විශේෂාංග

මම ඒ මිනිහගේ බොරු ආදරේ පාර්සල් කරලා මා ඔයට ගිහින් දැම්මා

එදා මට තිබුණේ ප්‍රථම ශාස්ත්‍ර විභාගයට නියමිත උමංදාවේ පාඩමක්. උමංදාවේ එක් තැනක තියෙනවා කාන්තාවකගේ නුවණ විභාග වන කතාවක්. ඒක පාඩමක් විග්‍රහ කරනවට වඩා හොඳින් කරන්න මම හිතාගත්තා. අපේ දරුවන්ට විෂය නිර්දේශයම ඔලුවට දෙනවට වඩා පාඩම ඇතුළේ ජීවිතය කියලා දෙන එක හොඳයි කියලා මට හිතුණා. උමංදාවේ එක තැනක තියෙනවා මහෞෂධගේ නුවණ පරීක්ෂා කරන කතාවක්. ඇත්තටම කියනවා නම් නුවණ නැති එක ගැන කතාවක්. දවසක් මහෞෂධ කුමාරයා නඩු විසඳමින් යන තැනට එනවා කාලගෝල කියලා කොට පුද්ගලයෙක්. ඒ පිටිපස්සෙන් එනවා රූමත් ගෑනු ළමයෙකුයි ඊටම ගැළපෙන රූමත් තරුණ පුද්ගලයෙකුයි. නඩු අහන ශාලාවේ ඉන්න අය මේ දෙන්නව කුමරු හමුවට පමුණුවනවා. කාලගෝල කියනවා මේ ගෑනු ළමයා මගේ කියලා. ගෑනු ළමයා කියනවා මං මෙයාගේ නෙවෙයි මෙයාගේ කියලා. ලස්සන කොල්ලත් කියනවා මේ මගේ බිරිඳ, මේ කොට කැත මිනිහා කවුද කියලාවත් අපි දන්නේ නැහැ කියලා.

මහෞෂධ කුමාරයා අහනවා තුන්දෙනාම කැමතිද මං මේක විසඳලා දෙනවට කියලා. තුන්දෙනාම කැමැත්ත පළකරනවා. ඊටපස්සේ තුන්දෙනාව වෙන් කරනවා. වෙන්කරලා කාලගෝලව කැඳවනවා. ලියන්නෝ ඉඳගෙන සාක්ෂි ටික පුස්කොළවල ලියනවා.

“මොකක්ද තමන්ගේ නම?

“කාලගෝල.

“තමන්ගේ බිරිඳගේ නම?

“දික්තල.

“දික්තලගේ අම්මගේ තාත්තගේ නම්?

කාලගෝල ඒ සියල්ලම දන්න හින්දා දික්තලගේ තොරතුරු සියල්ල කියනවා. ඊළඟට ගෙන්වනවා දිප්පිටිගම.

“තමුන්ගේ නම?

“දිප්පිටියා.

“තමුන්ගේ භාර්යාවගේ නම?

දික්තලයි දිප්පිටියයි හම්බවුණේ ගඟ මැදදිනේ. ඉතින් උස ගැළපුණාට, පෙනුම ලස්සන වුණාට දිප්පිටියට ඇගේ නම අහගන්න බැරිවෙලා. දිප්පිටියා ඇගේ නම වෙනුවට බොරු නමක් කියනවා.

ඊළඟට දික්තල ගෙන්වනවා. කුමරයා ඇගේ නම අහනවා. දික්තල. එතකොට සැමියගේ නම? ගඟ මැදදි හම්බවෙච්ච පලියට, උස පෙනුම ගැළපුණාට ඔහුගේ නම අහගන්න බැරි වුණා. ඇය බොරු නමක් කියනවා. කුමාරයා ඇගේ අම්මා තාත්තගේ නම, ඉන්නේ කොහෙද ඔක්කොම අහනවා. දැන් තුන්දෙනාගේ සාක්ෂි අවසන්. කොළ ටික ජූරි සභාවට දෙනවා. ජූරි සභාව තීරණය කරනවා මේ ලියැවිලි අනුව නම් කාලගෝලගේ ප්‍රකාශත් දික්තලගේ ප්‍රකාශත් සමාන බව. මහෞෂධ කුමාරයා ගැටලුව විසඳලා දෙනවා විතරයි. කාලගෝලයි දික්තලයි බන්දලා දෙන්න හදන්නේ නැහැ. ඒ අයට නිදහසේ ඒ ගැන හිතන්න ඇරලා කුමාරයා කැමැත්තක් කරගන්න කියලා නිදහස දෙනවා. කතාව කියලා නැතත් සිද්ධවෙන්නේ දික්තල දිප්පිටියා එක්ක යාම හා කාලගෝල අතරමං වීම විතරයි. දැන් කාලගෝලයි දික්තලයි නෑගම් යන්න ගඟක් ළඟට ආවමනේ දික්තලගේ හා කාලගෝලයේ උදව්වට දිප්පිටියා මැදිවුණේ. දිප්පිටියා දික්තලට ප්‍රේමය ප්‍රකාශ කරේ ගලායන ගංගාවක ඉඳගෙනයි. ඒ දෙන්නගේ ප්‍රේමයට සාක්ෂියට හිටියේ මාළුවොයි කුරුල්ලොයි විතරයි. ගඟ කියන්නේ ස්ථාවර තැනක් නෙවෙයි. මේක හරියට ‘මිස් කෝල්වලින්’ ඇතිවන තාවකාලික ප්‍රේම සම්බන්ධයක් වගෙයි. දෙන්නම දෙන්නගේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. ඒකෙන් බොහෝවිට අනාථ වෙන්නේ ගෑනු ළමයා. පිට ඔපේට රැවටිච්ච මේ දෙන්නගෙම ජීවිතවල කෙළවර ගැන කියන්න අමාරුයි. දික්තලට කාලගෝල නොගැළපෙනවා වගේම දික්තලයි දිප්පිටියයි ගැළපෙන්නෙත් නැහැ. ඉතින් ඔන්න ඔහොම මේ කතාව කියලා මං කිව්වා විශේෂයෙන් දුවලට ඔබ කවුරුහරි එක්ක යාළුවෙනවා නම් එයා ගැන හොයන්න. ගෙවල් කොහෙද, ලිපිනය මොකක්ද, ග්‍රාමසේවක සහතිකය ගේන්න කියන්න, කුලය මොකක්ද, තරුණයාට ස්වයං තීරණය ගන්න අම්මා බලය දීලා තියෙනවද? කලින් පෙම්වතියගෙන් ලබාගත්ත චරිත සහතිකයක් එහෙම කියලා ළමුන් හිනස්සවමින්.

කාලය ගෙවිලා ගියා. ටික දවසකට පස්සේ මට දුවෙක් මුණගැහුනා. ඒ මගේ පංතියේ හිටපු දුවෙක්. ගම් පළාත මාවනැල්ල. එයා මට කිව්වා, “සර් මටත් හිටියා ඔය වගේම පෙම්වතෙක්. එයා මට ගෙදරින් එළියට බැහැලා එන්න කියලා කිව්වත් එදා සර් කියපු කතාව හින්දා මං එකඟ වුණේ නැහැ. මගේ හිත දිනාගන්න මට ඇඳුම් පැළඳුම් පවා අරන් දුන්නා. මට ඕනෙ වුණේ විවාහයක්. ප්‍රේම කර කර ඉන්න නෙවෙයි. ඒත් විවාහය ගැන කියනකොට එයා මග හරිනවා. දෙමාපියන් එක්කරගෙන එන්න කිව්වට ඒක කළේ නැහැ. ඇත්තටම සර් ඒ කොල්ලා ලස්සනයි. අපි දෙන්නගේ උසත් එක වගේ. ඒත් සර් කිව්වනේ දික්තල දිප්පිටියා එකතුවෙන්න ඇති. ඒත් ඒ සම්බන්ධය කොච්චර දිගට යයිද කියලා දන්නේ නැහැ කියලා.

