නවතම ප්‍රවෘත්ති

දුකින් පිරුණු ගිහි ජීවිතේට වඩා බුදුන්ගේ හෙවණ මට හරි සනීපයි

මහින්දාගමනයේද මිහිඳු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ගැන ඒ කාලේ රටේ යුවරජ්ජුරුවෝ වෙච්චි මහානාම රජුගේ බිසව, අනුලා දේවියගේ හිත් පැහැදුනාලු. ඉන්පසු ඇය තවත් පන්සියයක් කුල කාන්තාවන් එක්ක පැවිදි බිමට පිවිසීමට අවශ්‍ය බව මිහිඳු හිමියන්ට දන්වා සිටියා. කාන්තාවන් පැවිදි කිරීම භික්ෂූන් වහන්සේ නමකට ඇකැප නිසා ඒ කටයුත්ත වෙනුවෙන් තම නැගණිය සංඝමිත්තා මහරහත් තෙරණිය ලක්දිවට වඩම්මවා ගතයුතු බව මිහිඳු හිමි දේවානම්පියතිස්ස රජුට සැලකළා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාවක් දරාගත්තු සඟමිත් තෙරණිය ලංකාවට වැඩම කළේ. එතැන් සිට අනුලා දේවිය ඇතුළු පන්සියක් කාන්තාවන්ගේ පැවිද්දෙන් පසු ලක්දිව භික්ෂූණී සාසනය ඇරඹුණා. එදා සිට අද දක්වාම භික්ෂූ සංඝයා වහන්සේලා වගේම භික්ෂූණීන් වහන්සේලාත් බුද්ධ ශාසනයට වගේම, සිව්වනක් පිරිසේ උපාසක උපාසිකාවන් වෙනුවෙනුත් සිදුකරන සේවය ඉමහත්.

උතුම් වෙසක් පොහොය නිමිති කරගෙන එකී සඟ පරපුරේ තෙරණින් වහන්සේ නමකගේ පින්බර දසුනකින් ‘ධරණී’ කවරය එළිය කරන්නට අපි කටයුතු කළා. තරුණ දුවා දරුවන්ගේ හිත්වල ඇවිළුණු ගිනි නිවන්නට නිතර වෙහෙස මහන්සි වන ඇය  නුවරඑළියේ ධම්මශ්වේතා මෙහෙණින් වහන්සේයි.

 

*මුලින්ම ඔබවහන්සේගේ ගිහි කාලේ තොරතුරු ටිකක් දැනගන්න කැමතියි.

මගේ පුංචි කාලය ගෙවුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලක්ෂපාන කියන ගමේ. පුංචි කාලේ ඉඳලාම අපේ ඇහැට පේන්න තිබුණේ ලස්සන කොළ පාට පරිසරයක්. ඒක ඉතින් මනසටත් සුවයක්. මම පවුලේ මද්දුමී. පුංචිම කාලේ තරමක් හිතුවක්කාර දඟ දරුවෙක්. හැබැයි යමක් කමක් තේරෙන කාලේ ඉඳලම මැරෙන්න යන කූඹියෙක් දැක්කත් බේරගන්න තරමේ සංවේදි හිතක් තිබුණු බව මතකයි. මම ඉගෙනගත්තේ ලක්ෂපාන මධ්‍ය මහා විද්‍යාලයෙන්. විදුහලේ විදුහල්පති ප්‍රේමදාස ගුරුපියාණන් ඇතුළු ඇදුරු මඩුල්ල පුංචි කාලේ ඉඳලම අපේ පාසලේ දුවා දරුවන්ගේ හිත් ගුණ නැණ දෙකෙන්ම පෝෂණය කළා.

 

*එතකොට ගිහිගේ අතාරින්න හිතුවේ?

තරුණ දියණියක් මහණ වුණු හැටියේ ඇය මහණ වෙන්න ඇත්තේ ජීවිතේ ඇතිවුණු හැලහැප්පීම් නිසා වෙන්න ඇති කියලා ඇතැම් දෙනා හිතනවා. ජීවිතේට ඇතිවෙන ප්‍රශ්න ගැටලු නිසාම ජීවිතය අවබෝධ කරගන්න අය වගේම ප්‍රශ්න ගැටලු නොතිබුණත් ජීවිතේ හිස් බව කාලයත් සමඟ අවබෝධ කරගන්නා අයත් ඉන්නවා. අප ගෞතම බුදුරජාණන් වහන්සේත් එසේයි.

මේ ජීවිතය තේරුමක් ඇති එකක් නොවෙන බව තේරෙනකොට මට යන්තම් අවුරුදු පහළොවක් ඇති. කවදා හරි අම්මා, අප්පච්චි, සහෝදරියගෙන් වෙන් වෙන්න වෙන බවත්, බැඳීම් කියන්නෙම දරාගන්න බැරි දුක් කන්දරාවකට මුල බවත් මම නිතරම වගේ මෙනෙහි කළා. කාන්තාවක් විදිහට කසාද බැඳලා දරුවෝ හදලා ඒ බැීම්වල හිරවෙලා කාම, රාගවල හැප්පෙනවට වඩා දුකින් පිරුණු සසරට සමුදෙන එක නිවැරදි බව මට අවබෝධ වුණා. ඉතින් අවුරුදු විසිඑකක් වෙද්දි මම මහණ වුණා.

