විශේෂාංග

දිනන්න ඔන්න මෙන්න තියෙද්දී අපිට ලයිට් ගිහින් මගේ zoom සබඳතාවය බිඳ වැටුණා

අක්කාගේ දඟය අඩු කිරීමට හඳුන්වා දුන් චෙස් ක්‍රීඩාවෙන් නංගී ලෝකයක් දින්නාය. දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන එම නැගණියයි.  ඇය ‘ඔන්ලයින් ෆිඩේ’ ලෝක යොවුන් චෙස් ශූරතාවලියේ වයස අවුරුදු 10න් පහළ බාලිකා ප්‍රථම ස්ථානය හිමිකර ගත්තාය. රටවල් සියයක් පමණ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඊට සහභාගි වූහ. ලෝක චෙස් සම්මේලනය සහ ජෝර්ජියා චෙස් සංගමය එය සංවිධාන කළේය. තරඟාවලිය සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ ජෝර්ජියාවේදීයි. එහෙත් කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර එය මාර්ගගත ක්‍රමය යටතේ පැවැත්විණ. අවසාන වටයේදී ඔෂිනි හමුවේ පරාජයට පත්වූයේ ඇමරිකාවේ මේගන් ඇල්තියා යි.

චන්දිමා රත්නායක සහ උපේන්ද්‍ර ගුණවර්ධන යුවළගේ දෙවන දරුවා ලෙස දේවින්ද්‍යා ඔෂිනි උපත ලබන්නේ 2012 පෙබරවාරි පළමුවනදාය. කුඩා කාලයේ සිටම ඇය ඉතා තැන්පත්ය. ඔෂිනිගේ ප්‍රධානතම විනෝදාංශය වූයේ චිත්‍ර ඇඳීමයි. කෙළි සෙල්ලමට ඇගේ එතරම් උනන්දුවක් නොවීය.  කෙතරම් කලබලකාරී පරිසරයකදී වුවද වගේ වගක් නැතිව ඇය චිත්‍ර ඇන්දාය.

ඔෂිනිගේ වැඩිමහල් සොයුරිය, පැහැසරණි අරුණෝද්‍යා ඊට හාත්පසින්ම වෙනස්ය. ඇගේ දඟකාරකම් නිමක් නැත. එනිසා ඇය චෙස් ක්‍රීඩාවට යොමු කිරීමට දෙමාපියෝ තීරණය කළහ. චෙස් ගුරුවරයකු නිවසට ගෙන්වා ගැනීමට පියවර ගැනෙන්නේ ඒ අනුවයි. ඒ වනවිට නැගණියට වයස අවුරුදු හතරකි. අවසානයේ ගුරුවරයා අක්කාට උගන්වන දෑ දොරට මුවා වී උකහා ගැනීමට නැගණිය දක්ෂ වූවාය. ඒ අතර නොදන්නා දේ සම්බන්ධයෙන් ඇය මවගෙන් උපදෙස් පැතුවාය. ඒ අනුව පාසලට ඇතුළු වීමට පෙරම චෙස් ක්‍රීඩාවේ මූලිකාංග ඉගෙනීමට ඔෂිනිට හැකියාව ලැබිණ.

පළමු ශ්‍රේණිය වෙනුවෙන් ඇය ඇතුළත් වූයේ රත්නපුර ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලයටයි. එම විද්‍යාලයේ පළමු වසරේ සිටම චෙස් ඉගැන්වීම සිදුකරයි. සෙනසුරාදා දිනය ඒ වෙනුවෙන්ම වෙන්කර ඇත. වාසනාවකට මෙන් පාසලේ චෙස් ගුරුවරයා වූ ජගත් කෙතලවල ඔෂිනිගේ දක්ෂතා හඳුනාගත්තේය. පළමු ශ්‍රේණියේ අවසන් වාරයේ සිට ඇගේ දක්ෂතා මතුවුවද ඊට පසු වසර යහපත් වූයේ නැත. ඒ පාස්කු ප්‍රහාරය හේතුවෙන් පුහුණුවීම් නවතා දැමීමට සිදුවූ බැවිනි. අපේක්ෂිත අරමුණ ඉටු වී තිබූ බැවින් ඒ වනවිට වැඩිමහල් දියණිය වෙනුවෙන් පැවති පෞද්ගලික චෙස් පන්තියද නවතා තිබුණේය.

නමුත් දෙයක් ආරම්භ කළහොත් එය අත්නොහරින ගුණයක් කුඩා ඔෂිනි සතුවිය. ඇය නිවසේදී සහෝදරිය සමඟ දිගටම පුහුණුවීම් කළාය. නැගණිය හමුවේ එකදිගට පරාජය වනවිට අක්කා ටිකෙන් ටික පසෙකට වෙද්දී කුඩා දියණියගෙන් මවට ගැලවීමක් නොවීය. ඒ නිසා ඇය සමඟ ක්‍රීඩා කිරීමට චෙස් ක්‍රීඩාවේ වැඩි යමක් නොදැන සිටි මවටද එය හැදෑරීමට සිදුවිය. ඇය දියණිය සමඟ ගොස් ඊට අදාළ පොත පත පවා මිලදී ගත්තාය. එහෙත් පුංචි හපනිය හමුවේ ඈ සැමවිටම පරාජය වූවාය. දිනීමට බොහෝ මනාප ඔෂිනි ඉන් ලැබූයේ ඉමහත් තෘප්තියකි.

දෙවන ශ්‍රේණියේ දෙවන වාරය අවසන් වනවිටම ඔෂිනි චෙස් තරඟ සඳහාද සහභාගි වූවාය. පවුලේ හිතවතෙකු වූ රසික සමරනායකගෙන් පුහුණුවීම් සඳහා ඔෂිනිට සහාය හිමිවිය. ඔෂිනි ප්‍රථමයෙන් සහභාගි වූයේ පාසල් චෙස් සංගමය සංවිධානය කළ තරඟවලටයි. රත්නපුර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය දිනීමට ඇය ආරම්භයේදී සමත් වූවාය. සමස්ත ලංකා මට්ටමින් හිමිවූයේ දසවන ස්ථානයයි.  අනතුරුව පැවති තරඟාවලි කිහිපයකදීම ඇය විවිධ ජයග්‍රහණ ලැබුවාය. ජාතික යොවුන් චෙස් තරඟාවලියේ සමස්ත ලංකා ශූරතාවක් දිනීමට ඔෂිනි සමත් වන්නේ ඊට පසුවයි. චෙස් ක්‍රීඩාවට දක්වන දක්ෂතාව මත ඔෂිනිට තවත් සහාය ලබාදිය යුතු බවට දෙමාපියන් තීරණය කළේ ඒ අනුවය. දක්ෂ චෙස් පුහුණුකරුවකු වන අකිල කාවින්ද වෙත ඔෂිනි යොමු කෙරෙන්නේ එනිසාය.

සර් පන්ති කරන්නේ කොළඹ. ඒ නිසා සිකුරාදාට පාසල් නිමාවුණාම මම දුව අරගෙන කොළඹ එනවා. සිකුරාදා පන්තිය ඉවර වෙන්නෙ රෑ 9. අපි කොළඹ කාමරයක් අරගෙන එදාට නවතිනවාපහුවෙනිදටත් පන්තියට ගිහින් එහෙමම ආයෙ රත්නපුරේ යනවා. ලොකු දුව මගේ අම්මා ගාව නවත්තලා එන්නේ. අපි එයාටත් මේ ක්‍රීඩාව පටන්ගත්තේ ලොකුවට තරඟ කරන්න හිතාගෙන නෙවෙයි. ඒත් පොඩි දුව ඒකට ගොඩක් දක්ෂයි කියලා අපට තේරුණ නිසා ඒකට අවශ්‍ය සියලු පහසුකම් ලබා දුන්නා. ඒ වෙනුවෙන් අපිත් කැපවුණා.”

ඇගේ මව පවසන පරිදි, තරඟයක් කොතැනද ඔෂිනි එතැනය. චෙස් මෙන්ම ටෙනිස් ක්‍රීඩා කිරීමටද ඔෂිනි බොහෝ ප්‍රිය කරයි. ෆර්ගියුසන් විද්‍යාලයේ ඇගේ වයස් කාණ්ඩයේ පාසල් ටෙනිස් කණ්ඩායමේ නායිකාව ලෙසද ඇය කලක් කටයුතු කළාය. එහෙත් චෙස් සහ ටෙනිස් තරඟාවලි එකම කාලසීමාවල පැවතීම හේතුවෙන් තෝරාගැනීමක් කිරීමට ඇයට සිදුවිය. චෙස් ක්‍රීඩාවට පමණක් ඇගේ අවධානය හිමිවූයේ ඒ අනුවය. එහෙත් පසුකාලීනව ටෙනිස් ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවද ඈ සතු බව මව කියන්නීය.

එයාට හීනයක් තියෙනවා කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළු වීමට. ඒකට ශිෂ්‍යත්වය හොඳින් සමත් වෙනවා කියලයි දුව කියන්නේ. දැන් චෙස් විතරක් කරලා කොළඹ ආවට පස්සෙ ටෙනිස් ක්‍රීඩාවත් කරනවලු. අපි ඉතින් එයාට කැමති විදියට, එයා දක්ෂ දේ කරන්න ඉඩ දෙනවා මිසක් කිසිම බලපෑමක් කරන්නෙ නෑ.”

