නවතම ප්‍රවෘත්ති

හැබෑවුණු හීන ගැන දෙරණ සිහින තරු කී කතා

දහස් සංඛ්‍යාත දක්ෂයින් අතරින් අතිදක්ෂයින් බවට පත්වීම ඒ තරම් පහසු නැත. හැකියාව, වාසනාව මෙන්ම අප්‍රමාණ කැපකිරීම්ද ඒ පිටුපස නිසැකවම තිබිය යුතුය.

මෙවර ‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ තරඟයේ කිරුළ දිනූ සිහින තරුව දුලංග සම්පත්, දෙවැනි ස්ථානය ලබාගත් අංජලී මෙත්සරා සහ තෙවැනි තැන දිනූ රජිත භානුක සමඟ මොහොතක කතාබහක නිතර වීමට සිතුවේ මේ තරුවල ඒ නොදත් කතා ඔබත් සමඟ බෙදාගැනීමට සිතුණු නිසාය.

එමෙන්ම සිහින තරු අතරින් දෙවැනි ස්ථානය දිනූ අංජලී මෙත්සරාගේ සොඳුරු රුවෙන් මෙවර ‘ධරණී’ කවරය සරසන්නටද සිතුවෙමු.

දුලංග සම්පත්

‘‘ඩ්‍රීම් ස්ටාර් වේදිකාව උඩ​ට නැගලා සිංදුවක් කියන්න ඉස්සර ඉඳලම මගේ හිතේ ලොකු ආසාවක් තිබුණා. ඒ නිසා තමයි මම මේ තරඟයට අයදුම් කළේ. හැබැයි තරඟයේ ජයග්‍රාහකයා වෙයි කියලා අයදුම් කරද්දි නම් මම හීනෙකින්වත් හිතුව් නැහැ. ජයග්‍රාහකයා මමයි කියලා කියද්දි මට කියාගන්න බැරිතරමේ සතුටක් දැනුණා. මම හිතන්නේ එදා තමයි මම ජීවිතේ වැඩියෙන්ම සතුටු වුණු දවස. ඒ සතුට තාමත් ඒ විදියටම මට දැනෙනවා.’’

ඒ මෙවර නාවලපිටියෙන් බිහිවූ දෙරණ සිහින තරුව දුලංග සම්පත්ගේ හඬය.

‘‘අවසන් තුන්දෙනා අතරට ආවහම නම් ජයග්‍රහණය කරාවි කියලා හිතේ පුංචි බලාපොරොත්තුවක් තිබුණා. මාත් එක්ක අවසාන තරඟයට තේරුණු අනිත් දෙන්නම බොහොම දක්ෂ තරඟකරුවන්. නිසා ජයග්‍රහණය කරනකල්ම හිතේ පොඩි චකිතයක් තිබුණා.’’

තරඟයක් වුවත් තරඟකරුවන් සියලුදෙනා එක පවුලක් මෙන් එකට සිටි බව ඔහු සිහිපත් කළේ ළෙංගතු හඬකින්ය.

‘‘පුංචි කාලේ ඉඳලා මම සංගීතයට ආදරෙයි. දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් ටූ තරඟයේ අවුරුදු අටෙන් පහල අවසන් දොළොස් දෙනා අතරට එන්නත් මට පුළුවන් වුණා.’’

සංගීත විශාරද දක්වා සංගීතය පිළිබඳව හදාරා ඇති මේ සිහින තරුව මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙකි.

‘‘තරඟයට ඉදිරිපත් වුණු හැමෝටම වගේ මටත් අභියෝග තිබුණා. මට මනාප ලබාදෙන්න එපා කියලා සමාජ මාධ්‍යවල මඩ ප්‍රචාර පවා ගිහිල්ලා තිබුණා. මම නම් ඒ දේවල් හිතට ගත්තේ නැහැ. එහෙම දේවල්වලින් වැටුණා නම් අද මම ජයග්‍රාහකයෙක් නොවෙන්නත් තිබුණා.’’

රියැලිටි තරඟ හරහා දිලෙන බොහෝ තරු දිගු කලක් බබළන්නේ නැත. එහෙත් එකවර පායා නිවී නොයන තරුවක් වීම තමාගේ අරමුණ බව දුලංග අප සමඟ කීවේය.

‘‘තරඟයට එනකොට තිබුණු හැකියාවට වඩා දැන් මගේ හැකියාව වෙනස්. මගේ හැකියාව ඔපමට්ටම් කළේ දෙරණ නාළිකාව. ලංකාවේ සංගීතය ඇතුළේ මතක හිටින කෙනෙක් වෙන්න මම උත්සාහ කරනවා. ඒක තමයි දෙරණ නාළිකාවට මට දෙන්න පුළුවන් උපරිම ගෞරවය.’’

දුලංගගේ මේ ජයග්‍රාහී ගමනට ඔහුගේ මව, පියා සහ සහෝදරයාගෙන් විශාල සහයක් ලැබුණු බව සිහි කිරීමටද ඔහු අමතක නොකළේය.

‘‘වගේම මගේ පුංචි අම්මාව, රණජයපුර සහ නාවලපිටියේ හැමදෙනාවත් මම ආදරෙන් මතක් කරනවා. මේ වෙනකොටත් මට කියාගන්න බැරි තරමේ ප්‍රේක්ෂකයෝ පිරිසක් ඇතිවෙලා ඉවරයි. ඉතින් සමාජ මාධ්‍ය හරහා මෙන්ම දුරකතන හරහාත් විශාල පිරිසක් මට සුබ පතනවා. කාර්යබහුලත්වය නිසා ඒවට පෞද්ගලිකව ස්තූති කරන්න බැරි වුණොත් මාත් එක්ක තරහා වෙන්න එපා කියලා ආදරෙන් ඉල්ලනවා.’’

අංජලී මෙත්සරා

‘‘දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟයට අයැදුම් කරන්න මට ලොකු ආසාවක් තිබුණා. ඒත් අධ්‍යාපන කටයුතු නිසා ඒ වෙනුවෙන් කාලයක් බලාගෙන ඉන්න මට සිද්ධ වුණා. මේ පාර තරඟයටත් මට ඇප්ලිකේෂන් දාන්න බැරි වුණා. ඒත් හිතේ තිබුණු ආසාවටම මම කෝල් එකක් දීලා අවසර අරගෙන නිකමට වගේ ඔඩිෂන් එකට සහභාගී වුණා. ඉතින් අහම්බෙන් පැමිණි ඒ ගමනේදී මේ වගේ ජයග්‍රහණයක් ලැබුණු එකේ සතුට කියාගන්න මට වචන නැහැ.’’

මෙවර ඩ්‍රීම් ස්ටාර් තරඟයේ දෙවන ස්ථානය දිනාගත් 19 වියැති අංජලී මෙත්සරා අපත් සමඟ කතාවට අවතීර්ණ වූයේ එසේය.

‘‘අවසාන තුන්දෙනා අතරට තේරුණාම ඩ්‍රීම් ස්ටාර් කිරුළ අංජලීට ලැබෙයි කියලා හිතුණෙ නැද්ද?’’

‘‘මොකද නැත්තේ? ඩ්‍රීම් ස්ටාර් කිරුළ ලැබෙයි කියලා හිතේ බලාපොරොත්තුවක් තිබුණා. හැබැයි මාත් එක්ක තරඟ කළ දුලංග වගේම රජිතත් සැබෑම දක්ෂයෝ නිසා හිතේ පොඩි චකිතයකුත් නොතිබුණාම නෙමෙයි. තරඟයකට ඉදිරිපත් වෙනවා නම් ජය වගේම පරාජයත් සම සිතින් විඳ දරාගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මට මේ ලැබුණු ජයග්‍රහණය ගැන මම ගොඩක් සතුටුයි.’’

සිහින තරු අහසේ පායන්නට පෙර ලිට්ල් ස්ටාර්හි දස්කම් පෑ ඇය ළමා රංගන ශිල්පිනියක් ලෙසද බොහෝදෙනාට හුරුපුරුදුය.

‘‘පුංචි කාලේ ඉඳලම මම සිංදු කියන්න, රඟපාන්න වගේම චිත්‍ර අඳින්නත් දක්ෂයි. දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 4 එකේ අවසාන අටදෙනා අතරටත් දක්ෂතම තරුව විදියටත් මාව තේරුණා. ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයේ මම රඟපෑ උපුලි කියන අන්ධ ගැහැනු ළමයාගේ චරිතයට ලංකාවේ ගොඩක් දෙනා ආදරේ කළා. ඒ නිසා පුංචි කාලේ ඉඳලම මට හොඳ රසික පිරිසක් හිටියා. හැබැයි කාලෙත් එක්ක ගොඩක් දෙනාට මාව අඳුනගන්න බැරි වුණා. දවසක් ඩ්‍රීම් ස්ටාර් එකේ ගෲප් සෝන්ග් එකක මම සිංදු කියන පුංචි වීඩියෝ කොටසක් සමාජ මාධ්‍යවල හුවමාරු වුණා. එතකොට මාව ගොඩක් අයට ආයෙත් මතක් වුණා. ඉතින් මේ ජයග්‍රහණයට ඒකත් බලපාන්න ඇති කියලා මම හිතනවා.’’

