විශේෂාංග

දුකට සැපට හැමදේටම ඉන්න ‘කුකුළා’ තමයි මගෙ පණ… – ඩුනීෂා පියුමි ප්‍රාර්ථනා

90 දශකයේ ජනප්‍රිය වුණ ටෙලිනාට්‍යය අතරේ ඉතා ජනප්‍රිය වුණු ටෙලිනාට්‍යයක් තමයි ‘රතුරෝස’ කියන්නේ. රතුරෝස ලස්සන වුණේ චාපාගෙයි සරත්ගෙයි ආදර කතාව නිසා. ඔය කතාවේ චාපා හැටියට රඟපෑවේ වන්දනා ලියනාරච්චි. සරත් වුණේ කමල් අද්දරආරච්චි. ඒ කාලේ විතරක් නෙවෙයි අදටත් මේ දෙන්නම මිනිස්සු අතරේ බොහොම ජනප්‍රියයි. ඒ කාලෙ වන්දනාගේ හිනාවට වහ වැටිලා කට්ටිය ප්‍රේම යෝජනා පවා එව්වලු. ඔය අතරේ වන්දනාගේ රඟපෑම දැකලා හංවැල්ල පැත්තෙ තරුණියකට වෙන විදියක බලාපොරොත්තුවක් ඇති වුණාලු. ඒ තමයි කවදහරි දවසක ඇයට දුවෙක් ඉපදුණොත් වන්දනා වගේ දක්ෂ නිළියක් කරනවා කියන එක. පස්සේ කාලෙක ඒ තරුණිය විවාහවෙලා ඇය හිතපු විදියටම ඇයට  දුවෙක් ලැබුණා. අවසානයේ ඇය දැකපු හීනේ සම්පූර්ණයෙන්ම හැබෑ කරලා 2024 වෙද්දී ඒ දුව ටෙලිතිරේ වගේම රිදීතිරයෙත් දක්ෂ නිළියක් බවට පත්වුණා. ඒ අම්මාගේ හීනේ හැබෑ කරපු ඒ දුවගේ නම තමයි ඩුනීෂා පියුමි ප්‍රාර්ථනා.

‘නාඩගම්කරයෝ’ ටෙලිනාට්‍යයේ ටීනා අක්කා, ‘හිත ළඟ හිනහුණා’ කිරුළි, ‘නිකිණි කුසුම්’ ටෙලිනාට්‍යයේ චාමිනී වගේම ‘අපේ ප්‍රින්සිපල්’ චිත්‍රපටයේ කාවින්ද්‍යාගේ  චරිතයටත් පණ පෙවූ ඩුනීෂා නිරූපණ ශිල්පිනියක් විදියටත් මේ දවස්වල ප්‍රසිද්ධයි. හැබැයි ඒ ප්‍රසිද්ධිය ඇයට එක දවසකින් ලැබුණ දෙයක් නම් නෙවෙයි. ඒක අවුරුදු ගාණක මහන්සියේ වගේම කැපවීමේත් ප්‍රතිඵලයක් කියලයි ඩුනීෂා අපිත් එක්ක කිව්වේ. ඒ නිසා බිංදුවෙන් පටන් අරන් තමන්ගේ හීන සැබෑ කරගනිමින් ඉන්න ඇය වෙනුවෙන් ‘ධරණී’ කවරයේ ඉඩක් වෙන්කරන්න අපි හිතුවා.

“මම මුලින්ම ටෙලි නාට්‍යයක රඟපෑවේ 2015 අවුරුද්දේ. පාසල් යන ගමන් තමයි ඒ වැඩකටයුතුවලට මම සම්බන්ධ වුණේ. මුලදි මට ලැබුණේ දෙබස්වත් නැති පුංචි පුංචි චරිත. ඇත්තටම මම ඒ චරිතවලට පවා රඟපාන්නේ ගියේ මුදලක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මට ඊට වඩා ලොකුම සතුට වුණේ දෙබස් නැති චරිතයක් විදියට හරි රූපවාහිනී තිරයෙන් මාව දකින එක. එහෙම දකින්න තත්පර ගාණක පුංචි චරිතයක් වෙනුවෙන් මම මුළු දවසම බලාගෙන ඉන්නවා.”

