විශේෂාංග

‘සැකය’ කියන්නේ ආදරේ කොටසක්ද?

බස් නැවතුමට ආ රන්දුලී වටපිට බැලුවේ ගිම්හාන පැමිණ ඇද්දැයි බලන්නටය. ඔහු කී වේලාව අනුව නම් මේ වනවිට පැමිණ සිටිය යුතුය.

රන්දුලීත් ගිම්හානත් පෙම්වතුන් වී වැඩි දවසක් නැතත් උදේට බස් නැවතුමේදී හමුවීම පුරුද්දක්ව තිබුණි. රන්දුලී වැඩකළේ කොල්ලුපිටියේ කාර්යාලයකය. ගිම්හානගේ කාර්යාලය තිබුණේ කොහුවලය. දෙදෙනා වෙන වෙනම බස්වල යා යුතු වුවත්, උදෑසන සිදුවන මෙම හමුව දෙදෙනාටම අස්වැසිල්ලක් විය.

මිස් වෙලාව කීයද?” ඒ හඬ තමන් අසළ සිටි තරුණයාගෙනි. රන්දුලී මද සිනහවක් පා ඔහුට වෙලාව කියා හිස ඔසවද්දිම දුටුවේ ගිම්හානය. ඔහු මුහුණ තරහින් පුරවාගෙන තමා දෙස බලා සිටිනු ඈ දුටුවේ එවිටයි.

ගිම්හාන, ළඟට එනකල් දැක්කෙ නෑ.”

රන්දුලී පෙම්වතාගේ තරහින් පිරුණු මුහුණ දෙස බලමින් කීවාය.

පේන්න ඉතින් අවධානෙන් ඉන්න එපැයි. එක එකා එක්ක බස් හෝල්ට්වල වෙන වෙන කතාවල්නේ.”

ගිම්හානගේ හඬ රන්දුලීට පමණක් නොව ඒ මොහොතේ බස් නැවතුමේ සිටි සියල්ලන්ටම වාගේ ඇසෙන්නට ඇත. මොහොතකට පෙර තමාගෙන් වෙලාව විමසූ තරුණයාද තමන් දෙස බලා සිටිනු රන්දුලී දුටුවාය.

මොනවද මේ කියන්නෙ ගිම්හාන?

මං දැක්කනෙ ඇස් දෙකෙන්ම. මම අර ත්‍රීවිල් එකේ ඉඳන් ඔක්කොම බලාගෙන හිටියේඇස් කරක කරක බලන හැටි දැක්කා.

රන්දුලීගේ දෙනෙතට ආවේ කඳුළකි. ගිම්හාන වෙනදාට එන පාර දෙපස කිහිපවිටක් බැලූ බව ඇත්තය. ඒ වෙනත් අයෙකු සොයන්නට නොව ගිම්හාන එන්නේදැයි බලන්නටය.

කෙසේ නමුත් ගිම්හානගේ මෙම හැසිරීමෙන් රන්දුලී තිගැස්සුණාය. ඒ ඔහු මීට දින දෙක තුනකට පෙර තමා යන බසයේම, තමාට නොපෙනෙන්නට පැමිණි බව කී අයුරු මතක් වීය.

ගිම්හාන ඔයාට හැංගිලා ඉඳලා අල්ලන්න තරම් වැරදි වැඩ මං කරන්නේ නැහැ. ඇයි මෙහෙම හැසිරෙන්නේ?”

රන්දුලිගේ හඬ බිඳී තිබුණි.

ඒත් මොකටද එහෙනං එක එකා එක්ක කතාවට යන්නේ?”

කතාවට ගියේ නෑ. ඒ මනුස්සයා වෙලාව ඇහුවා. මං කිව්වා.”

ඔව්වෙලාව අහලා තමයි පටන්ගන්නේ. ඊටපස්සේ තමයි හඳහන් බලන්නේ.”

ඇයට ආගන්තුක තරුණයා දෙස බැලිණි. ඔහුද මේ ආරවුල දෙස බලා සිටියේය. එය ගිම්හානත් දුටුවේය.

උඹ මොකද යකෝ මගේ කෙල්ල දිහා බලන්නේ?