හෝ ගානා පොකුණේ රංගනය වෙනුවෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තර සම්මාන රැසක් ලබාගැනීමට ඈ සමත් වූ අතර 2018 රාජ්‍ය සංගීත උළෙලේ ප්‍රශස්තම ළමා ගායිකාව ලෙසද ඈ සම්මාන ලබා ඇත.

‘‘මම ඉගෙනගත්තේ රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ. ඉතින් අධ්‍යාපන කටයුතුයි තරඟයේ කටයුතුයි හරියට සමබරව කරගෙන යන එක මට ලොකු අභියෝගයක් වුණා. හැබැයි මගේ අම්මයි, තාත්තයි, අක්කයි, නංගියි මට ඒ හැමදේටම ලොකු සහයෝගයක් ලබාදුන්නා. ඒ වගේම දෙරණ නාළිකාවට මගේ හදපිරි ස්තූතිය පුද කරන්න ඕනේ. ඉතින් මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ලංකාවේ සංගීතය ලෝකෙට ගෙනියන වැඩක් කරන එක තමයි මගේ ජීවිතේ ලොකුම හීනය.’’

රජිත භානුක

මීළඟට අපේ කතාබහට එකතු වුණේ ඩ්‍රීම් ස්ටාර් තරඟයේ තෙවැනි ස්ථානය දිනූ රජිත භානුකයි.

‘‘මීට කලිනුත් මම තරු තරඟවලට සහභාගී වෙලා තියෙනවා. ඒත් ඒවයින් මගේ දක්ෂතාවයට තැනක් ලැබුණේ නැහැ. දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟයට අයැදුම් කරන්න කියලා ඔය අතරේ මට ගොඩක්දෙනා කිව්වා. ඒ ඉල්ලීම් එක්ක තමයි මමත් තරඟයට අයැදුම් කළේ. ඉතින් හිතුවා වගේම මෙතැනදී මගේ දක්ෂතාවට තැනක් ලැබුණා. ඒ ගැන ගොඩක් සතුටුයි.’’

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු ප්‍රකට රූපවාහිනී ආයතනයක නිෂ්පාදක විධායකවරයා ලෙස සේවය කරයි.

‘‘වෘත්තිය ඇතුළෙදිත් මම සංගීතමය දේවල්වලට වැඩි අවධානයක් දෙනවා. මම කතෝලික කෙනෙක්. ඉතින් මතක ඇති කාලේ ඉඳලම මම පල්ලියේ කෝරස් කියන්න යනවා. ඒ වගේම මම තව යාළුවෝ කීපදෙනෙක් එක්ක වෙඩින්වල ගීත ගායනා කරන ගෲප් එකක් හදාගෙන තියෙනවා. ගීත ගායන හැකියාව තිබුණට ගීතයක් රහට ඉදිරිපත් කරන්න පුළුවන් හැකියාවක් මට තියෙනවා කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඩ්‍රීම් ස්ටාර් තරඟයෙන් තමයි මමත් මගේ සැබෑම දක්ෂකම් අඳුනගත්තේ. ඒකට මම දෙරණ නාළිකාවට ස්තූතිවන්ත වෙනවා. වගේම මේ වෙනකොට මට සෑහෙන රසික ප්‍රතිචාර ලැබෙනවා. ඒ ආදරයට මමත් ගොඩක් ආදරෙයි.

මගේ මේ ජයග්‍රහණයට උදව් කරපු මගේ අම්මා, තාත්තා, මල්ලි, ආච්චි, සීයා ඇතුළු මගේ පවුලේ ඥාති හිතමිත්‍රාදීන් වගේම ශාන්ත සෙබස්තියන් විදුහලේ විදුහල්පතිතුමා, විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සහ ගරු සංජීව පියතුමාවත් බොහොම ආදරෙන් මතක් කරන්න ඕනේ.’’

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප දේවා ජයවර්ධන