අකිල කාවින්ද ගුරුවරයාගේ මග පෙන්වීම යටතේ අන්තර්ජාතික තරඟවලට ඔෂිනි සහභාගි වන්නේ අනතුරුවයි. මේ වනවිට මාස කිහිපයක සිට ඔෂිනි සිය මව සහ සොයුරිය සමඟ කොළඹ නැවතී සිටී.  ඒ මාර්ගගත ක්‍රමය යටතේ තරඟාවලි කිහිපයක් පැවැත්වෙන බැවිනි. ලෝක යොවුන් චෙස් ශූරතාවලියට ඇය සහභාගි වූයේද ඒ අතරතුරය. අවසන් පූර්ව වටයේදී රුසියාවේ ඩයනා ප්‍රෙබ්‍රසෙන්ස්කයා සහ ඔෂිනි අතර වූයේ තියුණු තරඟයකි. අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වලදී ඩයනා ප්‍රසාද ලකුණු 300 කින් පමණ ඔෂිනිට වඩා ඉදිරියෙන් සිටී. එහෙත් පුහුණුකරුගේ විශ්වාසය තහවුරු කරමින් ඔෂිනි ජය ගත්තාය. අවසන් තරඟය ඇයට අභියෝගයක් නොවීය. ජයග්‍රහණය පෙනි පෙනී විනාඩි දෙකකට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී අනපේක්ෂිත සිදුවීමකි. විදුලිය විසන්ධි වීමෙන් ඔෂිනිගේ සූම් සබඳතාව බිඳවැටිණ. එහෙත් කලබල නොවූ ඇය බේරුම්කරු දැනුවත් කර, තරඟයට නැවත සම්බන්ධ වූවාය. ඉතිරි තත්පර කිහිපයේදී ජය තහවුරු කරගත් ඇයට මගදී ඉවත්වීම ගැන විරෝධතා මතු නොවුණේ ඒ වනවිටද පැහැදිලිව ඉදිරියෙන් සිටි බැවිනි.

කෙතරම් විශාල ජයකදී වුව ඇය තෑගි භෝග ඉල්ලා කරදර නොකිරීමද විශේෂත්වයකි. මව පවසන්නේ ඇය ඉල්ලන ත්‍යාග කිසිවක මිල රුපියල් 150 ඉක්මවා නොයන බවයි.

මේ වයසෙ දරුවකු නොහිතන තරම් දුව අපි ගැන හිතනවා. මේ ක්‍රීඩාව කිරීමට අපි කරන වියදම්, කැපවීම් දුවට හොඳට තේරෙනවා. ඕල් අයිලන්ඩ් යූත් මීට් එක දිනලා එයා ඉල්ලුවෙ පොප්කෝන් පැකට් එකක්. ඇඳුමක් ගන්න ගියත් මට කියනවා වියදම් වැඩි නිසා මිල අඩු එකක් ගමු නේද කියලාමටත් හිතාගන්න අමාරුයි, එයාගෙ විදිය. ඒ වගේමයි හරිම සැලැස්මක් ඇතුව දුව වැඩ කරන්නේ. එයාගේ අරමුණ තමයි අඩුම වයසින් ලෝක ශූරිය වෙන එක. නවය වසරෙදි ඒක කරන්න බැරි වුණොත් සම්පූර්ණයෙන්ම අධ්‍යාපනයට මුල්තැන දෙනවා කියනවා.”

ඒ බව දේවින්ද්‍යා ඔෂිනි ද තහවුරු කරයි.

මේ දිනුම ගැන මට ගොඩාක් සතුටුයි. මං කවදහරි වර්ල්ඩ් චෙස් චැම්පියන් වෙනවා. ඊටපස්සෙ ඩොක්ටර් කෙනෙක් වෙනවා.”

ඔෂිනිගේ කාමරයේ අපූරු සිතුවමක් ඇත. ඒ ඈ විසින්ම චිත්‍රයට නගනු ලැබූ ඇගේ සිතිවිල්ලයි. එහි පඩිපෙළකි. පඩියෙන් පඩිය චෙස් ක්‍රීඩාවේ විවිධ මට්ටම් ලකුණු කර ඇත. පුහුණුකරු ඇය ඉහළ රැගෙන යනු අයුරු එහි ඇත. උස් පඩියේ ඔෂිනි සිටින්නේ ශ්‍රී ලංකා ධජය සහ කුසලානයක් සමඟිනි. “WORLD CHAMPION” යනුවෙන් චිත්‍රයේ ලියා ඇත.

පුංචි හීන බොහෝ විශාලය. ඔවුන් දකින හීනයට රුකුල් දුන්විට අවසානය විශිෂ්ට වනු නොඅනුමානය.

රෂ්නිකා ලියනගේ