙන්න මේ ටික කියන්නම ඕන. අපි තනි තනියම අපේ වගකීම් ටික ඉෂ්ඨ කරමු. අපේ ගෙවතුවල මදුරුවො රැඳෙන තැන් ටික විනාශ කරමු. එතකොට ඉබේටම මුළු රටම පිරිසිදු වෙලා වගේම ආරක්ෂා වෙලා. අපි එකිනෙකාට චෝදනා කරගනිමින් ඉන්නකොට ඩෙංගු මාරයා ඉස්සර වෙලා ඉවරයි. ඒක නිසා ඒක අපේ සාමූහික වගකීමක් කියලා හිතට අරගෙන වැඩකටයුතු කරන්න ඕන.

ලිහිණි මධුෂිකා