 

දවසක විවාහ වෙලා යුග දිවියක් ගත කරන්නට සිහින මවන සුවහසක් යුවතියන් අතර උන්වහන්සේ තෝරාගත්තේ බුදුන්ගේ ධර්ම මාර්ගයයි.

 

මම කවදාවත් පෙම් සබඳකම් ඇති කරගෙන තිබුණෙ නැහැ. හැබැයි කවදාහරි දවසක මගේම පුංචි දුවක් මට අම්මා කියලා කියනවා අහන්න නම් අශාවක් තිබුණා. නමුත් ඉපදීම කියන්නෙ දුකක්. මගේ සතුට වෙනුවෙන් තවත් ජීවිතයක් මේ අකාරුණික සසරට ගෙනත් අත්හරින එක අකාරුණික දෙයක් බව මට හිතුණා. මගේ සිරුරවත් මට අයිති නැති එකේ තවත් කෙනෙක්ට අයිතිවාසිකම් කියන්න මට බැහැ. වෙනත් අයගේ පංචස්කන්ධ මගේ කියලා ලබන බොළඳ තෘප්තියට වඩා අත්හැරීමේ සතුට ප්‍රබලයි.

 

*ඉතින් ඔබවහන්සේගේ මේ ගමනට ගෙදරින් විරුද්ධ වුණේ නැතිද?

මොකද නැත්තේ, අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට එහෙම ලේසියකට දරුවෙක් එක්ක තියෙන ලේ බැඳීම අමතක කරලා දාන්න බැහැනේ. ඔවුන් මගේ ගමනට විරුද්ධ වෙයි කියලා දන්නා නිසාම මුලදි මම ඒ අයට ඒ ගැන කිව්වේ නෑ. මහණ වෙන්න යනවා කියලා අම්මලාට කියද්දි පැවිදි උත්සවයට සතියයි. ඉතින් එදා ගෙදර එකම මළගෙයක්. මහණ වෙන්න ගිය දවසෙත් අප්පච්චි වාහනේට ඔලුව තියාගෙන ඇඬුවා. කටින් නොකිව්වට, ඇස්වලින් කඳුළු නොහැලුවට අම්මා, තාත්තා අඬද්දි මගේ පපුවත් ටිකක් හිරවුණා.

ලේ කිරි කරලා මට පෙව්ව මගේ රත්තරන් අම්මාට පැවිදි වෙන්න කලින් මම දණගහලා වැන්දා. පැවිද්දෙන් පස්සේ අම්මා කදුළු පෙර පෙරා මගේ කකුල් අල්ලලා වැන්දා. පුංචි කාලේ දිග කොණ්ඩෙකට මම හරිම කැමතියි. ගෑනු දරුවන් කොහොමත් කොණ්ඩෙට ආසයිනේ. ඒත් පැවිදි උත්සවයේදි කොණ්ඩය කපද්දිත් මට පුංචිම දුකක්වත් දැනුණේ නෑ. ඒ හැමදේම ඒ තරම් අවබෝධයකින් දරාගත්තා. ඉතින් මම ගත්තු මේ තීරණය ගැන අද අම්මලාත් සතුටු වෙනවා ඇති කියලා මම හිතනවා.

 

ධම්මශ්වේතා මෙහෙණින් වහන්සේ මහණ දිවි පුරන මෙහෙණී අරණ සම්බන්ධ කරලා දීලා ඒ අතින් උදව් උපකාර කළේ උන්වහන්සේගේ සහෝදරියලු. ගිහිගෙයි සහ ශාසනික ජීවිතේ වෙනස උන්වහන්සේට දැනෙන්නේ කොහොමද කියලත් පසුව උන්වහන්සේගෙන් අපි විමසලා  බැලුවා.

 

ගිහි ජීවිතේදි බැඳීම්, තණ්හාව, ආශාව නිසා අපි නිතරම පිච්චෙනවා. මිල මුදල්, තනතුරු, යාන වාහන පස්සෙන් දිනපතාම දුවනවා. දුක් විඳ විඳ ගෙවන ඒ ජීවිතේට වඩා බුදුන්ගේ හෙවණ හිතට හරි සනීපයි. ඇලීම්, ගැටීම් නැති මේ ජීවිතේ හරිම සරලයි, සැහැල්ලුයි. ලෝකයේ සියලුම සතුන්ට මෙත් වඩාගෙනයි මම උදෑසනට අවදි වෙන්නේ. නිදහස් පරිසරයේ හිත එක තැනක තියාගෙන භාවනා කරනකොට, පැල්පතක පිණ්ඩාපතෙන් කුස පුරවාගන්නකොට හිතට දැනෙන නිරාමිස ප්‍රීතිය වචනයෙන් විස්තර කරන්න බැහැ. ගුරු උතුමන්වහන්සේලාගේ අවවාද, අනුශාසනා මැද යන මේ උතුම් ගමන මට හරිම රැකවරණයි.

