විශේෂාංග

මරු චුට්ටාට සරම දීලා ඇත්ගොව්වා පණ බේරාගෙන

එකල දුටුගැමුණු රජුගේ කණ්ඩුල ඇතා නන්දිමිත්‍ර යෝධයා සමඟ සිටියේ තදබල ආරෝවකිනි. තමාට අවමන් කිරීම ගැන නන්දිමිත්‍රගෙන් පළිගැනීමට හෙතෙම මාන බලමින් සිටියේය. ඒ සඳහා කණ්ඩුල සිය මුඛයේ ගල් කැටයක් රඳවාගෙන සිටි බව සද්ධර්මරත්නාවලියේ සඳහන් වේ. කණ්ඩුලගේ නෝක්කාඩුව අවසන් වූයේ විජිතපුර සටනේදීය. එහිදී නන්දිමිත්‍ර, අනතුරකින් කණ්ඩුල බේරාගැනීම ඊට හේතුවයි.

ගොඩබිම වෙසෙන ක්ෂීරපායීන්ගෙන් විශාලතම මොළය ඇත්තේ අලියාටයි. අලියා බුද්ධිමතකු ලෙස සැලකීමට එයද හේතුවකි. ඔවුන්ගේ සුවිශේෂ ලක්ෂණ අතර කරුණාව, ශෝකය, හාස්‍යය, එකමුතුකම සහ ඉහළ මතක ශක්තියද තිබේ. ඇතැම් අවස්ථාවල ඔවුන් අන් අය බේරාගැනීමට ඉදිරිපත් වන්නේ තමා ගැනද නොසිතමිනි. ඒ අනුව කණ්ඩුලගේ මතක ශක්තිය ගැන පුදුම වෙන්නට දෙයක් ඇත්තේද නොවේ. එහෙත් කණ්ඩුල මනා හික්මීමක් ඇත්තෙකි. එසේ නොවුණානම් අතිශය වැදගත් යුද්ධයකට කණ්ඩුල දායක කරගැනීමට ඉඩ නොලැබෙනු ඇත.

කණ්ඩුල මෙන් හසුරුවා ගැනීම පහසු නැති ගණංකාරයකු මට මුණගැහුණේ කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදීය. හේ උසය. හීන්දෑරිය. ඔහු ගැන අසා තිබූ කතා නිසාදෝ මගේ හිතේ ඇතිවූයේ බියමුසු හැඟීමකි. ඔහු කා අතරත් ප්‍රචලිත ‘මරු චුට්ටා’ ලෙසිනි. ඒ වනවිටද මේ චණ්ඩියා ජීවිත කීපයකටම වගකියා තිබිණ. එහෙත් ගංගාරාමයේ නවම් පෙරහරට සහභාගි වීමට පැමිණ සිටි මරු චුට්ටා ගාම්භීර ලීලාවෙන් සිටියේ කිසිවක් නොවූ පරිදිය. ඒ වනවිටත් කිසිඳු අධිකරණයමය තීරණයකට උන්දෑ යටත් නැත. ඒ, ලංකාව නිසා විය හැකිය.

නැදුන්ගමුවේ රාජා සිටියදී පමණක් මිනිසුන් අතර ගැවසෙන උසම ඇතුන් අතර දෙවැනියා වූ ඉන්දියාවේ තෙචිකොට්ටකාවු රාමචන්ද්‍රන් ද මෙවැන්නෙකි. ඔහු මිනිසුන් දහතුන් දෙනෙකු සහ අලින් තිදෙනෙකු ඝාතනය කළ නමගිය ගණංකාරයකු වේ. කිසිඳු උත්සවයකට සහභාගි නොවන ලෙස රාමචන්ද්‍රන්ට කේරල අධිකරණය නියෝග කර තිබුණද රසික ප්‍රජාවගේ දැඩි ඉල්ලීම මත තහනම ඉවත් කෙරිණ. එක අතකින් අලි චණ්ඩින්ට මිනිසුන් කැමත්ත දක්වන්නේ යැයි සිතීමට එය හේතුවකි.

මරු චුට්ටාද නීතියට පිටුපා වැඩ කරන අතරේ සන්සුන් ලෙස පෙරහරේද ගමන් යයි. වරක් ඔහු සහ ඇත්ගොව්වා අතරද ආරවුලක් ඇති විය. එයද කණ්ඩුල සහ නන්දිමිත්‍ර අතර ගැටුම මෙනි. ඇත්ගොව්වා පවසන පරිදි මරු චුට්ටා ඔහු හා උරණ වී ඇත්තේ හෙණ්ඩුව භාවිත කළ අවස්ථාවක් නිසාය.

කියන දේ අහන්නෙ නැති වෙලාවක මං මෙයා මෙල්ල කරන්න හෙණ්ඩුවෙන් ඇන්නා. ඒක එයාට රිදුණා. මං දිහා රවලා බැලුවට එවෙලේ මුකුත් කළේ නෑ. පස්සෙ පළිගන්න ඒක එයා හිතේ තියාගත්තා වෙන්න ඕනෙ.”

එම සිදුවීමෙන් වසර කිහිපයක් ගතවන තුරුද කිසිවක් නොවීය. එහෙත් දිනක් එක්වරම මරු චුට්ටා කෝප ගත්තේය. දම්වැල්ද බිඳගත් ඔහු වේගයෙන් දිව ගියේ ඇත්ගොව්වා වෙතයි. වාඩියෙහි ඔහු නොසිටියේය. ඒ වෙනුවට තිබුණේ ඔහුගේ සරම පමණි. එය උනා දමා ඇත්ගොව්වා ස්නානයට ගොස් තිබිණ. ඔහු සෙවීමට කාලය වැය කිරීමටවත් ඉවසීමක් නොමැති වූ මරු චුට්ටා සරම සිය දත් අතර තබා සැපීය. කේන්තිය පහවන තුරු හපයක් වනතෙක් සරම විකූ මරු චුට්ටා එය බිම දමා සාමකාමී විය. බිම දැමූ හපයේ සරමක ලකුණක්වත් නොවීය. සිදු වූ දේ දුටු ඇත්ගොව්වා කම්පා වූයේ සරම අහිමි වූ නිසා නොව රුපියල් හත්දහසක මුදලක් ඉන් ඔතා තිබූ බැවිනි. ඒ කාලයේ හැටියට හත්දහසක් දී දිවි ගලවා ගැනීමට හැකිවීම ගැන ඇත්ගොව්වා සතුටු විය යුතුය. මක්නිසාද යත් හත්දහසකට එහා නොගොස් ආරවුල නිම කිරීමට මරු චුට්ටා එකඟවීමම ඔහුගේ ජයක් බැවිනි.

රෂ්නිකා ලියනගේ