නවතම ප්‍රවෘත්ති

බර්ගර් එකක් කන්නම හිතුණු දවසකත් ඒකෙ සුවඳ බල බලා බෝංචි කරල් දෙකක් කෑවා

පාතාල කල්ලි නිසා 70 දශකයේදි ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට ප්‍රචණ්ඩ කාලයක් උදාවුණා. ඔය කාලේ වසරකට වාර්තාවෙච්චි ස්ත්‍රී දූෂණ ප්‍රමාණය 5000ට වැඩියි.

ඉතින් ගොඩක් ගෑනු කළේ වැඩ රාජකාරි සේරම නතර කරලා පාතාලයින්ට බයේ ගේ අස්සේ හැංඟිච්ච එක. හැබැයි ඩෙනිස් විලියම්ස් කියන තරුණිය තමන්ගේ වැඩ නතර නොකර ආත්මාරක්ෂාව වෙනුවෙන් කරාතේ ඉගෙනගන්න තීරණය කළා.

ඔව්වා කරන්න පිස්සුද? මූණ පුරා කැළැල් හිටියි. එතකොට කවුද උඹව කසාද බඳින්නේ?”

එහෙම කිව්වේ ඩෙනිස්ගෙ අම්මා. ඒ වචනවලට කන් නුදුන්නු ඇය කරාතේ ඉගෙනගත්තා. ඒ පැත්තේ අනිත් කෙල්ලන්ටත් කරාතේ ඉගැන්නුවා. ඇමරිකාවේ කාන්තා  කරාතේ පාසල් ආරම්භ කිරිමේ ගෞරවය හිමිවෙන්නේ ඇයට.

මේ ලෝකේ ගෑනු වැඩ, පිරිමි වැඩ කියලා වැඩ ජාති කොටස් දෙකකට බෙදලා තියෙනවනේ. සටන් කලාවක් ඉගෙනගන්නවා කියන්නෙ ගෑනුන්ට අකැප වැඩක් කියලා හිතන අය හැත්තෑව දශකයේ විතරක් නෙමෙයි අදත් ඉන්නවා. හැබැයි ඒ කතාවලට ඇහුම්කන් නොදී ලෝකේ දිනපු ඩෙනිස් වගේ ගෑනු අනන්තයි. අද කවරය හැඩකරන ජනාධිපති සම්මානලාභී ජාතික කරාතේ ශූරිය දිනූෂා පෙරේරාගේ කතාවත් එහෙම එකක්.

 

*කතාව පටන්ගන්න කලින් ජයග්‍රහණ ගැන ටිකක් මතක් කරමුද?

හයවන ලෝක ගොජුකායි කරාටේ ශූරතාවලියේ රන් පදක්කම ලබාගත්තා. අටවන පොදුරාජ්‍ය මණ්ඩල කරාතේ ශූරතාවලියේ කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම, එතකොට 2011, 2014, 2017 දකුණු ආසියානු කරාතේ ශුරතාවලියේ රන් පදක්කම ලබාගත්තා. 2015 වසරේ වසරේ දක්ෂතම කරාතේ ක්‍රීඩිකාව විදියට ජනාධිපති සම්මාන ලැබුණා. වසර 10ක් ලංකාවේ ජාතික කරාතේ ශූරිය, වසර නවයක් ජාතික ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් ලබාගත්තා. ආසියානු ක්‍රීඩා උළෙලේ කිලෝ 50 බර පංතියෙන් රිදී පදක්කම, 2015  අවුරුද්දේ ආසියානු ශ්‍රේණිගතකිරීම්වල පස්වැනි ස්ථානය. මේ වෙනකොට තියෙන සම්පූර්ණ පදක්කම් ගාණ 800යි.”

බොහෝ වෙලාවට කරාතේ අංශයෙන් ඔලිම්පික් ජයග්‍රහණය කරන්නේ ආසියානු ක්‍රීඩිකාවන්. ඉතින් ඔවුන් අතරින් පස්වැනි තැනට තේරෙන එක ලේසි නැහැ. ඉන්දියාව, වියට්නාමය වගේ රටවල ක්‍රීඩිකාවන් පවා ඉන්නේ ඇයට පහල ශ්‍රේණිගතකිරීම්වලලු.