ඩුනීෂා එහෙම කියද්දී මට මතක් වුණේ සරත් කොතලාවල මහත්තයයි කුමාර තිරිමාදුර මහත්තයයි රූපවාහිනී වැඩසටහනකට ඇවිත් කියපු කතාවක්. දවස්වල දෙන්නම වැඩ කරලා තිබුණේ පත්තර කන්තෝරුවක. ඒ වැඩ කරන ගමන් තමයි දෙන්නා ටෙලිනාට්‍යය වැඩවලටත් ගිහින් තිබුණේ. සමහර දවස්වලට අතේ සතේ නැතුවත් කිලෝමීටර් ගාණක් පයින් යනවලු. ටෙලිනාට්‍ය උණ හැදුණම කොහොමත් එහෙම වෙනවා කියලයි ඒ දෙන්නම වැඩසටහනේදී කිව්වේ. ඉතිං ඒ උණම තමයි ඩුනීෂාටත් හැදිලා තිබුණේ.

“ඒ කාලේ අද වගේ ප්‍රවාහන පහසුකම් තිබුණේ නැහැ. එතකොට ඒ රූගත කිරීම් අවසන් කරලා ගොඩක් වෙලාවට එන්න වෙන්නේ පයින් එහෙමත් නැත්නම් බස් එකේ. සමහර දවස්වලට බස් නැතුව මටයි අම්මටයි බස් නැවතුම්පොළවල්වල එළිවෙනකම් බලන් ඉන්න වෙච්ච අවස්ථා තිබුණා. මුල් දවස්වල අම්මා මාත් එක්ක ආවත් පස්සේ එන එක නතර කළා. මිනිස්සු එක්ක ගැටිලා මට ඒ වෙද්දි ගොඩක් අත්දැකීම් තිබුණා. ඒ දේවල් එක්ක ආශ්‍රය කරන්න සුදුසු නුසුදුසු මිනිස්සුන්ව අඳුරගන්න මට අපහසු වුණේ නැහැ. ඒක නිසා මොන ප්‍රශ්නෙ බාධකය ආවත් ඒ හැමදේටම හොඳින් මුහුණ දෙන්න මට පුළුවන් වුණා.”

ජීවිතයට ප්‍රශ්න එන්නේ ඔබව විනාශ කිරීමට නොව ඔබ තුළ සැඟවුණු ශක්තින් හඳුනාගන්න යැයි කියලා ඉන්දියාවේ අබ්දුල් කලාම් මහත්තයා වරක් කියලා තිබුණා. ඒ කිව්වා වගේම ඩුනීෂාත් කලා ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බාධාවක් වුණ හැමදෙයක්ම ආශිර්වාදයක් කරගෙන ඉදිරියටම ඇවිත් තිබුණා.

“පොඩි චරිත කර කර හිටපු මට ඊටපස්සේ අවස්ථාව ලැබුණා නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ටීනා අක්කාගේ චරිතය රඟපාන්න. ඊටපස්සෙ හිත ළඟ හිනහුණා ටෙලි නාට්‍යයේ කිරුලි චරිතයට රංගනයෙන් දායක වුණා. හැබැයි ඒක මට ලොකු අභියෝගයක් වුණා. මොකද ඒ චරිතය කළින් කළේ ශනායා. වෙන කෙනෙක් කරපු චරිතයක් මගෙන් ප්‍රේක්ෂකයා කොහොම බලාපොරොත්තු වෙයිද කියන එක මට ලොකු අභියෝගයක් වුණා. ඒත් මම මගේ අඩුපාඩු හදාගෙන ඒ අභියෝගයටත් මූණ දුන්නා. පස්සේ ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා.”

ඒ හැම චරිතයක්ම සතුටින් භාරගෙන කළත් ඇය ආසාවෙන් බලාගෙන ඉන්නේ කවදහරි දවසක ගැමි  තරුණියකගේ චරිතයක් ලැබෙනකන්ලු. ඒ ආසාවල් එක්ක රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට ගමනක් යන්න හිතුවත් ඩුනීෂාගේ පුංචි කාලෙ හීනෙ වෙලා තිබුණේ නම් වෛද්‍යවරියක් වෙන එකයි.

“වෛද්‍යවරියක් වෙන්න මම හීන දැක්කත් එක තැනකදි මට ඒ හීනේ අතාරින්න සිද්ධ වුණා. ඔපරේෂන් කරන වීඩියෝ එකක් දැකලා මම ඒකට ගොඩක් සංවේදී වුණා. ඊටපස්සේ මම හිතුවා වෛද්‍යවරියක් වෙන්න බැරි වුණත් ඖෂධවේදිනියක් වෙන්න පුළුවන් නේද කියලා. ඒක නිසා මේ වෙද්දි මම ඖෂධවේදියෙක් වෙන්න ඉගෙනගන්න ගමන් ඉන්නෙ. ඒ ඉගෙනගන්න ගමන් තමයි මම මේ ක්ෂේත්‍රයේ වැඩකටයුතුත් කරගෙන යන්නේ. මොකද මගේ අම්මගෙත් ලොකු හීනයක් තමයි කවදහරි දවසක මාව රූපවාහිනියෙන් නිළියක් විදියට  දකින එකයි. අම්මට ඒකට පුදුම උනන්දුවක් තිබුණේ. වෛද්‍යවරියක් වෙන්න බැරි වුණත් මට අම්මාගේ හීනේ හැබෑ කරන්න පුළුවන් කියන හැඟීම තිබුණා. අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගෙ හීනයක් හැබෑ කරලා ඒ ලැබෙන සතුට ඇත්තටම වචන කරන්න බැහැ. ඒ නිසා අම්මගෙ හීන හැබෑ කරන්න මම දෙපාරක් හිතුවේ නැහැ.”

ඒ විදියට අම්මාගේ හීනේ හැබෑ කරන්න රංගනයෙන් පෙරට ආපු ඇය නිරූපණයටත් අත්පොත් තබලා තිබුණා. ඒ 2016 අවුරුද්දේ ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය තරඟයට සහභාගී වීමත් සමඟයි. හැබැයි ඒ තරඟයෙන් ඇය තේරිලා තිබුණේ අවසන් වටයටයි. නමුත් එතැනින් තමන්ගේ උත්සාහය අත් නොහැරිය ඩුනීෂා 2017 වගේම 2018 අවුරුද්දේත් අවුරුදු කුමරිය තරඟයට සහභාගි වුණාලු.

“කොයි මොහොතක හරි මම අවුරුදු කුමරිය කිරුළක් දරනවා කියන තැන මම හිටියා. පළවැනි අවස්ථාවෙදී ඉඩක් නොලැබුණත් මම ආපහු උත්සාහ කරලා බැලුවා. දෙවැනිපාරත් මම තේරුනේ අවසන් වටයට විතරයි. ඒත් මම මගේ හීන අතහැරියේ නැහැ. 2018 අවුරුද්දෙත් මම අවුරුද්දට කුමරිය තරඟයට සහභාගි වුණා. ඒකෙන් මම දෙවැනි ස්ථානය ලබාගත්තා. ඊටපස්සේ ලංකාවේ පැවැත්වුණු නිරූපණ තරඟාවලි කිහිපයකටත් මම සහභාගි වුණා. Miss Diamond Queen 2018, Miss Regency Queen 2019 වුණ ඒ තරඟවලිනුත් මම ජයග්‍රහණය කළා. ඊටපස්සේ මම නිරූපණ ශිල්පිනියක් විදියටත් වැඩ කරන්න පටන්ගත්තා.”

තට්ටු කරන්නාට දොර ඇරෙයි කියන කියමනෙන් කියන්නෙත් උත්සාහ කරන්නාට කොයි මොහොතක හරි අවස්ථාව ලැබෙනවා කියලනේ. ඩුනීෂාත් විශ්වාස කරපු එකම දේත් අන්න ඒකයි.

“පුංචි කාලේ ඉදලම මම හැමදේටම ඉදිරිපත් වුණා. දිනුවත් පැරදුණත් මට ඕන වුණේ ඉදිරිපත් වෙලා හරි බලන්න. මම හිතනවා එදා ඒ විදියට ඉදිරිපත් වෙලා ලබපු පන්නරේ තමයි අදටත් මට ශක්තියක් වුණේ කියලා.”

