විශේෂාංග

ඇත්තටම එයා මට මැණිකක් ක්‍රිකට් ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරාගේ බිරිඳ රංගි ප්‍රසාදි

2018 වසර වනවිට දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සිටියේ ප්‍රබල තැනකය. ඒ කාලවකවානුවේම ටෙස්ට් තරඟාවලියක් වෙනුවෙන් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි අතර පළමු තරඟය පැවැත්වුණේ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීය. ටෙස්ට් තරඟවලදී දකුණු අප්‍රිකාවේ තරම හොඳින්ම දන්නා ක්‍රිකට් විචාරකයින් කලින්ම පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට එකී තරඟාවලිය ලේසි නොවනා බවයි. නමුත් සිදුවූයේ එහි අනෙක් පැත්තය. ඒ පළමු තරඟයෙන්ම ශ්‍රී ලංකාවට ලකුණු 278ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිවිය. ඒ තරඟයේ කාගේත් අවධානය යොමුවූයේ ලකුණු 78කට කඩුලු 10ක් ලෙසින් හොඳම පන්දු යැවීම සනිටුහන් කළ දකුණත් පිටදඟපන්දු යවන ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරා වෙතය. මුත්තයියා මුරලිදරන්ට සහ රංගන හේරත්‍ට පසු ශ්‍රී ලංකාවෙන් බිහිවූ සාර්ථකම ටෙස්ට් පන්දු යවන්නා වන ඩිල්රුවන් ගැන මේ කතාබහ ඔහුගේ ආදරණීය බිරිඳ වන රංගි ප්‍රසාදි සමඟිනි.

*රංගිට ඩිල්රුවන්ව මුණගැහුනු තැනින්ම කතාව පටන්ගමුද?

ඩිල්රුවන් මට මුණගැහුනේ ඉස්කෝලේ යන කාලේ. ඒ යාළුවෙක් මාර්ගයෙන්. මං එතකොට හිටියේ ඉස්කෝලේ දහයේ පන්තියේ වගේ. එයා නම් ඒ වෙනකොට ඉස්කෝලේ ගිහින් ඉවරයි.

 

*මං ඇහුවොත් ඒ හමුවීම ආදරයකට හැරුනේ කොහොමද කියලා?

ඩිල්රුවන් වෙනම හැඩයක්. ඒක මට පැහැදිලි කරන්න තේරුමක් නෑ. එයා නිතරම එයාගේ පාඩුවේ හිටිය කෙනෙක්. ගතිගුණ අතින් හරිම පොහොසත්. ඉතින් අකමැති වෙන්න තරම් හේතුවක් තිබුණේ නෑ. ඒත් මුලින්ම යාළුවෝ වගේ හිටියේ. පස්සේ තමයි ආදරේ කරන්න පටන්ගත්තේ.

 

*ඩිල්රුවන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරයි කියලා ඒ කාලේ හිතුවද?

එහෙම නම් හිතුවේ නෑ. මොකද ඒ වෙනකොට එයා එහෙම ලොකුවට ක්‍රිකට් ගහපු කෙනෙක් නෙවෙයි.

 

*හැබැයි එයා 2007 අවුරුද්දේ ජාතික කණ්ඩායමට කැඳෙව්වා නේද?

ඔව් ඩිල්රුවන් මුලින්ම එක්දින කණ්ඩායමට ක්‍රීඩා කළේ. ඒ වෙනකොට අපි ආදරේ කරන්න පටන් අරන් අවුරුදු තුනක් වගේ. එදා එයාගේ පෙම්වතිය විදියට ගොඩාක් සතුටු හිතුණා. හැබැයි ඒ සතුට අස්සෙන්ම පොඩි බයකුත් දැනුණා. මොකද ඉතින් ක්‍රිකට් ක්‍රීඩකයෝ කියන්නේ ගෑනු ළමයින්ගේ එහෙම ආකර්ෂණයට ලක්වෙන පිරිසක්නේ. ඒ නිසා ඉතින් විහිලුවට වගේ පොඩි පොඩි කොන්දේසි එහෙමත් එයාට දැම්මා.

 

*එතකොට දෙන්නගේ විවාහය සිද්ධවුණේ කොහොමද?

අපි විවාහවුණේ 2011 අවුරුද්දේ. දැන් අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම පිරිමි ළමයි. ඇත්තටම ඩිල්රුවන් වගේ කෙනෙක් එක්ක විවාහවෙන්න ලැබුණු එක ගැන හරිම ආඩම්බරයි.

 

*ඩිල්රුවන් ක්‍රිකට් පිටියේ දක්ෂතා පෙන්නන්න පටන්ගත්තේ විවාහයෙන් පස්සේ කියලා හිතෙන්නේ නැද්ද?

(සිනාසෙමින්) එහෙමත් හිතිලා තියෙනවා. ඒත් එයයි මමයි දෙන්නම හිතන්නේ ඒක අපේ ලොකු පුතාගේ වාසනාව කියලා. මොකද මට එයා ලැබෙන්න ඉන්නකොට තමයි ඩිල්රුවන් ටෙස්ට් කණ්ඩායමට තේරිලා එකදිගට දස්කම් පෙන්නන්න පටන්ගත්තේ.

