විශේෂාංග

ඇතින්නක් එක්ක දුවලා අනූනවයෙන් බේරුණා

අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වන්නේ නැත. අලි බැලිල්ල අපට සොඳුරුය. එහෙත් අලි බලාගන්නා උදවියගේ කාරිය ඊට බොහෝ වෙනස්ය. අවදානම්ය. අනපේක්ෂිතය. ඒ ගැන වඩා හොඳින් දන්නේ වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍යවරුන්ය. පශු වෛද්‍ය චන්දන ජයසිංහ එවැන්නෙකි. අලි බැලිල්ල නිසා එක්කාසු වූ මතක රැසක් ඔහු සතුය. අනෙක් අතට ඔවුන්ගේ ගනුදෙනුව ඇත්තේ වනඅලි ඇතුන් සමඟ මිස හීලෑ වූවන් සමඟ නොවේ. එහි ස්වරූපය අමුතුවෙන් විස්තර කළ යුතු නැත.

වරක් ගල්ගමුවේදී අලින්ට රේඩියෝ කරපටි පැළඳවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය. වෛද්‍ය තාරක, විජිත, චන්දන ඇතුළු අය ඊට එක්වූහ. එක්තරා ඇතින්නක් කරපටියකට සුදුසුකම් ලැබුවාය. ඒ සඳහා ඇය නිර්වින්දනය කෙරිණ. සියල්ල නිසි පරිදි සිදුකිරීමට පිරිස සමත් වූහ. කරපටිය පැළඳවීමෙන් පසු ප්‍රති නිර්වින්දන ඔසු ලබාදීමට පියවර ගැනිණ.

මෙවැනි අවස්ථා වීඩියෝ කිරීමට අවස්ථාව ඇති කිසිවකු එය මග හරින්නේ නැත. වෛද්‍ය චන්දන ජයසිංහ සතුව කැමරාවක්ද විය. හෙතෙම වීඩියෝවට උපරිම සාධාරණයක් කිරීම වෙනුවෙන් දැඩි කැපවීමකින් ඇතින්න රූගත කළේය. බිම දිගා වී සිටි ඇතින්න නිසොල්මන්ය. නඩයේ සියලුදෙනා එතැනින් බැහැරට ගියද වෙදකම පසෙක තිබියදී කැමරාකරණයට ප්‍රවිශ්ට වූ වෛද්‍ය චන්දන ඇතින්න පිටුපසිනි. නිහඬ ඇතින්න එක්වරම හිස ඔසවා පසුපසට නෙත් යොමු කළාය. තමා දෙසට කැමරාවක් අටවාගත් හාදයෙකි. ඒ කවුරු වුවද ඇයට එය රුස්සන්නේ නැතිව යන්නට ඇත. කිසිවකු අපේක්ෂා නොකළ පරිදි විදුලි වේගයෙන් ඇතින්න නැගී සිටියාය. ඇගේ ඉලක්කය කැමරා ශිල්පියායි. ලෙඩ වූ විටෙක ඔහුගෙන් ප්‍රතිකාර ලැබිය හැකි නේද යන්න ඇයට වගක් නැත. සිතීමට ඉඩක් නොතබා ඈ ඔහු ලුහුබැන්දාය. දිවි ගලවා ගැනීමට නම් හැකි වේගයෙන් දුවනවා හැර වෙනත් විකල්පයක් වෛද්‍ය චන්දනට නොවීය. හෙතෙම වීඩියෝ කිරිල්ල පසෙකලා දිව්වේය. ඇතින්න පසුපසිනි. ටිකෙන් ටික දෙදෙනා අතර පරතරයද අඩුවේ. වාසනාවකට මෙන් තුංමං හන්දියකි. වෛද්‍ය චන්දන එක පසෙකට හැරී දුවන්නට විය. ඇතින්නට හැරීමට යන වේලාවේ වාසිය දිවි රැකගැනීමේ අවස්ථාව වනු ඇත. එහෙත් අවාසනාවක මහත! පාර හරහා වූ වැලක පැටලී වෛද්‍යවරයා බිම ඇද වැටුණේය. මාර්ගයට හැරුණු ඇතින්න තමාගේ ඉලක්කය පෙනීමට නොවීමෙන් තක්කු මුක්කු වූවාය. එතැනම නතර වූ ඈ අවට විපරම් කළාය. එහෙත් ඉතා ඉහළින් බැල්ම හෙලන ඇතින්නට තමාගේ පය පාමුලම වැටී සිටින ඉලක්කය මගහැරිණ. ඇගේ බැල්ම වෛද්‍ය චන්දන වෙත යොමුවීම වැළකෙන පරිදි ගසකි. ඒ අතර මේ ත්‍රාසජනක සිදුවීම නරඹන සගයන්ගෙන් වෛද්‍ය චන්දනට විවිධ සංඥාය. එහෙත් ඔවුන් පවසන කිසිවක් කළ නොහැක. පාදය ලෙහා ගත නොහැකි ලෙස වැලේ පැටලී ඇත. ඇතින්නගේ ඇස ගැටුණොත් ගැලවීමක්ද නැත. විකල්පයක් නොවන බැවින් සෙසු කණ්ඩායම ඇය පළවා හැරීමට අහසට වෙඩි තැබීය. ධාවන තරඟයද මග නවතා ඉලක්කය මගහැරුණු ඇතින්න වෙඩි හඬ මැද ආපසු හැරී ගියාය. අනූනවයෙන් බේරෙනවා කියන්නේ මේවාටය.

රෂ්නිකා ලියනගේ