ප්‍රීතිමත් ජීවිතයකට

ඝන රැවුලකුයි, ගොරෝසු කටහඬකුයි තිබුණාම මදිද? කේන්දර ගලපන්නත් ඕනද?

අපි හොයන කිසිම කෙනෙක්ට දුව කැමති වෙන්නේ නැහැ. එයා කෙනෙක් හොයාගන්නෙත් නැහැ. මැරි කරන එක නැති එක එයාගේ තීරණයක්. හැබැයි එයාට වෙන ප්‍රශ්නයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැනේ. එයා අපි එක්ක ඒ ගැන කතා කරන්නෙත් නැහැ. ඒකයි අපි මිස්ව මුණගැහෙන්න ආවේ.

දරුවෙක් විවාහ වෙන්න බෑ කියනවා නම් බහුතරයක් දෙමව්පියෝ හැසිරෙන්නේ අහස පොළොවට කඩාවැටිච්චි ගාණටනේ. හැබැයි ඔය කතාව මට කිව්ව පෙරේරා යුවළ දරුවෝ දිහා හොඳ අවබෝධයකින්  කටයුතු කරන දෙමාපිය යුවළක් කියලා හිතුණේ, එකම දුව නිරාශා විවාහ වෙන්න අදිමදි කරන්නේ ඇයි කියලා හොයන්න මනෝඋපදේශිකාවක් වෙච්චි මාව හොයාගෙන ආපු නිසයි.

ඔයිට දවසක් දෙකක් පස්සෙන් පහු ඔවුන් නිරාශාවත් මට මුණගැස්සුවා. ඇය අවුරුදු 37ක විතර හොඳ රැකියාවක් කරන උගත් ප්‍රියමනාප තරුණියක්.

ආසියානු සමාජයේ ගොඩක් අය විවාහ වෙන්නේ මනුස්සයෙක් වුණාම කසාද බඳින්න ඕනෙමයි කියලා සම්මතයක් හදාගෙන ඉන්න නිසා, නැත්තම් වටේ ඉන්න උදවිය කසාදේ ගැන අහලා කරදර කරන නිසා මිසක විවාහයක් අවශ්‍ය නිසාම නෙමෙයි. හැබැයි ඔය කොටු, රාමුවලින් මිදිලා ස්වාධීන තීරණ ගන්න අයත් ඉන්නවනේ. ඒ නිසා විවාහ වෙන්න අකමැතිද කියලා නිරාශාගෙන් මම මුලින්ම ඇහුවා.

නෑ එහෙම අකමැත්තක් නැහැ. ඒත් මම බඳින්න බයයි. කියලා නිරාශා  කාරණාව පැහැදිලි කරන්න ගත්‍තා. යොවුන් කාලෙදි අධ්‍යාපන කටයුතුවලට වැඩි අවධානයක් යොමු කරපු නිසා ඒ කාලේදි ඇය පෙම් සම්බන්ධයක් ගැන හිතුවේ නැතිලු. ඉගෙනගෙන ඉවර වුණාට පස්සේ ඔය ගැන හිතුවත් නිරාශගේ හිතට හරියන කෙනෙක් ලැබිලා නැහැ. ඔය අතරේ තමයි ගෙදරින් ඇයට මඟුල් හොයන්න පටන් අරන් තියන්නේ.

අරේන්ජ් මැරේජ් කරගෙන මගේ යාළුවෝ කීපදෙනෙක්ගෙම පවුල් කැඩුණා. යාළුවෙලා බඳිනවා වගේ නෙමෙයි ගෙවල්වලින් කරන මඟුල් සාර්ථක වෙන්නේ හරි කලාතුරකින් කියලා හැමෝම කියනවා.

ප්‍රේම සම්බන්ධයක් හරහා සිද්ධ වෙන විවාහ සාර්ථක වෙනවා එතකොට කතාබහ කරලා කරන මඟුල්  අසාර්ථක වෙනවා වගේ සිතුවිල්ලක් තමයි නිරාශාගේ හිතේ තිබුණේ. අවුරුදු ගාණක් යාළුවෙලා ඉඳලා බැදලා මාසෙන් දෙකෙන් දික්කසාද වුණු අය වගේම, යෝජිත විවාහයකින් කසාද බැඳලා මැරෙනකල්ම ආදරෙන් ඉන්න දෙන්නාදෙමහල්ලෝ ඕනතරම් ඉන්නවා.  උපදේශනයට ආපු ඒ වගේ කතා කිහිපයක්ම මම නිරාශාත් එක්ක කිව්වා.

විවාහයක් සාර්ථක වෙන්නේ සහකරුවාව හොයාගන්න ක්‍රමේට අනුව නෙමෙයි. ඒ ඒ පුද්ගලයා මත, අපිට මනුස්සයෙක් තේරුම්ගන්න පුළුවන් හැකියාව මත කියන එක මම නිරාශාට පැහැදිලි කළා.

නව යෞවන කාලේ දරුවන් සම්බන්ධතා ඇති කරගන්නේ දෙන්නට දෙන්නා දැක්කම ඇතිවෙන ආකර්ෂණයට. ඔය කාරණාව ගැන දැනුමක් නැතිව කටේ කිරි සුවඳ යන්නත් කලින් විවාහ වෙන දරුවෝ ඉන්නවා. මේ මට ගැලපෙන සහකරුවා නෙමෙයි කියලා පස්සේ ඉතින් සංතාප වෙනවා. තව ඉන්නවා  හිතේ හදාගත්තු ෆැන්ටසිවල ඉන්න ප්‍රේමවන්තයෝ හොයන අය. ලස්සන රැවුලක් තියෙනවද, අත්වල හොඳට පිරිමි නහර තියෙනවද නැත්තම් ගොරෝසු කටහඬක් තියෙනවද සහකරුවෙක් තෝරගන්නකොට ඒවා තමයි ඒ අය බලන්නේ. තව පිරිසක් ඉන්නවා ඒ අය ගලපන්නේ මිනිස්සුන්ව නෙමේ, කේන්දර. දෙන්නගේ ග්‍රහයො ටිකයි ලග්නයි ගැලපෙනවා ඔන්න ඒ තමා ගැලපෙනම මනුස්සයා. තමන්ට ගැලපෙන හරි මනුස්සයෙක් තෝරගන්න එක එච්චර ලේසි නම් මේ ලෝකේ මල් යායක් වගේ තියෙයිනේ.

දෙන්නෙක් විවාහ වෙන්න ඕනේ සතුටින් සහයෝගයෙන් ගමනක් යන්න මිසක එක්කෙනෙක් විතරක් පව් කළ ගොනා හපුතල් යනවා වගේ මහා බරක් ඇදගෙන යන්න නෙමේ. අපි හොයාගන්න ඕනේ අපිට මානසික සහ කායික සතුට ලබාදෙන කෙනෙක් මිසක් උදේ ඉඳලා හවස් වෙනකල් ඔලුව අවුල් කරලා දාන නමට විතරක් මනුස්ස කෑල්ල තියෙන කෙනෙක්ව නෙමෙයි. විවාහයට කලින් සහකරුවව හඳුනාගන්න එක වැදගත් ඒ නිසයි. සමහරු ඉන්නවා කෙනෙක්ව දැක්ක ගමන් ඒ කෙනා ගැන හූනා කිව්වා වගේ කියන්න පුළුවන්. හැබැයි හැමෝටම එහෙම බැහැනේ. ඒ නිසා බඳින්න කලින් කල් අරන් හොඳට බඳින්න ඉන්න කