විශේෂාංග

අන්තිම වට්ස්ඇප් කෝල් එක ගනිද්දිත් එයාගේ හිනාවේ වෙනසක් තිබුණෙ නෑ

සංසාරික සෙනෙහසින් හිත වෙළී තිබුණත්, තනිව යන්නට සිදුවන ඉරණම් ගමන් තිබේ. ඒවා කල්දාන්නට බැරිය. තෙන්නකෝන් මුදියන්සේලාගේ චින්තක දීපාල් අමරසූරියටත් යන්නට සිදුවූයේ එවන් ගමනකි. නොඑසේනම් ආදරණීය බිරිඳ තරුෂිත්, වසරක් වියැති සුරතල් පුතුත් සිහිවෙද්දී ඒ ගමන නොයා ඉන්න කටයුතු කරන්නට වෛද්‍ය චින්තකට ඉඩ තිබුණි.

වෛද්‍ය චින්තක සේවය කළේ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේය. තවමත් තිස් හැවිරිදි වියේ පසුවන ඔහුගේ හිතට දොස්තර කෙනෙක් වන්නට ඕනෑ යැයි හිතෙන්නේ හාලිඇල ගමේ පාසලෙන් බදුල්ල මහා විද්‍යාලයට ශිෂ්‍යත්වය සමත්ව ආ පසුය. ඒ සිතුසේම රුහුණු විශ්වවිද්‍යාලයට ඇතුළත්ව වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන චින්තක මුල් පත්වීම ලබන්නේද ගම් පළාතටමය. ඔහු බදුල්ල මහරෝහලේ වසර දෙකක්ම සේවය කළේය. ඉන්පසු හිත්ගත් තරුණිය හා විවාහ වූයේය. කාලයාගේ ඇවෑමෙන් සුරතල් පුතෙකුට දයාබර පියෙකුද වුණේය. පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලට මාරුවීම් ලැබුණේ මීට මාස හතරකට කලිනි.

රටේ පවතින ඉන්ධන හිඟය වෛද්‍ය චින්තකටද බලපෑවේය. අත්‍යවශ්‍ය රාජකාරි වුවත් ඉන්ධන ලබාගන්නට පෝලිමේ සිටිය යුතු විය. දින දෙක තුනේ පෝලිමේ සිටියත්, සේවයට නොගොස් සිටින්නට නොහැකි වූයේ රෝහලේ දරු පැටවුන්ගේ මුහුණු සිහිවද්දීය. චින්තක වැඩ කළ වාට්ටුවේ දරුවන් කිහිපදෙනෙකුට ඒ වනවිට උණ වැළඳී තිබුණි.

ගිය මාසේ විසිපස්වෙනිදා වෙනකොට අපේ බබාටත් උණ හැදුනා. කොහොමහරි මහත්තයා දවස් දෙකක් තෙල් පෝලිමේ ඉලා එද්දි එයාටත් උණ හැදිලා තිබුණා. පහුවදා වෙද්දි මටත් උණ හැදුනා. උණ තිබුණත් මහත්තයා රාජකාරියට යන්න ඕන කිව්වා. වාහනේ අඩියේ තෙල් ටිකක් තියෙනවා, ඒක බයික් එකට ඇදගන්නවා කියලා කිව්වා. අයියටයි මල්ලිටයි කතා කරලා බටයක් ගෙනැත් තමයි තෙල් ඇදගෙන තිබුණේ. මෙයත් කට තියලා තෙල් ඇද්දා කියනවා. එහෙම තමයි තෙල් පෙනහළුවලට යන්න ඇත්තේ.

ඒ ඔහුගේ බිරිඳ තරුෂි හේරත් ය. ඇය කියනා පරිදි එසේ තෙල් ගත්තද හදිසියේම බදුල්ලේ ගෙදර යන්නට ඕනෑ යැයි කියා, චින්තක යළිත් තෙල් පෝලිමට ගොස් තිබේ. ඒ වනවිටද උණ වැළඳී සිටි වෛද්‍යවරයා ගෙදර ආවේ ඉන්ධන නොමැතිව පමණක් නොව රෝගයද හොඳටෝම උත්සන්නකොට ගෙනය.

ඊටපස්සේ මහත්තයට අමාරු වුණා. පළමුවෙන්ම ඇතුළත් කළේ පේරාදෙණිය ශික්ෂණ රෝහලට. ඉන්පස්සේ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළා. එයාගේ තත්ත්වය එන්න එන්න නරක අතට හැරුණා. ඒත් අපිට කතා කරන්න පුළුවන් අන්තිම වෙලාවෙත් එයා හිනාවෙලා කතා කළා. කොහොමහරි ජූලි 11 වෙනිදා තමයි මහත්තයා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කරලා යැව්වේ.

එසේ වෛද්‍ය චින්තකව කරාපිටිය රෝහලට මාරු කර හරින්නේ, කෘත්‍රිම ශ්වසනය ලබාදිය හැකි එක්මෝ යන්ත්‍රයක් ඇති එකම රෝහල එය වීම නිසාය.

චින්තක සුවවී ගෙදර එනතුරු තරුෂි බලා සිටියා සේම චින්තකටද ඕනෑවුණේ ඉක්මනින්ම සුවවී තම සුදු පුතුගේ මුහුණ දකින්නටය. ඒ බලාපොරොත්තු සියල්ල කැටිකර තරුෂි ඒ දින කිහිපයේ මුහුණුපොතටද ලීවාය.

බුදු සරණින් ඉක්මනින් සනීප වෙලා එන්න මගේ චින්. පුතා බලන් ඉන්නවා ඔයා ගෙදර එනකං

ඒ ප්‍රාර්ථනාවට මුහුණුපොතේද විවිධ ප්‍රාර්ථනා වැකි එක්කොට තිබුණත් චින්තක 14 වනදා එක්මෝ යන්ත්‍රය තුළම දෙනෙත් පියාගත්තේය. පුරුදු සිනහවත්, හිත පුරා ආදරයත් රැගෙන ඔහු ගෙට ගොඩවෙනු ඇතැයි තිබූ සිහින බොඳව යද්දී තරුෂිගේ හිත තවත් වැළපුණාය.

එයා නයිට් ඩියුටි දවසට පොඩි වෙලාවක් හරි වට්ස්ඇප් එකෙන් අපි එක්ක කතා කරනවා. අන්තිමට නයිට් එකට ගිය දවසේ උණ හැදිලා අමාරුවෙන් හිටියත්, ඒ හිනාවේ වෙනසක් තිබුණේ නැහැ. ඒත් දැන් හිතෙනවා එදත් එයා ගොඩක් අමාරුවෙන් ඉන්න ඇත්තෙ කියලා.

වෛද්‍ය චින්තකගේ මරණය සිදුවන්නේ නිව්මෝනියාවත් රුධිරයට විෂබීජයක් ඇතුළු වීමෙන් ඇතිවූ කම්පන තත්ත්වය හේතුවෙනුත් බව ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ය.

තිස් හැවිරිදි චින්තක වෛද්‍යවරයෙකු වශයෙන් වෘත්තීය අරඹා වැඩි කාලයක් නැත. රට වෙනුවෙන් බොහෝ කලක් සේවය කරන්නට අවස්ථාව තිබියදී අකාලයේ ජීවිතයෙන් සමුගෙන යන්නට ඔහුට සිදුවූයේ කොතැන නම් සිදුවූ වරදකින්ද? ඔහු ඉකුත් කාලයේ කොරෝනා රෝගයද වැළඳී ප්‍රතිකාර ලබා සුව වූයේය. ඉන්ෆ්ලුවෙන්සා රෝගයට ගොදුරු වී සිටියදී පෙට්‍රල් ගැටලුවට මුහුණ දුන්නේය. ඒ තෙහෙට්ටුවද ඔහුට නරක අතට බලපාන්නට ඇත. පෙට්‍රල් විෂ පෙනහළු තුළට ඇතුළු වූවාද යන්න හරියටම කියන්නට නොහැකි වූවාත් වටිනා ජීවිතයක් දැන් රටට අහිමි වී ගොස් අහවරය.

මගේ පුතා උත්හාසයෙන් ඉගෙනගෙන එයාගේ හීනය හැබෑ කරගත්තු කෙනෙක්. හාලිඇල ඩෙන්සිල් කොබ්බෑකඩුව ඉස්කෝලෙන් ශිෂ්‍යත්වය සමත් වෙලා තමයි බදුල්ල මහා විද්‍යාලයට ඇතුළත් වුණේ. කාටවත් කරදරයක් නැතුව පාඩුවේ ජීවත් වුණ දරුවෙක්. තෙල් අර්බුදය හින්දා අපිට අපේ රත්තරං පුතා නැතිවුණා. පුංචි පුතාට එයාගේ තාත්තා නැතිවුණා. රටට සේවයක් කරන්න හිටපු දරුවෙක්.

ඒ චින්තකගේ පියා වන ටී.එම්.අමරසූරිය මහතාය. ඔහුට වාගේම පවුලේ කිසිවෙකුටත් වෛද්‍ය චින්තකගේ වියෝව දරාගත නොහැකිය.

කරාපිටියේදී මියගිය වෛද්‍ය චින්තකගේ දේහය හාලිඇලට ගෙනෙන්නට යළිත් තෙල් ප්‍රශ්නය බලපෑවේය. ඔවුන් ඊට අවශ්‍ය ඉන්ධන සොයාගෙන ඇත්තේද බොහෝ වෙහෙස වීය. රජයේ වෛද්‍යවරයෙකු වුවද ඔහුගේ දේහය ගෙනයාමට ඉන්ධන සොයාගැනීම අත්‍යවශ්‍ය සේවාවක් නොවේයැයි කියා නොසලකා හැර තිබුණත්, එය මානුෂීයව සිතා බලන්නට තිබුණු කාරණයකි.

දැන් වෛද්‍ය චින්තක ජීවතුන් අතර නැත. එහෙත් ඔහු සියල්ලන්ටම පාඩමක් කියාදී ගොස් තිබේ. ඒ ඉන්ධන හිඟය කොතරම් බැරෑරුම් වුවත් ඊට තාවකාලික පිළියම් වශයෙන් මෙවැනි අවධානම් ක්‍රම අනුගමනය කිරීම ජීවිතයෙන් වන්දි ගෙවන්නට තරම් කාරණාවක් විය හැකි බවයි. කෙසේ නමුත් වෛද්‍ය චින්තක නැති අඩුව ආදරණීය බිරිඳටත්, පුංචි පුතුටත්, ඒ පවුලේ උදවියටත් බොහෝ කලක් හිත් රිදුම් දෙන කාරණයක් වනු නම් නොඅනුමානය.

 

ප්‍රසාද් එරංග