 

ධම්මශ්වේතා මෙහෙණින් වහන්සේ බොහොම ළාබාල වියක මෙහෙණින් වහන්සේ නමක් බව අපි කිව්වනේ. නමුත් බොහෝ දෙනාගේ සිතුවිල්ල දහම් මාවතක ගමන් කළ යුත්තේ ජීවිතයේ අවසාන කාලයේදි බවයි. නමුත් දැහැමි ජීවිතයකට යොමු වීමට සුදුසුම අවධිය තරුණවිය බවයි උන්වහන්සේ අපට දේශනා කළේ.

 

තරුණ කාලේ පස් පව් කරමින් විනෝදයෙන් ගත කරලා ජීවිතේ අවසාන කාළේ ධාර්මික ධර්මානුකූල දිවියක් ගත කළාම ඇති කියලා වැරදි සිතුවිල්ලක ඉන්න උදවිය ඉන්නවා. ඒක වැරදියි. ධර්මානුකූල ජීවිතයට යොමුවෙන්න හොඳම වයස තරුණ කාලයයි. හැම තරුණ දරුවෙක්ම මහණ වෙන්න ඕනය කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ. ගිහි ජීවිතේ ඉඳගෙනම ලෝබය, ද්වේශය, මෝහය අවම කරගන්න උත්සාහ කරනවා නම් සාර්ථක ගිහි ජීවිතයක් ගත කරන්නත් පුළුවන්. ඒ වගේම දාන, ශීල, භාවනා ආදිය තුළින් ආධ්‍යාත්මික සුවයක්, සැනසීමක් ලබාගන්නත් පුළුවන්. ‍ඉතින් ඔය ගමන යන්න අවශ්‍ය කායික ශක්තිය සහ මානසික ශක්තියත් වැඩිපුරම තියෙන්නෙ තරුණ කාලේ.

ඒ වගේම කියන්න ඕනේ හිතට පුංචි දුකක් කරදරයක් දැනුණු හැටියේ මෑණියනේ මටත් මහණ වෙන්න බැරිද? කියලා අහන දූලා ඉන්නවා. එදිනෙදා ජීවිතේ ඇතිවෙන පුංචි ප්‍රශ්න දරාගන්න බැරිව ශාසනයට එන්න හිතනවා නම් ඒක තාවකාලික පලායෑමක් මිසක අවබෝධයකින් කරන කටයුත්තක් නෙමෙයි. ක්ෂණිකව ඇතිවෙන ඒ සිතිවිලි වෙනස් වෙන්න දින කිහිපයක් ඇති. ඒ නිසා ජීවිතේ අනියතබව, හිස්බව නිසි අවබෝධයකින් තේරුම් අරන් සසරින් එතෙර වෙන එකයි වඩා සුදුසු.

ඒ වගේම මගෙන් අවවාද, අනුශාසනා බලාපොරොත්තුවෙන් ගොඩක් තරුණ දරුවන් පණිවිඩ එවනවා. වචනෙකින් හරි මම ඒ දරුවන්ට  පිහිට වෙනවා. ඉඩ ලැබෙන විදිහට රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා තරුණ දරුවන්ට දහම් සමූහ පවත්වනවා. මම වැඩ වාසය කරන අරණ ඉදිවෙමින් පවතින භූමියක් නිසා දැනට ඒ දරුවන්ව එතැනට ගෙන්න ගන්න අවකාශයක් නැහැ. හැබැයි පසුවට එවැනි කටයුත්තක් කරන්නට පුළුවන් වේවි. ඉතින් අවසාන වශයෙන් මගේ දූලා පුතාලට වචනයක් කියන්න කැමතියි. නිතරම නැණවත් වෙන්න, ගුණවත් වෙන්න. පව් කරද්දි සනීපයක් දැනුණත් පව් ගෙවද්දි ජීවිතේ කටුක වෙනවා. ජීවිතේට නිවැරදි ආශ්‍රයන් හදාගන්න. තරුණ කාලෙ ඉඳලම දෛවය හොඳ විදිහට ලියාගන්න උත්සාහ කරන්න.

 

ධම්මශ්වේතා මෙහෙණින් වහන්සේ මේ වචන දේශනා කළේ බොහොම පිංවත් ශාන්ත ලීලාවකින්. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් නිවන් මඟේ සුවසේ ගමන් කරන්නට හැකිවේවායි අපිත් මේ වෙසක් මංගල්‍යය දා පහන් සිතින් ප්‍රර්ථනා කරන්නෙමු.

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි