විශේෂාංග

හිතුවක්කාර දොස්තර මට්ටු කරන්න රබර් ගහ හොඳ වැඩියි කියලා අලියෙකුට හිතිලා

නිතර කුලප්පු වෙන අලි නොසිතන අඩව් අල්ලති. කෑගල්ලේ එවැනි තරුණ අලියෙක් විසීය. දිනක් මෙම අලියා පැරණි රබර් ගස් ගැලවීමේ කාර්යයකට යොදවා තිබිණ. රබර්වත්ත පිහිටියේ අලි හිමිකරුගේ නිවසට කිලෝමීටර 40ක් පමණ දුරිනි.

රබර් ගස් ගලවා දැමීම ආරම්භ විය. එම කටයුත්ත කෙරෙන අතරතුර ඇත්ගොව්වා නිරීක්ෂණය කළේ අලියා මද කිපීමට ආසන්න බවයි. එහෙත් පැමිණි කාරිය නිසි පරිදි කෙරෙමින් තිබිණ. එසේ තිබියදී දිනක් අලියා ඇත්ගොව්වාගේ ග්‍රහණයෙන් මිදුණේය. දම්වැල් ගලවා ගත්තේය. ඉන් නොනැවතුණු අලියා කළේ ඇත්ගොව්වාට අකීකරුව රබර්වත්ත පුරා දුවයාමයි. ඇත්ගොව්වාට කර කියා ගැනීමට දෙයක් නැත. සිදුවීම වහාම මහාචාර්ය අශෝක දංගොල්ලට දැනුම් දී තිබුණේ විකල්පයක් නොමැති නිසාය. අවශ්‍ය දෑ රැගෙන ඔහු අලියා ඇල්ලීමේ මෙහෙයුමට ගියේය.

සුවිසල් රබර් ඉඩමට පිවිසි පසු මහාචාර්යවරයා දුටුවේ අලියා දම්වැල් රහිතව එහා මෙහා දුවන ආකාරයයි. අලියා අහර ගෙන නැත. ජලය ද පානය කර නොමැත.  එවැන්නකු සිහිසුන් කිරීමට මහාචාර්ය දංගොල්ල අදිමදි කළේය. මේ අතර කලබලය අස්සේ වුව අලි දඩබ්බරයා, වෛද්‍යවරයා හඳුනාගත්තේය. වෛද්‍යවරයාගේ කඩා පැනීමෙන් අලියාට යකා නැංගේය. ඒ වනවිටද අලියා විසින් ගලවනු ලැබූ රබර් ගස් සියයක් පමණ එහි විය. ඊට අමතරව එම ඉඩමේ අඩි 15ක් පමණ උසට වැඩුණු අලුත් රබර් පැළද තිබිණ.  උරණ වූ අලියා ක්ෂණිකව එම පැළයක් මුලින් ඉදිරීය.  එතැනින් නැවතුණේ නැත. ගලවාගත් රබර් පැළය මහාචාර්යවරයා වෙත විසි කළේය. හානියක් නොවුණ ද මහාචාර්ය දංගොල්ල ඉන් භීතියට පත් වුණේය.  කේන්තිය පහව නොගිය අලියා එම රබර් පැළය නැවත ගත්තේය. එය ඉන්දවා තිබූ ස්ථානයේම වේගයෙන් යළි සිටුවීය. ඇතැම්විට තමා කෝප වී, පැළය ගැලවීමට ගත් තීරණය වැරදි යැයි අලියාට හැඟුණා විය හැකිය.

සියලු කලබල මධ්‍යයේ අලියා නිර්වින්දනය කිරීමට අවසානයේ මහාචාර්ය දංගොල්ල පියවර ගත්තේය. අනතුරුව දම්වැල් නිවැරදිව යොදා බැඳගන්නා ලෙස ඔහු ඇත්ගොව්වාට නියෝග කළේය. සිහිසුන්ව බිම වැතිර දම්වැල් දමා බැඳ සිටින අලියාගේ කනේ නහරයකට විෂහරණ ඖෂධයද (Antidote) එන්නත් කිරීමට මහාචාර්යවරයා පියවර ගත්තේය. ඔහුගේ විශ්වාසය වූයේ පසුව අලියා සාමාන්‍ය පරිදි අවදි වනු ඇති බවයි. එහෙත් ටිකින් ටික වෙලාව ගතවනවා මිස අලියා නැගිටින පාටක් නැත. දීර්ඝ කාලයක් ආහාරපාන නොගැනීම ඊට හේතුව බව මහාචාර්යවරයා සැක කළේය. එබැවින් ඔහු තමා සතුව තිබූ සේලයින් බෝතල් දහයම අලියාට ලබා දුන්නේය. එහෙත් අලියා නොසෙල්වේ. එබැවින් පෞද්ගලික බෙහෙත් ශාලාවකින්ද සේලයින් ගෙන්වා ගැනීමට සිදුවිය. සවස හය පමණ වනවිට අලියා පියවි සිහියට එළැඹෙන බව දක්නට ලැබිණ. ඒ වනවිට ලබාදුන් සේලයින් බෝතල් ගණන 35කි. හෙමිහිට නැගී සිටි දඩබ්බරයා කිසිවක් සිදු නොවූ පරිදි හැසිරුණේය. එය මහාචාර්ය අශෝක දංගොල්ලගේ සිතට ගෙන ආවේ මහත් සතුටකි.

 

තොරතුරු – මහාචාර්ය අශෝක දංගොල්ල (පේරාදෙණිය විශ්වවිද්‍යාලය)

 

රෂ්නිකා ලියනගේ