ඊළඟට ගිම්හාන කඩාපැන්නේ නාඳුනන තරුණයා වෙතය. ඇස් ඇත්තේ බලන්නට නමුදු, රන්දුලී දෙස කවුරුනුත් බලනවාට ගිම්හාන කැමති නැත.

මේ නංගි මේකා ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ද..? මේකව දොස්තර කෙනෙක්ට පෙන්නලා ඉන්න

එසේ කිවු ආගන්තුකයා බසයට නැගුනේය. රන්දුලීට එම බසයට ගොඩවෙන්නට ගිම්හාන ඉඩ දුන්නේ නැත. ඇයට එම බසයේම යාමට හේතුවක් තිබුණේද නැත. බස් නැවතුමේ ටික වෙලාවක් සිටියදී ගිම්හානගේ කෝපය අඩුවී ගියේය.

ගිම්හාන රන්දුලීව ඊළඟ බසයට ගොඩකළේ ඇගේ හිස අතගාමිනි. අනතුරුව ඔහුද කාර්යාලයට යා යුතු බසයට නැගුනේය. ‘ආදරේ වැඩි නිසා මෙහෙම වෙනවා ඇති.. ටික දවසකින් හරියාවි.’ රන්දුලී සිතන්නට වූවාය. එහෙත් මොහොතකට පෙර බස් නැවතුමේ සිටි ආගන්තුකයා කීවේ ගිම්හානව මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයෙකුට පෙන්වන ලෙස නොවේද?

මේ තත්ත්වය, ලිංගික ඊර්ෂ්‍යාව මත ඇතිවන සැකයක්. හැබැයි ඊට නිශ්චිත හේතුවක් නැහැ. මිථ්‍යා ඊර්ෂ්‍යාව (Delusional Jealousy), රෝගාතුර ඊර්ෂ්‍යාව කියන මේ මොන නමින් හැඳින්වුවත් හේතුවක් නැතුව ඇතිවන සැකය ආදරයේ කොටසක් නෙවෙයි. එය බොහෝදෙනා වැරදි ලෙසට වටහාගන්නවා.

ආදරය කරද්දී ඒ ආදරය ගැන තියෙන හැඟීම තමන්ට හොඳින් දැනුණට, ආදරය වැඩිකම එක්ක එන ගැටලු පිළිබඳව අවබෝධයක් බොහෝදෙනෙකුට නැහැ. ඒ වගේම සමහරු හිතනවා ආදරය එක්ක සැකයක් තියෙන්න ඕන කියලා. එහෙම වැරදි අවබෝධයකින් පසුවෙන අය ඉන්නවා. මෙතැනදි සැක කරන එක, තමන් කොහේ ගියත් යන එන වෙලාවල් සොයා බලන එක, ඒ ගමන් ගැන වගේම යන එන අය ගැන ප්‍රශ්න කරන එක, එහෙම නැත්නම් රහසේ පසුපස ඇවිත් ඒ ගැන සොයන එක ආදරේම කොටසක් කියලා හිතනවා. ඒ වගේම එහෙම නොකරන සහකරුවෙක් ගැන තව කෙනෙකුට හිතෙන්න පුළුවන්, මෙයා මං යන කිසිම ගමනක් ගැන හොයන්නෙත් නැහැ, අහන්නෙත් නෑ ඒ නිසා මෙයා මට ආදරේ නැතුවැති කියලා.

නමුත් එතැනදි ආදරයේ අඩුකමක් නෙවෙයි ඒක දෙදෙනා අතර ඇති අවබෝධය, වටහාගැනීම වෙන්න පුළුවන්. සාමාන්‍ය ලෙස කටයුතු කරන, සාමාන්‍ය මානසිකත්වයකදී මෙම තත්ත්වය වටහාගැනීමට හැකියාව තියෙනවා.