මට සර් එයා කතා කරනකොට මම ටිකක් වැදගත් දේවල් ගැන කියන්න ගත්තා. ඒවට එයාගේ කිසි ප්‍රතිචාරයක් නැහැ. මම ආගම ගැන කතා කරනකොට එයා කිව්වේ ආගම කියන්නේ නාකින්ට අයිති දෙයක්, ඒක අපට වැඩක් නැහැ. දෙමව්පියන්ට සලකන එක ගැනත් එයා කිව්වේ වෙන කතාවක්. අපිව හදන එක එයාලගෙ වගකීමක්. අපි ඉපදුණේ අපේ කැමැත්තට නෙවෙයි එයාලගෙ ආශාවට. ඉතින් අපි ඒ අයට වඳින පුදන එක මෝඩකමක් කියලයි එයා තර්ක කරේ. දෙයියනේ මේ මිනිහා එක්ක ගිහිල්ලා මට අම්මා තාත්තට සලකන්න බැරිවෙයි. මොකද සර් මං හිතන්නේ සර් කියන විදියටනේ. දුවෙක් කියන්නේ අම්මා තාත්තගේ ‘නොවරදින ඉන්ෂුවරන්ස් එක.’ ඉතින් මේ මිනිහා එක්ක ගියොත් ජීවිතයක් නැහැනේ. මේ මනුස්සයා නිතරම කතා කරේ සිතේ එකතුව නෙවෙයි කයේ එකතුව ගැන. නිතරම මට එව්වේ ‘සෙක්ස්’ පින්තූර. මම ඒවට ප්‍රතිචාර නොදෙනවිට මට දැනුණේ එයාගේ කැමැත්ත ටික ටික අඩුවේගෙන එන හැටි. මම දවසක් කිව්වා සර් බොරුවට අපේ අම්මලා මට විවාහයක් කරලා දෙන්න යනවා කියලා. එයා එකපාරටම ඇහුවා කවුද ඒ අවාසනාවන්තයා කියලා. මට තේරුණා මේ මිනිහා එක්ක දීග ගියොත් මට වෙන්නේ මැරි මැරී ඉපදෙන්න. ඉතින් සර් මං තිරණයක් ගත්තා ඒක නවත්තන්න. එයා මට දුන්න සේරම ඇඳුම් ටික මම හොඳට හෝදලා මැදලා පාර්සලයක් හැදුවා. ඊටපස්සේ ඒ රෙදි ටික ඇතුළට වතුර නොයන විදියට ඉටිකොළවලින් එතුවා. ගෙදර ටබ් එකට ඇඳුම් පාර්සලය දාලා බැලුවා වතුර යනවද ඒක ඇතුළට කියලා. ඊටපස්සේ සර් මම ඒ ඇඳුම් පාර්සලය මා ඔයට අතහැරයා. ඒක පා වෙවී පහලට යන විදිය බලාගෙන හිටියා. නන්නාඳුනන කවුරුහරි කෙනෙක් ඒ ඇඳුම් පාර්සලය ගන්න ඇති. ඉතින් මට ජීවිතය ගැන කළකිරුණා. ඒත් මම ගඟට පැන්නේ නැහැ. මම ගඟට දැම්මේ එයාගේ බොරු ආදරය රැඳුන භෞතික දේවල් ටික විතරයි.” එදා මට එහෙම කිව්ව දුව අද විදුහල්පතිනියක්. මම අදත් කොළඹ යනකොට මේ ගංගාව උඩින් යනවා. එදා ඒ දුව දැම්ම ඇඳුම් පාර්සලය තෑගි ලැබිච්ච කෙනෙක් සමහරවිට ‘ධරණී’ පත්තරය බැලුවොත් මේ කතාව මතක් වෙන්න පුළුවන්.

ඉතින් දුවේ මං දූලට කියන්නේ ප්‍රේම සම්බන්ධයක් කියන්නේ පුද්ගලයන් දෙන්නෙක්ගේ එකතුවක් නෙවෙයි. ඒක පවුල් දෙකක, ගම් දෙකක එකතුවක්. දෙන්නෙක් විවාහ වනවිට අලුත් නෑදෑ සමූහයකුත් එකතු වෙනවා. අද ගොඩක් අය හිතනවා අපිට අපි දෙන්නා හිටියොත් ඇති කියලා. නෑ දුවේ. සිංහල අවුරුද්ද එනකොට යන්න දෙන්නටම ගමක් තියෙන්න ඕන. බලන්න යන්න දෙපැත්තෙම නෑයෝ ඉන්න ඕන. මඟුලක් කියන්නේ පරම්පරා දෙකක එකතුවක්. හුදෙකලා වෙලා දෙන්නෙකුට ජීවත්වෙන්න අපට බැහැ. විවාහය කියන්නේ ලිංගිකත්වය හා බැඳුනු ගනුදෙනුවක්  විතරක් නෙමෙයි කියන එක දූලාත් පුතාලත් හැමෝම වටහාගන්න ඕන. ලිංගිකත්වය කියන එක පුතේ, දුවේ බල්ලොත් කුකුළොත් අපට වඩා දිගු කාලයක් රස විඳිනවා. ඒත් කෝ උන්ට ජීවිතයක්? පැවැත්මක්? කැපකිරීමක්? ඒ නිසා විවාහය කියන්නේ පුද්ගලයන් දෙදෙනෙකුට එහා ගිය මහා මානව ක්‍රියාවලියක් බව මගේ දූලා පුතාලා අඳුරාගන්න ඕන.

 

අත්තනායක එම්.හේරත්