අවසානයේ ඒ හැමදේකම ප්‍රතිඵලය වුණේ රඟපාන්න වගේම වෙළඳ දැන්වීම්වල පෙනී සිටින්නත් ඇයට අවස්ථාව ලැබීමයි. ඒ විදියට වෙළඳ දැන්වීම්වලට පෙනී ඉද්දී සමහර අකරතැබ්බවලටත් ඩුනීෂලාට මුහුණ දෙන්න වෙන්න සිද්ධ වෙලා තිබුණා. 

“මේ ළඟදි වෙළඳ දැන්වීමක රූගත කිරීම් තිබිලා ඒකට ගියා. ඒ රූගත කිරීම් තිබුණ තැනට සිග්නල් තිබුණේ නැහැ. ටිකක් දුරින් ඉන්න කෙනෙක්ට වුණත් පණිවිඩයක් දෙන්න වුණේ නැහැ ඒකෙන්. ඊටපස්සේ ඉතින් ළඟටම ගිහින් තමයි අපිට පණිවිඩයක් වුණත් කියන්න සිද්ධ වුණේ. ඒක ඇත්තටම වෙනස්ම අත්දැකීමක් වුණා. මොකද අද වෙද්දි හැමදේම අපි පහසුවට කරගන්නේ ජංගම දුරකතනය හරහානේ. ඉතින් ඒ වෙලාවේ ඒ දේවල්වලින් බැහැර වෙලා තමයි අපට වැඩ කරන්නේ සිද්ධ වුණේ.”

ඒ විදියට දුරකතර ගෙවාගෙන දවස් ගණන් රූගත කිරීම්වලට යන ඩුනීෂා ගෙදර ආපු ගමන් හොයන කෙනෙකුත් ඉන්නවලු. ඒ තමයි ඇගේ හුරතලා. ඒ හුරතලා බල්ලෙක්, පූසෙක් නම් නෙවෙයි කුකුළෙක්.  ඩුනීෂා පණ කියලා කතා කරන්න විතරලු ඕන එතකොට කොහේ හිටියත් දුවගෙන එනවලු.

“එයාව මම හදන්නේ ගේ ඇතුළේ. නාවලා කවලා පොවලා ඔක්කොම කරන්නේ මම. දුකට සැපට හැමදේටම එයා තමයි මගෙ පණ.”

ඩුනීෂා අම්මාගේ හීනෙ හැබෑ කරන්න නිළියක් වෙන්න  හිතුවාට කවදාවත් අම්මා ඇයට බලපෑම් කරලා තිබුණේ නැහැ ඒ දේම කරන්න කියලා. මොකද ඇගේ අම්මා වගේම තාත්තාත් පවුලේ එකම ළමයා වුණ ඇයට ගැළපෙන හරි පාර තෝරාගන්න නිදහස දීලයි තිබුණේ.

“මට තාත්තා වුණත් නිතරම කිව්වේ ඔයාට හොඳයි කියලා හිතෙන හරි දේ කරන්න කියලා. ඒ වගේම කරන දේ අවංකව කරන්න කියලත් මට නිතරම තාත්තා කිව්වා. ඒක නිසා මම තව කෙනෙක්ට කියන්නෙත් කරන දේ හරියට කරන්න කියලයි. ඒ වගේම හීනවලට යන්න ඕන තරම් කෙටි මාර්ග තියේවී. කෙටි පාරවල් තිබුණත් හැමතැකදීම හරි පාර තෝරාගන්න. සමහරවිට දේවල් දුෂ්කර වෙන්නත් පුළුවන්. එතකොට කවදහරි දවසක ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී මට වගේම ඔයාලටත් සතුටු වෙන්න පුළුවන් මම මගේම හයියෙන් නේද නැගිට්ටේ කියලා.”

ඇය ඇගේ හයියෙන් ඒ විදියට ටික ටික නැගිටිද්දී ඇයට වාරුවක් වෙලා තිබුණේ ඇගේ අම්මයි තාත්තයි. දැන් නම් අම්මා තාත්තා වගේම ඇයට ශක්තියක් වෙන්න පෙම්වතෙකුත් ඉන්නවාලු. ඔහු ගැන වැඩි විස්තර ඉදිරියේදී කියන්න තමයි ඩුනීෂාගේ බලාපොරොත්තුව.

නෙත්මි තෂාරා