විශේෂාංග

සම රිසි අලි පෙම්

ඇතැම් ප්‍රේමයන්ට සීමා ඉරි ඇඳීමට අපට නොහැකිය. මිනිසුන් අතර මෙන්ම සතුන් අතරද එවැනි කොටු නොකළ පෙම් කතා ඇත. කොස්ලන්දේ අලි පෙම්වතුන් ඊට උදාහරණයකි. එහි විසල් අලි කොල්ලන්ට පෙම්වතියන් නැත. කුමක් හෝ හේතුවක් මත කොල්ලන්ට අලි කෙල්ලන් එපා වූවා විය හැකිය. නොඑසේනම් ආරම්භයේ සිටම අලි කෙල්ලන් වෙත සෙනෙහසක්, ආකර්ෂණයක් නොතිබූ අයද විය හැකිය. එලෙස එක් වූ අලි කොල්ලන් නඩයක් කොස්ලන්ද ප්‍රදේශය සිය වාස භූමිය කරගෙන සිටින බවයි අපට දැනගන්නට ලැබුණේ.

කලකට ඉහතදී පශු වෛද්‍ය නන්දන අතපත්තු සමඟ මේ නඩය ඇසුරු කිරීමට වනජීවී ආරක්ෂක අනිල් විතානගේට අවස්ථාව හිමිවිය. විවිධ හේතු මත අලි ඇල්ලීමට, ප්‍රතිකාර කිරීමට මෙන්ම බැඳ තැබීමටද මේ නිලධාරීන්ට සිදුවේ. වරක් වනජීවී නිලධාරීන් අල්ලාගත් අලියකු කඹ ආධාරයෙන් බැඳ තබන විට බොහෝ රෑ බෝ විය. කූඩාරම් ඇටවීමට සුදුසු පරිසරයක් ද නැත. එනිසා පිරිස අලියාට රැකවල්ලා සිටියේ රාජකාරි කැබ් රථවලමය. වරින් වර ආලෝක ධාරා නිකුත් කරමින් අලියා පිළිබඳ විමසන්නේ උගේම ආරක්ෂාවටය. ​මේ අතර පාන්දර ජාමයේ එක නිලධාරියෙකුගේ විස්මයට පත් හඬක් ඇසෙයි.

‘‘අපි ඇල්ලුවෙ එක අලියෙක්ද? දෙන්නෙක්ද?’’

පිරිස නිදිබර ඇස් පිසලමින් බලනවිට එහි තව අලියෙකි. ඔහු බැඳ දමා ඇති සිය සගයාව ගලවා ගැනීමට තනිව පැමිණි සුපෙම්වතෙකි. ඒ වනවිට ද හේ කඹ තුනක්ම සීරුවට කපා දමා තිබිණි. සහායකයා එතනින් යවා රාජකාරිය ඉටු කිරීමට නිලධාරී කණ්ඩායමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

තවත් දිනෙක අල්ලා ගැනීමට අවැසි වූ අලියා පසෙක සිටියදී යක්ෂාරූඪ වූයේ සහායකයායි. සිය සගයා වෙත කිසිවකුට ළඟාවීමට නොදෙමින් හෙතෙම යකා නැටීය. ඒ පෙම්බරයා පලවා හැරීමට වනජීවි නිලධාරීන්ට සෑහෙන වේලාවක් අඩව් කස්තිරම් ඇල්ලීමට සිදුවිය.

අලි නිර්වින්දනයද අපට පෙනෙන තරම් පහසු නැත. කොස්ලන්දේ භූ පිහිටීම ඒ කාරිය තවත් අසීරු කරයි. ඊට හේතුව ඒ පරිසරය කඳු සහිත වීමයි. අලියාට හානියක් නොවීමටනම් විසල් කඳු බෑවුම් මගහැර කාරිය කළ යුතුය. මන්ද නිර්වින්දන ඔසු එන්නත් කළ විට අලියා ඇද වැටෙන්නේ ඉන් විනාඩි ගණනකට පසුවයි. එතෙක් විමසිල්ලෙන් පසුවිය යුතුය. එසේම නිශ්චිත කාලයකදී නැවතත් අලියා බැඳ ප්‍රති නිර්වින්දනය කළ යුතු වේ. වරක් එලෙස තෝරාගත් අලියෙකු නිර්වින්දනය කෙරිණ. ඔසු ලැබුණු විගස අලියා කැලය අස්සෙන් දිව ගියේය. විනාඩියෙන් විනාඩිය කාලය ගතවිය. කිසිඳු හැලහොල්මනක් නැත. අලියා ඇද වැටෙනු ඇසුණේ ද නැත. වනජීවී නිලධාරීන්ට මෙය මහත් ප්‍රහේලිකාවකි. දැන් කුමක් කරන්නද? කරන්නම දෙයක් නැති තැන නිලධාරියෙක් ගසකට නැග අවට බැලීය. පුදුමයකි. නිර්වින්දනය කෙරුණු අලියා යහතින්ය. ඌ බිම ඇද වැටී නැති අතර ඔහු ගසකට හේත්තු වී සිටිනු පෙනේ. වනජීවී නිලධාරීන්ට වැඩේ තේරෙන්නට විනාඩි කිහිපයක් ගියේය. නිර්වින්දනය කළ අලියා අනෙක් පසට වැටීම වළකාගෙන සිටින්නේ සහායක අලියායි. සිය සගයා උපද්‍රවයෙන් බේරාගනු වස් තම හැඩි දැඩි සිරුරෙන් වත්තන් කරගෙන සිටීම ඔවුන්ට සුන්දර දසුනක් විය. එදිනද සගයා එලවා දැමීම පහසු නොවීය. අලි වෙඩි හමුවේ පවා සහායකයා තනිකර යාමට ඔහුට හිත් නොදෙන්නට ඇත. එහෙත් නිර්වින්දනයට ලක් වූ අලියාගේ යහපත වෙනුවෙන් එය කළ යුතුමය. ඒ අනුව එදිනද වනජීවී නිලධාරීන්ට දැරීමට වූයේ අධික වෙහෙසකි. ඉතින් ඒ සද්දන්ත ප්‍රේමය ද සොඳුරු නැතැයි කිව හැකි කාටද?

තොරතුරු :- වනජීවී ආරක්ෂක අනිල් විතානගේ

රෂ්නිකා ලියනගේ