එහෙම නැතුව මේ කියන නිශ්චිත හේතු නැති සැකය එක්ක, දෙන්නට එකට ගමනක් බිමනක් යන්නවත් බෑ. ගෑනු ළමයා දිහා පිරිමි ළමයෙක් බැලුවනම් ඒ දෙන්නටම බැනලා රණ්ඩුවෙලා ප්‍රශ්න ගොඩයි. ඒ වගේම දෙන්නාට වෙන වෙනම ගමනක් බිමනක් යන්නත් බෑ. මොකද වෙන කවුරුහරි මෙයා දිහා බලයි, මෙයාට කිට්ටු වෙයි කියලා හිතින් හදාගන්න සැකය නිසා රණ්ඩු හැදෙනවා

ඒ කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රුමී රූබන් මහතායි.

ඔහු පෙන්වා දෙන්නේ පෙම්වතුන් වාගේම, පෙම්වතියන්ද මෙම තත්ත්වයට මුහුණ දෙන බවයි. ඇතැමුන් පෙම්වතියගේ හෝ පෙම්වතාගේ මෙවන් මානසික හිරිහැරවලට ලක්වෙමින්, ඒ කරදර ඉවසමින් සිටින්නේ, විවාහයෙන් පසු සියල්ල යහපත් අතට පත්වේයැයි යන අදහසිනි. එහෙත් මෙම සැකය එසේ අවසන් වන්නක් නොවේ.

මේ සැකය ඇතිවෙන්නේම තමන්ගේ පෙම්වතියගේ, පෙම්වතාගේ ආදරය අඩුවේවි, වෙනත් කෙනෙකුට ඒ ආදරය හිමිවේවි කියන බය එක්කයි. එය විවිධ ආකාරයට එම පුද්ගලයාට බලපාන්න පුළුවන්. හැබැයි මේකට හේතුවක් නැහැ. මුලදි ඇතිවෙන්නේ සාමාන්‍ය සැකයක් වෙන්න පුළුවන්. ඊටපස්සේ එම හැඟීම ඔඩුදුවා ගිහින් එය මානසික රෝගයක් බවට පත්වෙනවා. සැකය කියන දේ ගත්තම සාමාන්‍යයෙන් සංස්කෘතිකයි. අපි ඇතුළු ආසියා රටවල මෙය වැඩිපුර දකින්න ලැබුණත් බටහිර රටවල ඒ තත්ත්වය වෙනස්. ඔවුන් තමන්ගේ පෙම්වතා පෙම්වතිය වෙන කෙනෙක් එක්ක ගමනක් බිමනක් ගියා කියලා සැක කරන්නේ නැහැ. ලංකාව වගේ රටවල කරන්නම දෙයක් නැතිකමට ඒ වගේ අවස්ථා දරාගන්න අයත් ඉන්නවා. එහෙම නැත්නම්, යම් සැකයක් ආවොත් ඒ ගැන ප්‍රශ්න කරනවා. මෙතැනදී සමහර පුද්ගලයෝ අනාගතේ දවසක ගැටලුවක් ඇතිවේවි කියලා උපකල්පනය කරලා, ඊට කලින් ගන්න ක්‍රියාමාර්ගයක් ලෙසත් සැක කරන්නත් පුළුවන්.

එසේ අනාගතයට ආරක්ෂිත පියවරක් ලෙස සිතා ඇතැමුන් ක්‍රියා කරනු ලැබූවත් සාධාරණ සැකයකට එහා ගිය සැක කිරීම් බොහෝ අවස්ථාවල ජීවිතවලට ගෙනෙන්නේ දුකක්, කරදරයක්, පසුතැවීමක්, නැත්නම් ජීවිත හානි පමණි.

මෙලෙස අහේතුක සැකයක් ඇතිවන්නේ ආත්ම විශ්වාසයේ අඩුපාඩුකම්, ආදරයේ අඩුපාඩුකම් සේම, ආදර සබඳතාවක තිබිය යුතු ගුණාංග නැතිකම හේතුවෙනි. කෙසේ නමුත් සැකය සැමවිටම මානසික රෝගයක් නිසා හටගන්නක් නොවූවද, දීර්ඝකාලීනව එම තත්ත්වයන් නිසා පීඩා විඳිනවා නම් මනෝ වෛද්‍ය උපදෙස් වාගේම ඖෂධ ප්‍රතිකාර කරා අදාළ පුද්ගලයා යොමු කරවීම වැදගත්ය.

දීපා වසන්ති එදිරිසිංහ