සුව දිවිය

සරු දිනවලට දරුපල ගන්න වදෙන් පොරෙන් ලිංගිකව එකතු වෙන්න එපා

ලිංගිකත්වය සම්බන්ධ කාරණා එළිපිට කතා කිරීම මහා අපරාධයක් බවයි තවමත් අපේ සමාජයේ බොහෝ දෙනා විශ්වාස කරන්නේ. මේ නිසාම ඊට අදාළ ගැටලු සහ ලෙඩරෝගවලට නිසි පිළියම් ලබා ගැනීමට ඔවුන්ට කිසිසේත් අවස්ථාවක් උදාවෙන්නේ නැත. ඒ පිළිබඳව කතාබහ නොකිරීම තුළින් නිර්මාණය වන්නේ අතෘප්තියත්, කුතුහලයත් පමණි. මේ නිසා සෞඛ්‍යමත් ලිංගික ජීවිතයක් පවත්වාගෙන යාම සහ ඒ ආශ්‍රිත ගැටලු සාකච්ඡා කිරීම සඳහා ලිංගික රෝග පිළිබඳ විශේෂඥ ප්‍රගීත් ප්‍රේමදාසගේ වෘත්තිය අත්දැකීම් සහ දැනුම ආශ්‍රයෙන් මේ ලිපි මාලාව සම්පාදනය වේ.

සචිනි, නයනත් එක්ක විවාහ වෙන්නේ දෙමව්පියන්ගේ දැඩි විරුද්ධත්වය මැද. නයනගේ පවුල ආර්ථික අතින් අස්ථාවරවීම තමයි ඒකට බලපෑව ප්‍රධානම හේතුව. අනික නයනටත් හරිහමන් රැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා විවාහ වෙච්චි මුල් දවස්වල ඉඳලම මේ යුවළට විවිධ ආර්ථික අපහසුතාවලට මුහුණපාන්න සිද්ධවුණා.

ඔය අතරවාරේ සචිනිත් රැකියාවක් හොයාගන්න නොසෑහෙන්න වෙහෙසුණා. ඇගේ මහන්සියේ ප්‍රතිඵල විදිහට විවාහවෙලා මාස තුනක් යන්නත් කලින් ඇයට සැලකිය හැකි වේතනයක් ලැබෙන රැකියාවක් ලැබුණා. සචිනිගේ හිතට විතරක් නෙමේ නයනගේ හිතටත් ඒක ලොකු අස්වැසිල්ලක් වුණා.

රැකියාවට ගිහින් මාසයක් විතර ගත වෙන කොට බලාපොරොත්තු නොවුණු විදිහට සචිනි අම්මා කෙනෙක් වෙන්න යන ලක්ෂණ පෙන්නුම් කළා.

සචිනි රැකියාවට අලුත් නිසා රැකියා ස්ථානයෙන් ඇය වෙනුවට වෙනත් අයෙක්ව සේවයට අනුයුක්ත කරගෙන තිබුණා. ඉතින් ආර්ථික ගැටලුත් එක්ක දරුවෙක් ලැබෙන්න යන එක මේ දෙපළටම ලොකු පීඩනයක් වුණා.

මේ ගැටලු සියල්ලෙම අවසාන ප්‍රතිඵය විදිහට සචිනිට දරු ප්‍රසූතියෙන් පස්සේ පසු ප්‍රසව විශාදය (ගැබිනි මවකට දරුවා ලැබීමට ආසන්නයේදී නැතිනම් දරුවා ලැබුණු පසු මානසිකව ඇතිවන පීඩාකාරී තත්ත්වයකි) ඇතිවී තිබුණා. සායනයේදි උපදේශන සහ ප්‍රතිකාර මගින් ඇයව යථා තත්ත්වයට පත් කරන්න අපිට පුළුවන් වුණා. විවාහය නිසා අමනාපයෙන් සිටි ඇගේ දෙමව්පියන් සහ සැමියා සමගත් කතාබහ කරලා ඇයට උපකාර අවශ්‍ය බව පැහැදිලි කළා.

එදිනෙදා ජීවිතයේ පුංචි දේ පවා සැලසුම් කළත් නිසි විදිහට දරු උපතක් සැලසුම් නොකරන උදවිය සුලබයි. සචිනිගේ කතාවෙන් පැහැදිලි වුණේ සූදානමකින් තොර දරු උපතක් නිසා ඇති වෙන්න පුළුවන් ගැටලු කිහිපයක් විතරයි. ඒ නිසා ආවට ගියාට නැතුව සැලසුම් කරල නිරෝගිමත් දරුවෙක් රටට දායාද කරන්නේ කොහොමද කියන එක අද ලිපියෙන් කතාකරන්නම්.

මුලින්ම පවුලට දරුවෙක් අවශ්‍ය කාලසීමාව තීරණය කරන්න. ගොඩක් අය දරුවෝ හදන්නේ පවුලේ වැඩිහිටියන්ගේ වුවමනාවට. නැත්නම් මිනිස්සු විවිධ දේ කියන නිසා. පවුලට දරුවෙක් අවශ්‍ය කොයි කාලයේදීද කියන එක දරුවගේ මව සහ පියා විසින් තීරණය කළ යුත්තක්. ඒ වගේම පුළුවන්නම් දරුවෙක් හදන්න කලින් ටිකක් මූල්‍යමය වශයෙන් ස්ථාවර වෙන්න පුළුවන් නම් හොඳයි. අඩු තරමේ දරුවගේ අවශ්‍යතා සපුරාගන්න පුළුවන් තරමටවත්.

දරුගැබ බලාපොරොත්තු වෙන මව සහ පියා කායිකවත් මානසිකවත් එයට සූදානම් වෙන්න ඕනේ. විශේෂයෙන් කාන්තාව ඒ වගේම එතැනදි ඇයට පූර්ණ සහයෝගය දෙන එක සැමියාගේ වගකීම.

තමන් දැනට උපත්පාලන ක්‍රමවේදයක් භාවිත කරනවා නම් ඒක නතර කරන එක තමයි මූලිකම දේ. උපත්පාලන එන්නත් භාවිත කරන කෙනෙක් නම් දරු උපත බලාපොරෙත්තු වෙන කාලයට මාස තුනකට කලින් එන්නත නතර කරන්න ඕනේ. ජඩෙල් එතකොට උපත් පාලන පෙති වගේ දේ නම් දරු උපතකට මාසයකට කලින් නැවැත්තුවහම ප්‍රමාණවත්.

ඒ වගේම දරුගැබක් පතන මවකට තමන්ට තියෙන රෝගාබාධ ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග වගේ ගැටලු තියෙනවා නම් ගර්භණී වීමට පෙරාතුව ඒවා මැනවින් පාලනය කරගන්න ඕනේ. නැතිනම් අජීවී දරු උපතක් වගේම දරු උපතේදී මවට වගේම දරුවාටත් සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වෛද්‍යවරයෙක් හමුවෙලා ඒ දේවල් දැනුවත් කරන්න. ඒ වගේම දීර්ඝ කාලීන ඖෂධ ලබාගන්නවා නම් ඒ ගැනත් ඔහුට කියන්න.

ගැබිනි මවකගේ බර වැඩිවීම ගැබිනි සමයේදී දියවැඩියාව ඇති වෙන්න හේතු වෙනවා. පමණට වඩා කෘෂ වීමෙනුත් අම්මට වගේම බබාටත් විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා දරුවෙක් බලාපොරොත්තු වෙන කාන්තාවක් හැම වෙලාවෙම උසට සරිලන බරක් පවත්වාගන්න එක වැදගත්. විවාහයෙන් මුල් කාලේ ඉඳලම සමබර ආහාර වේලක් ලබාගැනීම සහ නිසි ව්‍යායාම ගැන අවධානය යොමු කරන එක තමයි හොඳම දේ.

තමන්ගේ සහකරුවා නැත්නම් තමන් ලිංගාශ්‍රිත රෝග සම්බන්ධ අවදානමක හිටියා නම් ලිංගාශ්‍රිත රෝග ගැන පූර්ව පරීක්ෂාවකට යොමු වෙන එක වෙනමම දෙයක්. මොකද HIV, සිෆිලස්, ගොනෝරියාව වගේ ලිංගාශ්‍රිත බෝවන රෝග ගර්භණී කාලයේදී මවට වගේම දරුවටත් ඉහළ අවදානම ඇති කරනවා. ඒ ගැනත් අපි මීට කලින් කතා කළා මතක ඇති. ඉතින් ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලවලින් මේ සම්බන්ධ පරීක්ෂණ නොමිලේම කරගන්න පුළුවන්. ඒ වගේම මේ වෙනකොට හැම ගැබිනි මවක්ම අර පෙර කී ලිංගාශ්‍රිත රෝග සම්බන්ධ පරීක්ෂණවලට අනිවාර්යයෙන්ම යොමු කරන බවත් කියන්න ඕනේ.

ඊළඟ කාරණාව මව පැපොල සහ රුබෙල්ලා එන්නත් ලබාගෙන තියෙනවද යන වග. මේ ප්‍රතිශක්තිකරණ එන්නත් කුඩා කාලෙදිම අපිට ලබාදෙනවා. යම් හෙයකින් මේ එන්නත් ලබාගෙන නැත්නම් දරුඋපතකට පෙරාතුව එන්නත් ලබාගැනීම වැදගත්. නැත්නම් ඒ මගින් දරුවට විවිධ සංකූලතා ඇති වෙන්න පුළුවන්. ‘‘මේවා ගහලද නැද්ද කියලා හොයාගන්නෙ කොහොමද?’’ කියලා දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. අදාළ එන්නත් කාඩ්පත් නැත්නම් වෛද්‍යවරයාට දැනුවත් කරන්න. යම් යම් පරීකෂණ මගින් ඔහුට ඒ බව හොයාගන්න පුළුවන්. යම් හෙයකින් එන්නත් අලුතින් ලබා ගන්නවා නම් ඒ ලබාගත් විගස දරුවෙක් හදන්න යොමු වෙන්න එපා. ඒ සඳහා තව මාසයක පමණ කාලයක් ලබාදෙන්න ඕනේ.

දරුවෙක්ගේ මොලයේ වර්ධනයට වගේම වැඩීමටත් ස්නායු පද්ධතියේ වැඩීමටත් ෆෝලික් ඇසිඩ් සහ යකඩ අවශ්‍යයි. ඉතින් දරුවෙක් බලාපොරොත්තු වෙන අම්මා කෙනෙක් උපත්පාලනය නතර කරනකොටම ෆෝලික් ඇසිඩ් සහ යකඩ අමතර පෝෂක ලබාගන්න ඕනේ. රජයේ මාතෘ සායනවලින් ඒවා නොමිලේම ලබාගන්න පුළුවන්.

මම කිව්ව මේ කරුණු ගැන අවධානය යොමු කරනවාට අමතරව තමන්ගේ ඔසප් චක්‍රය ගැනත් හොඳ දැනුවත් බවක් තියාගන්න. සමහර කාන්තාවන් ඉන්නවා තමන්ගේ ඔසප් දිනයවත් හරියට නොදන්න. සරු දින හොයාගන්න ඔසප් චක්‍රය හරිම වැදගත්. ලිංගිකව එකතු වුණොත් දරුගැබක් පිහිටන්න වැඩි සම්භාවිතාවක් තියෙන කාලයට තමයි සරු කාලය කියන්නේ.

සාමාන්‍යයෙන් නිරෝගී කාන්තාවකට ඔසප්වීම සිදුවෙන්නේ දින 28කට වරක්. විවිධ ගැටලු නිසා මේ දින වෙනස් වෙන කාන්තාවොත් ඉන්නවා. දින 28කට වරක් ඔසප් වීම සිද්ධවෙන කෙනෙක් නම් සරු කාලය (ඩිම්බ මෝචනය) හොයාගන්නේ මෙහෙමයි.

ඊළඟට ඔසප් වෙන්න තියෙන දිනයේ ඉඳලා දවස් 14ක් ආපස්සට ගණනය කළාම ලැබෙන දිනය ආසන්න වශයෙන් ඩිම්බ මෝචනය වෙන දවස වශයෙන් ගන්න පුළුවන්. ඩිම්බය මෝචනය වුණාට පස්සේ පැය 24ක කාලයක් ගර්භාෂයේ පවතිනවා. ශුක්‍රාණුවක් නම් පැය 72ක පමණ කාලයක් ජීවීව පවතිනවා.

ඉතින් ඩිම්බය හා ශුක්‍රාණුව එකට එකතු වෙන්න ඕනේ මේ කාල පරාසයේදීයි. කාන්තාවන්ගේ සරු දින හොයාගන්න දැන් විවිධ දුරකථන යෙදවුම් පවා තියෙනවා. ඒ නිසා ඒක ඒ හැටි අපහසු කාර්යයක් නෙමෙයි.

ඉතින් එහෙමයි කියලා සරු දිනවලදි දරුවෙක් හදන්න ඕනේ කියලා හිත හිතා පීඩනයෙන් ලිංගිකව එකතු වෙන්න යන්න එපා. ඒ වගේ සිතුවිලි මානසිකව බලපාන්න ඉඩ තියෙනවා. දරුවෝ හදන්න හිතාගෙන දැඩි පීඩනයකින් එකතු වුණොත් ලිංගික අකර්මන්‍යතා පවා ඇති වෙන්න බැරි නැහැ. ඒ නිසා මේක දෙන්නගෙම අවශ්‍යතාවක් කරගෙන ආදරෙන් ආශාවෙන් ඒ දවස්වලදි එකතු වෙන්න.

එහෙම කාලයක් යනතුරුත් එක්වෙද්දි දරු ගැබක් පිහිටනේනේ නැතිනම් අවශ්‍ය පරීක්ෂණවලට යොමු වෙලා දරු උපත් සම්බන්ධයෙන් ගැටලු තියෙනවද කියලා බලන්න ඕනේ. එහෙම ගැටලු තියෙනවා නම් නළදරු උපත් (IVF) IUI (ගුණාත්මක ශුක්‍රාණු තෝරා ගුණාත්මක බව වැඩි කර ගර්භාෂයේ තැම්පත් කිරීම) වගේ ප්‍රතිකාර ලබාගන්න පුළුවන්.

දරුවෙක් හදන එක කාන්තාවකගේ විතරක් වගකීමක් නෙමෙයි. පවුලක බිරිඳට වගේම සැමියාටත් ඒ සම්බන්ධයෙන් විශාල වගකීමක් තියෙනවා. දියවැඩියාව, මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය දරු පිළිසිඳ ගැනීමට බාධා ඇති කරනවා. ඉතින් තාත්තා කෙනෙක් වෙන්න අවශ්‍ය නම් ඒ දේවල් ගැනත් හිතන්න.

විවාහ වුණ හැටියේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව යටතේ ලියාපදිංචි වෙනවා නම් දරු උපතකට පූර්ව උපදෙස් ඒ හරහා ලබා ගන්න පුළුවන්. ඒවගේම මේ සම්බන්ධ වැඩසටහන්, උපදේශන මාලා ප්‍රාදේශීය වෛද්‍ය කාර්යාලයෙන් වුණත් නොමිලේම ලබා ගන්න පුළුවන්.

ඉතින් මේ දේවල් ගැන දැනුවත් වෙලා හරියට සැලසුම් කිරීම කායිකවත් මානසිකවත් නිරෝගී දරුවෙක් ලබන්න හේතු වෙනවා.

ප්‍රගීත් ප්‍රේමදාස – ලිංගික සෞඛ්‍ය පිළිබඳව විශේෂඥ වෛද්‍ය

සෙව්වන්දි හෙට්ටිආරච්චි