ප්‍රීතිමත් ජීවිතයකට

සෙවල පෙරන මහත්තුරුන්ට ෂර්ලොක් හෝම්ස් නෝනලා ලැබුණම මොකද වෙන්නේ?

රෝෂනව මට හොයලා දුන්නේ අපේ අම්මලා. බඳින්න කලින් ලොකුවට ආශ්‍රය කරන්න ලැබුණෙත් නෑ. කොහෙද ඉතින් අපේ අම්මලට මාව බන්ඳන්න මාර හදිස්සියක්නේ තිබ්බේ. රෝෂන මහ අසහනකාරයෙක් කියලා මම නම් දැනගත්තේ වෙඩින් එක දවසෙමයි. වෙඩින් එක දවසෙත් එයා මගේ යාළුවා නීශා දිහා කන්න වගේ බලාගෙන හිටියා. ලැජ්ජාවේ බෑඅනේ ඇත්තමයි මට පුළුවන් වුණානම් ඒ වෙලාවෙම මම මඟුල නතර කරනවා.

සතා කවුද කියලා අඳුරගත්තු නිසා පස්සෙ මම එයා ගැන කල්පනාවෙන්මයි හිටියෙ. එයාගේ වැඩේම වෙන ගෑනු දිහා බලන එක. පාරකතොටක ඇවිදන් යනකොට විතරක් නෙමෙයි වාහනේ එලවන්නෙත් පාරෙ යන සුකුරුත්තන් දිහා බල බල. කොයිවෙලේ හරි ඔය මිනිහා හැප්පිලා මැරෙනවා. මම දික්කසාද වෙන්න තීරණේ කළේ ඒකයි.

මේ මාස පහ හයකට කලින් මාව මුණගැහෙන්න ආව යුවළක බිරිඳක් ඇගේ පැත්තෙන් කිව් කතාව. එතකොට සැමියා කිව්වේ මෙහෙම.

කසාද බැලා දවස් ගාණක් යනකල් වෙඩින් එකේදි එයාගේ යාළුවෙක් දිහා බැලුවා කියලා අමීශා මාව මරාගෙන කන්න හැදුවා. ඔය මෙයා කියන ගෑනු ළමයගේ ඇඳුමේ බීම එකක් හැලිලා එතැන පොඩි අලකලංචියක් වුණා. මම බලන් හිටියේ ඒ දිහා. බොරු නම් ඒ යාළුවගෙන් අහලා බලන්න පුළුවන්නේ.

මෙයා කියන විදියට වෙන අය දිහා බල බල යන්න මට උවමනාවක් නැහැ. එයා පුදුම බයකින් ඉන්නේ මම වෙන අය දිහා බලයි කියලා. පාරක ගියත් යන්නේ මගේ මූණ දිහාම බලාගෙන. මම වෙන ගෑනු දිහා බලනවා කියලා අමීශා අපේ අම්මලටත් කියලා. තාම කසාඳ බැඳල මාස හතරයි. දැන් දික්කසාද වෙන්නත් හදනවා. මෙහෙම කෙනෙක් කියලා දන්නවා නම් මම කීයටවත් මේ කසාදේ කරන්නේ නෑ.

මේ දෙන්නගෙන් කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියලා මටත් මුලින් හිතාගන්න බැරිව ගියා. හැබැයි ටිකක් හාරවුස්සලා බලද්දී ගොඩක් දේවල් අමීශා සැකේට කියන දේවල් බව පැහැදිලි වුණා. ඇය විවාහ වෙන්න කලින් පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබිලා. ඔහු නිතරම වෙනත් කාන්තාවන් දිහා බලන කෙනෙක්ලු. අමීශා රෝෂනවත් දාලා තිබුණේ ඒ තරාදියටමයි. රෝෂන කිව් විදියට ඇගේ මිතුරියට කතා කරලා එදා අරම සිදුවීමක් වුණු බව තහවුරු කරගත්තා. තවත් කරුණු පැහැදිලි කරලා ප්‍රශ්නේ හොඳ විදියට විසඳුවා. හැබැයි රෝෂනගේ අම්මලා නම් දැනටත් අමීශා එක්ක කතාබහක් නෑ මගේ හිතේ.

හස්බන්ඩ් වෙන ගෑනු දිහා බලනවා කියලා හඬා වැළපෙන බිරින්දෑවරු ප්‍රමාණය අනන්තයි, අප්‍රමාණයි. විවාහක අය අතර විතරක් නෙමෙයි මේක පෙම්වතුන් අතරත් බොහොම තදේට තියෙන ප්‍රශ්නයක්.

ගෑනු අය කැමති කන පිනවන්න. ඒ කියන්නේ කොච්චරවත් ප්‍රශංසා, අගය කිරීම් විඳින්න ඒ අය කැමතියි. ඒක මම කලිනුත් කියලා තියෙනවා. ඒ වගේම තමයි පිරිමි කැමති ඇස පිනවන්න. ඉතින් විවාහක කෙනෙක් වුණත් ලස්සන කාන්තාවක් දැක්කම ඇය දිහා බලන එක බොහොම සාමාන්‍ය දෙයක්. කසාද බඳිද්දි නීති පොතෙන් අත්සන් කළාට අපිට කෙනෙක්ගේ මනසට නීති දාලා කොටුකරන්න බැහැ කියන එක තේරුම්ගන්න ඕනේ.