මම කඩවත. අපේ පවුලේ ගෑනු ළමයි පස්දෙනෙක් ඉන්නවා. පුංචි කාලෙදි මම තමයි පවුලේ දඟයා. දවසක් මම ජැකී චෑන්ගේ කරාතේ ‍ෆිල්ම් එකක් බැලුවා. එතකොට මට අවුරුදු හයයි. මට ඒකට ගොඩක් ආස හිතුණා. එදා ඉඳලා ජැකී චෑන්ගේ ෆිල්ම් හොය හොය බලන්න ගත්තා. මගේ ඇඟ ඇතුළෙත් කරාතේ ක්‍රීඩාව තියෙනවා වගේ එකක් ඒවා බලද්දි මට දැනුණා. ඉතින් මටත් කරාතේ කරන්න ඕනේ කියලා මම අම්මට කිව්වා.”

ඩෙනිස්ගේ අම්මා වගේම දිනූෂාගේ අම්මත් මුලදි ඒ වැඩේට කැමති වුණේ නැතිලු.

ගෑනු ළමයෙක් වුණහම එළිපත්ත උඩින් පනින්න හොඳ නැහැ වගේ දේවල් මගේ පවුලෙත් තිබුණා. කෙල්ලෙක් වෙලා ඉපදුණා නම් කෙල්ලෙක් වගේ ඉන්න ඕන කියන එකයි අම්මා වුණත් කිව්වේ.කොල්ලෝ කරන වැඩ කරලා කෙල්ලන්ට දිනන්න බැහැකියලා සමහර නෑයින් පවා කිව්වා. ඒ කතා අහනවට වඩා කරාතේ ඉගෙනගන්න එක වටිනවා කියලයි පුංචිකමට මට හිතුණේ.

දිනූෂා ප්‍රාථමික අධ්‍යාපනය ලබාගෙන තියෙන්නේ කඩවත බැප්ටිස් විද්‍යාලයෙන්. ඊටපස්සේ ද්විතියික අධ්‍යාපනයට කඩවත මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණාලු.

ඒ ඉස්​කෝල දෙකේම කරාතේ තිබුණා. මුලින්ම කරාතේ ඉගෙනගත්තේ මාධවී සංකල්පනා සෙන්සෙගෙන්. එතකොට මට හතයි. පුංචි නිසා මූණට එහෙම හොඳට පාරවල් වදිනවා. එතකොට අම්මට තව තරහයි. ඕවට ගියා නම් ඔයාම බෙහෙත් දාගන්නකියලා බනිනවා.”

හැබැයි දැන් ඇය ඉන්න තැන ගැන අම්මත් ගොඩක් සතුටු වෙනවා කියලයි ඇය කිව්වේ.

මුලින්ම ජාත්‍යන්තර තරඟයකට යනකොට මට අවුරුදු දහයයි. එදා තමයි මම මුලින්ම රට ගියේ. එදා නම් අම්මා ප්ලේන් එකේදි කන්න කියලා ලොකු බත් මුලකුත් ඔතලා දුන්නා. ප්ලේන් එකට නැග්ගහම බෑග් එක උඩට දානවනේ. මට උස නැහැ. ඉතින් මම ටිකක් බයවෙලා හිටියේ. හැබැයි ඒ තරඟයෙනුත් රිදී පදක්කමක් දිනලයි ආවේ.

සටන් කලාවකින් රට නියෝජනය කරන ක්‍රීඩිකාවක් වීම ලේසි නැහැ. මේ ගමනේදී ඇයට ආපු අභියෝග මොනවද කියන එකයි ඊළඟට අපි ඇගෙන් ඇහුවේ.

මම ජාත්‍යන්තර වශයෙන් කිලෝ 50 බර පංතිය නියෝජනය කරන ක්‍රීඩිකාවක්. ඉතින් බර පාලනය කරගන්න එක තමයි ලොකුම අභියෝගය. තරඟයකට කලින් දවසේ මගේ බර 50kgට වඩා වැඩි වුණොත් මට ඒ තරඟයට යන්න බැහැ.

පිටරටවල ක්‍රීඩකයෙක් කියන්නෙම වෛද්‍යවරයෙක්, පෝෂණවේදියෙක්, තෙරපිවරයෙක්, පුහුණුකරුවෙක්ගෙන් සැදුනු කණ්ඩායමකට. මේ පුංචි රටේ අපිට එහෙම පහසුකම් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඉතින් අපි තනියම ඒ දේවල් කරගන්න ඕනේ. දවස ගානේ මම කන හැමදේම පොතක ලියනවා. දිනපතා බර මනිනවා. පිශ්ඨ කෑම කන්න බැහැ. ප්‍රෝටීන කෑම වැඩිපුර කන්න ඕනේ. වතුර බොන්නේ මැනලා. මම බත් කන්න ආසයි. ඒ නිසා සතියට දවසක් විතරක් රතු බත් ටිකක් කනවා. ඒ කාලා කාර්ඩියෝ කරනවා. වෙලාවකට කෑම දැක්කහම කන්නම හිතෙනවා. දවසක් මට බර්ගර් එකක් කන්නම හිතුණා. ඊටපස්සේ මම ඒකේ සුවඳ බල බල බෝංචි කරල් දෙකක් කෑවා.”

