Latest News

” කුඩා දරුවන් විනාඩි 20ක් වතුරේ තියන්න – දවසට දෙසැරයක් නාවන්න “

අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ට සිදුවන අහිතකර බලපෑම වළක්වා ගැනීම සඳහා දෙමව්පියන් අවධානය යොමු කළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

ඔහු පවසන්නේ වැඩිපුර දියර භාවිතය මගින් උෂ්ණාධික කාලගුණයෙන් ඇති වන සංකූලතා අවම කර ගත හැකි බවයි.

එමෙන්ම මේ දිනවල චර්ම රෝගවල වැඩිවීමක් දක්නට ලැබෙන බවත් කුඩාම දරුවන් වුවත් දිනකට දෙසැරයක් නෑවිම සුදුසු බවත් ඒ මහතා සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කලේ,

“රෝග ලක්ෂණ විදියට මහන්සිය, නිදිමත ගතිය, ඇඟපත රිදෙන එක, සමහර අයට වමනය යන්න එනවා ඒ වගේ රෝග ලක්ෂණ කිහිපයක් ඇති වෙනවා. ඊට අමතරව දරුවන් සහ අපි, වැඩිපුර ජලය සහ ලවණ ගත්තේ නැත්නම් වැඩිපුර දාඩිය දැමීම නිසා තාප කම්පන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් අපිට වළක්වා ගන්න පුළුවන් වැඩිපුර දියර ආහාර ගන්න. ස්වභාවික දියර තමා අපි කියන්නේ, ඒ කියන්නේ ජලය සමග ලවණ තියෙන. ස්වභාවික පලතුරු යුෂ, දෙහි, දොඩම්, නාරං, දෙළුම් වැනි දේවල්, තැඹිලි වතුර, කුරුම්බා වතුර හා ජීවනි වගේ පානයන් අපිට ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපේ සමේ රෝගත් වැඩිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම දාඩිය බිබිලි අපේ දරුවෝ අතර වැඩිවෙලා. දද වගේ දේවල්වලත් වැඩිවීමක් තියෙනවා. ඒ නිසා දරුවන්ට විනාඩි 20ක් විතර වතුරේ ඉන්න දෙන්න. පුංචිම දරුවෙක් වුණත් දවසට දෙසැරයක් නාවන්න. ඒ තුළින් හමේ ඇති වෙන සංකූලතා අවම කරගන්න පුළුවන්.”

මේ අතර අද (20) දිනයේද දිස්ත්‍රික්ක 11ක් හැරුණු විට සෙසු සියලුම දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නැගෙනහිර, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන්ම මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලට එම අවදානම් උෂ්ණාධික කාලගුණ තත්ත්වය පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.