 

*ක්‍රිකට් පිටියෙදි නම් එයා හරි නිවුනු ක්‍රීඩකයෙක්. ගෙදරදි කොයි වගේද?

එයා ගෙදරදිත් ඉතින් ඒ විදියමයි. නිවිලා තමයි ඉන්නේ. ඒ වගේමයි එයා කැමතියි පාඩුවේ ඉන්න. කතා කරනවා එහෙම හරි අඩුයි. කටින් වචනයක් ගන්න හරි අමාරුයි. සමහර වෙලාවට මට තරහත් යනවා. හැබැයි ඩිල්රුවන් කියන්නේ වෙලාවට කලාවට වැඩකරන කෙනෙක්.

 

*ඩිල්රුවන් ක්‍රීඩා කරපු තරඟ අතරින් රංගිට අමතකම නැති තරඟය මොකක්ද?

එයාගේ මංගල ටෙස්ට් තරඟය අමතක නෑ. දිල්රුවන් ප්‍රසිද්ධ වෙලා හිටියේ පන්දු යවන්නෙක් විදියට වුණත් එදා එයා පිතිකරුවෙක් විදියට ලකුණු 95ක් ගැහුවා. ඒත් ශතකය පෙනි පෙනී අවුට් වුණා. ඒ ගැන අදටත් දුකයි.

 

*ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය කියන්නේ ඩිල්රුවන්ට ගෙදර වගේ කියන්නේ ඇත්තද?

(සිනාසෙමින්) ඒක ඇත්ත. එයා එයාගේ ක්‍රිකට් ජීවිතේ හොඳම පන්දුයැවීම වාර්තා කළෙත් දකුණු අප්‍රිකාවට එරෙහිව ගාල්ලෙදි. ඒ තරඟයේ පළමු ඉනිමේදී ලකුණු 46කට කඩුලු 4ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 32කට කඩුලු 6ක් විදියට තරඟය පුරාවටම ලකුණු 78කට කඩුලු 10ක් අරගත්තා.

 

*හැබැයි එයා අවසානයේදි ටෙස්ට් තරඟවලට විතරක් සීමාවුණු පන්දු යවන්නෙක් වුණා නේද?

ඩිල්රුවන් එක්දින සහ විස්සයි විස්ස තරඟත් කීපයක් ක්‍රීඩා කළා. ඒත් එයාව ගොඩක් වෙලාවට ටෙස්ට් තරඟවලට විතරයි යොදාගත්තේ. ටෙස්ට් තරඟ 43කදි ලකුණු 1303ක් ගහලා කඩුලු 161ක් අරගෙන තියෙනවා. ඩිල්රුවන් මුලදි ආරම්භක පිතිකරුවෙක් විදියට ක්‍රීඩා කළේ. සනත් ජයසූරිය එක්ක පවා බැට් කරලා තියෙනවා. පස්සේ එයා දඟපන්දු යවන්නෙක් වුණා.

 

*එයා මෙහෙම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙලා තියෙන්නෙත් ගොඩාක් දුෂ්කරතා එක්කලු නේද?

ඒක ඇත්ත. ඩිල්රුවන් පානදුර. එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්න උවමනාව තිබිලා තියෙන්නේ තාත්තට. ඒත් ඩිල්රුවන් තැනකට එන්න කලින් තාත්තා නැතිවුණා. පස්සේ අම්මා තමයි එයාගේ පස්සෙන් ඉඳලා මේ තැනට එන්න ශක්තිය වුණේ. අනේ අද මගේ තාත්තා හිටියා නම් කියලා එයා හැමවෙලේම කියනවා.

 

*නොකිව්වට රංගිත් එයාට ලොකු ශක්තියක් වෙන්න ඇති. මං හරිද?

ඔව් ඉතින් පුළුවන් හැම තත්පරේම මමත් එයා පස්සෙන් හෙවණැල්ලක් වගේ හිටියා.

 

*ඩිල්රුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු අහිංසකම ක්‍රීඩකයා කියලා මං කිව්වොත්?

(සිනාසෙමින්) අනෙක් අය තරහා වෙයිද දන්නෑ. ඒත් අහිංසකම ක්‍රීඩකයා ඩිල්රුවන් කියලයි මටත් හිතෙන්නේ.

 

*ඩිල්රුවන්ගෙන් පස්සේ පොඩි ඩිල්රුවන් කෙනෙකුත් ක්‍රිකට් පිටියෙන් මතුවෙයිද?

එහෙම වෙනවා නම් ආසයි. ලොකු පුතා ඉස්කෝලේ ක්‍රිකට් ගහනවා. අපි බලමු ඉතින් තාත්තා වගේ එයත් ඉස්සරහට එයිද කියලා. ඩිල්රුවන් නම් ඉදිරියේදී ක්‍රිකට් පුහුණුකරුවෙක් විදියට දකින්න ලැබෙයි.

 

*ඩිල්රුවන් ඇරුණම රංගි කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද?

මං ඉන්දියාවේ විරාට් කෝලිට ගොඩාක් කැමතියි.

 

*ඇත්තටම ඩිල්රුවන් කියන්නේ නමේ විදියටම මැණිකක්ද?

(සිනාසෙමින්) ඔව් ඔව් ඉතින් මට නම් ඩිල්රුවන් කියන්නේ මැණිකක් තමයි.

 

රුවන් එස්.සෙනවිරත්න