‘සබ්බේ සත්ථා ආහාරට්ඨිතිකා’ කියලා බුදුන් දේශනා කරලා තියෙනවනේ. සියලුමදෙනා ආහාරවලට ප්‍රියයි කියන එකයි ඒකේ තේරුම. ඉතින් යමක් වෙනුවෙන් ආහාර අත්හරිනවා කියන්නේ ඒක ලොකු කැපකිරීමක්.

රූපේ ලස්සනට තියාගන්න හැම ගෑනියෙක්ම ආසයිනේ. ඒත් මේ වගේ ක්‍රීඩාවක් එක්ක අපිට රූපයට එක දෙන්න බැහැ. මගේ මූණ පුරා පහර වැදුනු කැළැල් තියෙනවා. එකපාරක් ඉන්දියාවෙදි මගේ කටට පාරක් වැදිලා දත් දෙකක් ගැලවුණා. ඒ වෙලාවේ මම ගොඩක් බයවුණා. හැබැයි වාසනාවට සැත්කමකින් ඉන්දියාවෙදිම දත් දෙක නැවත සවි කරන්න පුළුවන් වුණා. තවපාරක් මගේ දණිස්සට තද පාරක් වැදිලා ලංකාවට ආ​වේ රෝද පුටුවෙන්. බෙල්ලට පහරක් වැදිලා මාස හයක් ඇඳේ හිටියා. දැනට ඒ වගේ ලොකු අනතුරු අටක් වෙලා තියෙනවා.”

 

*ඔය වගේ අනතුරු වෙන නිසා කරාතේ කරන අයට කසාද බැඳලා දරුවෝ හදන්න බැහැ කියනවා නේද?

සමහරු එහෙම කියනවා. මම විවාහක නැහැ. ඒත් ජාතික කරාතේ කණ්ඩායමේ සහෝදරියෝ 60%ක්ම විවාහකයි. ඒ හැමෝටම වගේ දැන් බබාලා ඉන්නවා. සාමාන්‍ය කාන්තාවකගේ දරුවන්ට වඩා ඒ අයගේ දරුවොත් හරි ක්‍රියාශීලියි.”

ක්‍රීඩා කරන කාන්තාවන්ගේ ඇඟවල්වල ගෑනු ලාලිත්‍ය නැහැයි කියලත් මිනිස්සු කියනවා. දිනූටත් එහෙම කතා ඕනතරම් කියනවලු. හැබැයි කොණ්ඩෙ කොටට කැපුවට, ඇඟපත හයිය වුණාට ක්‍රීඩිකාවකගේ ගෑනුකම නැතිවෙන්නේ නැහැයි කියලයි ඇය කිව්වේ.

ක්‍රීඩා කරද්දි කොණ්ඩේ එහෙ මෙහෙ යද්දි හරි අමාරුයි. එතකොට අවධානය කැඩෙනවා. පහසුවට තමයි මම කොණ්ඩේ කපලා ඉන්නේ. ඉතින් සමහර මිනිස්සු අමුතුවට බලලාකොල්ලෙක් වගේකියනවා. පද්දලා ගස්සලා ඇවිදින එකට නෙමෙයි ගෑනුකම කියන්නේ. ඇඟේ හැඩෙන් මිනිස්සු මනින්න බැහැ. කෙනෙක්ගේ බාහිර පෙනුමට වඩා ඒ කෙනා සමාජය වෙනුවෙන් කරන දේ තමයි වැදගත්.”

ඇය කිව්වේ නිහතමානී ආඩම්බරයකින්. මේ වගේ මොනතරම් අභියෝගවලට මුහුණදුන්නත් කරාතේ ක්‍රීඩාව නිසා ඇයට ලැබුණු දේ අප්‍රමාණයිලු.

පුංචි කාලෙදි තාත්තා අපේ පවුලෙන් වෙන්වුණා. මට අයියා කෙනෙක් හිටියා. මීට අවුරුදු ගාණකට කලින් හදිසි අනතුරකින් එයත් නැතිවුණා. දරාගන්න අමාරු වුණත් ඒ දේවල් දරාගන්න මට ශක්තිය ලැබුණේ කරාතේවලින්.

දැන් ටික කාලෙකට කලින් මම විවාහ වෙන්න හිටිය පුද්ගලයා හිටිහැටියෙම මාව දාලා ගියා. ඒත් එහෙමයි කියලා මම කඩාගෙන වැටුණේ නැහැ. ජීවිතේ වැටෙන තැනින් ආපස්සට නැගිටින්න මට හයිය දෙන්නේ මේ ක්‍රීඩාව.”

ඇය කිව්වේ අනිත් අයටත් හයියක් වෙන්න හිතාගෙන.

මැලේෂියාව, තායිලන්තය වගේ රටවල බියුටි කන්ටෙස්ට්වලදී වුණත් කරාතේ පුළුවන්ද කියන එක අනිවාර්යයෙන්ම බලනවා. දැන් අපේ රටේ ගෑනියෙක්ට ජීවත්වෙන්න බැරි තත්ත්වයක් තියෙනවනේ. ඉතින් පුංචි කාලේ ඉඳලම ගෑනු දරුවෙක්ට කරාතේ උගන්වන්න පුළුවන් නම් වටිනවා.”

දිනූෂා ප්‍රායෝගික ජීවිතේදී කරාතේ භාවිතා කරලා තියෙනවද කියලා ඔය අතරෙදි මම ඇහුවා.

මේක ටිකක් කාලෙකට කලින් වුණු සිද්ධියක්. වෙඩින් එකකදි මනුස්සයෙක් මගේ කකුල කෙනිත්තුවා. ඒක වැරදියි කියලා කිව්වහම එතැන හිටපු කිහිපදෙනෙක් මට අතපය උස්සගෙන ආවා. ඊටපස්සේ ලොකු ආරවුලක් ඇතිවුණා. එදා මම තනියම දහදෙනෙක්ට ගැහුවා. කරාතේ පුළුවන් කියලා දැනගත්තම ඒ අය ශේප් එකේ මාරුවුණා. කරාතේ කියන්නේ ආත්මාරක්ෂක සටන් කලාවක්. මේක තියෙන්නේ අනිත් අයට ගහන්න නෙමෙයි. අනිත් අයගෙන් ආරක්ෂා වෙන්න. ඒ වගේ ප්‍රශ්නයක් වුණත් කතාබහ කරලා විසඳගන්නවා ඇර දැන් නම් ප්‍රායෝගිකව භාවිතා කරන්නෙ නැතිතරම්.”

කතාව අවසාන කරන්න කලින් දිනූෂා ඇගේ පවුලේ උදවියවත්, පෞද්ගලික පුහුණුකරු නිලන්ත වික්‍රම ගාල්ලගේවත් ආදරෙන් මතක් කළා.

කරාතේවලට අමතරව රුක්මාල් සේනානායක සර් යටතේ කායවර්ධන නිරූපිකාවක් වෙන්න පුහුණවීම් කරනවා. ඉතින් ඔහුටත් ක්‍රීඩා අමාත්‍යංශයේ සියලුම දෙනාටත් ස්තූතිවන්ත වෙනවා.

කරාතේ පුහුණු කටයුතුවලට ටික දවසකින් විදෙස්ගත වෙනවා. කවදහරි ලංකාව වෙනුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් නියෝජනය කරන එක තමයි මගේ ජීවිතේ ලොකුම හීනය.

‘ධරණී’ කියවන ඔබ වෙනුවෙනුත් ඇය වචනයක් කිව්වා.

තමන්ගේ ලෝකේ වීරයා වෙන්න ඕනේ තමන්මයි. අපේ ඇඟට, මනසට, හැකියාවට ආදරේ කරන්න. අපේ දේවල් කැප කරලා අනිත් අයට කාලේ දෙන්න එපා. ඒක යැපීමක් වගේ දෙයක්. අපි නැතිව ජීවත්වෙන්න බැහැ කියන මිනිස්සුන්ට ලස්සනට අපි නැතුව ජීවත්වෙන්න පුළුවන්. තරුණ ගෑනු ළමයි විදියට ඒ වගේ කතාවලට අහුවෙන්න එපා. තමන්ගේ ජීවිතේ පළවැනි තැන තමන්ට දෙන්න. එතකොට අපි දිනන එක නවත්වන්න ඔය කාටවත් බැහැ.”

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප සමන් අබේසිරිවර්ධන

හැඩගැන්වීම ධනුෂ්ක රණවීර Salon La mode – කිරිබත්ගොඩ