ආසියානු රටවල බහුතරයක් කාන්තාවන් පෙම්වතා නැත්තම් සැමියා වෙනත් කාන්තාවකට ආකර්ෂණය වෙයි කියලා කොයිවෙලෙත් පීඩනෙන් තමයි ඉන්නේ. ඒ නිසාද මන්දා පාරකතොටක යද්දි සැමියා වෙන ගැහැනු දිහා බලනවද කියලා සුපරීක්ෂාකාරීව ඉන්න ෂර්ලොක් හෝම්ස් බිරින්දෑවරු ඉන්නවා. හරියට අමීශා වගේ. ඔහොම බලාගෙනම ඉන්දැද්දි හිතේ සැකේටත් වෙන අය දිහා බැලුවා වගේ පේනවා. අනික පාරෙතොටේ යද්දි ඇස් වහන් යන්න බෑනේ. කොහොමටත් මිනිස්සු දිහා බැලෙනවා. බැරිවෙලා හරි වෙනත් කාන්තාවක් දිහා බැලුවොත් එදාට හස්බන්ඩ් ඉවරයි. අර කාන්තාව තමන්ට වඩා ලස්සනයි නම් ඉතින් ඇවිලෙන ගින්නට ටිකක් වැඩියෙන් පිදුරු වැටෙනවා.

මෙතැනදි පිරිමියෙක්ගේ මේ ජීවවිද්‍යාත්මක ගති ස්වභාවය තේරුම්ගැනීම වැදගත් කියලයි මනෝඋපදේශිකාවක් විදියට මම දෙන උවදෙස. අනික පිරිමි විතරක් නෙමෙයි ගෑනු අයත් ආකර්ෂණීයව පේන පිරිමි දිහා බලනවා. හැබැයි “මගේ නෝනා වෙන පිරිමි දිහා බලනවා” කියලා චෝදනා කරන පිරිමි හරි අඩුයි. පුරුෂ පාර්ශවය ඔය කාරණාව ගැන සූක්ෂමව අවධානයක් නොදැක්වීමයි ඒකට හේතුව.

හැබැයි සැමියන්ටත් මෙතැන තේරුම්ගන්න දෙයක් තියෙනවා. කාන්තාවක් ඇයි ඔය වගේ කාරණයක් ගැන වැඩිපුර හිතන්නේ? කිසිම කාන්තාවක් කැමති නෑ තමන් ආදරේ කරන කෙනා වෙනත් කෙනෙක් ගැන සිතිවිල්ලකින්වත් හිතනවට. ඒක කාන්තාවන්ගේ ජීවවිද්‍යාත්මක සොබාවය. අනික කාන්තාවන් තුළ ස්වභාවයෙන්ම ඊරිසියාව කියන දේත් වැඩියිනේ. කාන්තාවක් පිරිමියෙක්ගේ ගතිසොබා තේරුම්ගන්නවා හා සමානවම පිරිමියාටත් පුළුවන් වෙන්න ඕනේ කාන්තාව තේරුම්ගන්න. එතකොට මේ වගේ ගැටලු ලේසියෙන්ම විසඳගන්න පුළුවන්. අනික දෙන්නට දෙන්නා මිතුරන් වගේ විවෘත වෙන්න පුළුවන් නම් සම්බන්ධතාවය වැඩි කරගන්න පුළුවන්. මම දන්න කාන්තාවන් ඉන්නවා ලස්සන කාන්තාවක් දැක්කම “අර බලන්න අර ගෑනු ළමයා මාර ලස්සනයි නේද?” කියලා සැමියට ඇඟිල්ලෙන් ඇනලා පෙන්වන. ඔය වගේ තැනකදි “ඔව් එයාගේ කොණ්ඩ මෝස්තරේ නම් ඔයාටත් ගැලපෙයි, ඒ ඇඳුම ඔයාටත් ගැලපෙයි” කියලා සැමියෙක්ට කියන්න පුළුවන්. එතැනදි දෙන්නගේ සම්බන්ධය වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ.

ඔය අතරේ අනවශ්‍ය විදියට කාන්තාවන් දිහා බලන අයත් ඉන්නවා. එහෙම වුණාම නම් පවුල් ප්‍රශ්න විතරක් නෙමේ අහල පහල අයගෙන් ගුටිකන්න වෙන ප්‍රශ්නත් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා සැමියා අනවශ්‍ය විදියට කාන්තාවන් දිහා බලනවා නම් ඔහුව උපදේශනයට යොමු කරන එක හරි වැදගත්. එතකොට සැමියගේ/බිරිඳගේ හිත රිද්දන්න හිතාගෙන උවමනාවෙන්ම වෙන අය දිහා බලන අයත් ඉන්නවා. තව කොටසක් ඉන්නවා බිරිඳ කැමති විදියට ඇඳුමක් කැඩුමක් අඳින්න දෙන්නේ නෑ. කැමති විදියට ස්ටයිල් එකක් කරන්න දෙන්නේ නෑ. ඊටපස්සේ ඉතින් බිරිඳ එක්ක යන ගමන්ම ලස්සනට ඇඳලා කරලා ඉන්න කාන්තාවන් දිහා බලනවා. ඔය වගේ ප්‍රශ්නත් අපිට උපදේශනයෙන් යටපත් කරන්න පුළුවන්.

ඒ වගේම අවසාන වශයෙන් කාන්තාවන්ට කියන්න ඕනේ වයස කීය වුණත්, ළමයි කීයක් හිටියත් රූපය ගැන හිතන්න. ලස්සනට ඉන්න. සැමියට ආකර්ෂණීය වෙන තරමට ඔහු වෙන ගෑනු දිහා බලයි කියලා බයෙන් සැකෙන් ඉන්න ඕනේ නැහැ.

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි