විශේෂාංග

වයසට නොයන හඬ පෞරුෂයන්ට කිරුළු පැලැන්දූ Derana 60 Plus

පඳුරකට පයින් ගැසුවත් රියැලිටි තරු දුසිම් ගණනින් විසිවෙන තරමට දැන් රියැලිටි තරඟ ඕනෑතරම්ය. ඒ සියලු රියැලිටි තරු තරුණ, නව යොවුන් වියේ පසුවන්නන් බව තරඟ නරඹන්නන්ට හොඳින් පැහැදිලිය. රියැලිටි තරුවක් වන්නට හැක්කේ තරුණයන්ට, නව යෞවනයන්ට පමණක්ද? යන පැනයට වඩා සාධාරණ පිළිතුරක් ටීවී දෙරණ නාලිකාව අපට ලබා දුන්නේ මීට වසර පහකට පමණ පෙරදීය. ඒ දෙරණ සික්ස්ටි ප්ලස් නමින් මෙරට ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් රියැලිටි තරඟයක් අරඹමිනි. 

පැහැදිලිව කිවහොත් වයස අවුරුදු හැට ඉක්මවූ ඕනෑම පුරවැසියෙකුට තරඟය සඳහා සහභාගී වීමේ වරප්‍රසාදය ටීවී දෙරණ විසින් ශ්‍රී ලාංකිකයන්ට ප්‍රථම වතාවට හිමිකර දෙනු ලැබිණි. එතැන් පටන් ලංකාව තුළ අවුරුදු විස්සේ තිහේ සුපර් ස්ටාර්ලා විතරක් නොව ජ්‍යේෂ්ඨ පුරවැසියන් අතුරින් අවුරුදු හැට හැත්තෑවේ සුපර් ස්ටාර්ලාද බිහිවීමට පටන්ගැනිණි.

අතිසාර්ථක ලෙස අදියර හතරක් පවත්වා අවසන් කළ දෙරණ සික්ස්ටි ප්ලස් රියලිටි තරඟාවලියේ පස්වන අදියරෙහි අවසන් මහා තරඟය පසුගිය 31 වනදා රාත්‍රියේ ජනප්‍රිය ගායක ගායිකාවන්, නළු නිළියන් සහ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පවත්වා නිම කරන්නට ටීවී දෙරණට හැකි විය.  

තරඟකරුවන් විශාල පිරිසක් අතුරින් අවසන් තරඟකරුවන් දසදෙනා අතරට L.V.ජයරත්න, J.P.කුමාරිහාමි, T.ධර්මසේන සිල්වා, නන්දන සෙනෙවිරත්න, සමන්මලී ගීකියනගේ, පද්මා රංජනී, R. ජගත් ජයසූරිය, සුනිමල් පීරිස්, රංජිත් රත්නායක, ධනවර්ධන ගාල්ලගේ යන මහත්ම මහත්මීන් තේරී පත්විය. 

සික්ස්ටි ප්ලස් අවසන් මහා තරඟ රාත්‍රියේදී අවසන් තරඟකරුවන් තිදෙනෙකු දක්ෂතම කිරුළ දිනාගැනීමට තරඟ වැදුණු අතර අවසන් තරඟකරුවන් දසදෙනා අතරින් ජනප්‍රියතම කිරුළ තේරීමද සිදු කෙරිණි. මෙහිදී දක්ෂතම තරඟකරුවන් තේරීපත් කිරීම සඳහා එඩ්වඩ් ජයකොඩි මහතා, ළහිරු පෙරේරා මහතා සහ සෙව්වන්දි රත්නායක මහත්මිය විනිසුරු මඬුල්ල වශයෙන් දායකත්වය සැපයූහ . 

දෙරණ සික්ස්ටි ප්ලස් සීසන් 5 අවසන් මහා තරඟයේ උත්කර්ෂවත් මොහොතේදි දක්ෂතම තරඟකරුවාට හිමි කිරුළ දිනාගත්තේ රංජිත් රත්නායක මහතාය. එහි දෙවන ස්ථානය සුනිමල් පීරිස් මහතා දිනාගත් අතර තෙවන ස්ථානය හිමි කරගත්තේ ධනවර්ධන ගාල්ලගේ මහතාය. අවසන් තරඟකරුවන් දසදෙනා අතරින් සුවහසක් ප්‍රේක්ෂක ජනතාවකගේ හදවත් දිනාගනිමින් ජනප්‍රියතම ගායන කිරුළ දිනාගනු ලැබුවේ සමන්මලි ගීකියනගේ මහත්මිය විසිනි. 

දක්ෂතම ගායන කිරුළ දිනාගත් රංජිත් රත්නායක මහතා ‘ධරණී’ අප සමඟ දැක්වූවේ මෙවන් අදහසකි. 

“තරඟයට මුලින්ම ඉදිරිපත් වෙනකොට මේ තරම් ඉදිරියට යයි කියලා හිතුවේ නැහැ. නමුත් අවසන් දසදෙනා අතරට තේරී පත්වුණාම නම් විශ්වාසයක් ඇති වුණා තරඟයෙන් මම දිනයි කියලා. මම තරඟයට ඉදිරිපත් වුණෙත් හලාවත ප්‍රදේශය නියෝජනය කරමින්. දෙවැන්නා වුණ සුනිමල් පීරිසුත් හලාවතින්ම තමයි තරඟයට ඉදිරිපත් වුණේ. ඉතිං ලොකු සතුටක් තියෙනවා මේ ජයග්‍රහණය ගැන. නෑදෑ හිතමිතුරන්ගෙන් පවා ප්‍රතිචාර බොහොමයක් ලැබෙනවා මේ ජයග්‍රහණය සම්බන්ධයෙන්. දෙරණ නාලිකාවට ස්තූතිවන්ත වෙනවා රටේ ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මෙහෙම වැඩසටහනක් නිර්මාණය කරපු එකට.”

රංජිත් රත්නායක මහතාට මෙන්ම තරඟාවලියේ දෙවන හා තෙවන ස්ථාන හිමිකරගත් මහත්වරුන්ටද, ජනප්‍රිය කිරුළ හිමි කරගත් මහත්මියද ඇතුළු වයසින් වැඩිහිටි වුවත් හඬින් තරුණයන් බව ඔප්පු කළ තරඟාවලියේ අවසන් තරඟකරුවන් දසදෙනාටද, සමස්ත තරඟාවලිය පුරා සහභාගී වුණු හා තරඟ වැදුණු සියලු තරඟකරුවන්ටද ‘ධරණී’ අපගේ උණුසුම් සුබපැතුම් එක්කර සිටිමු.

පවනි වාසනා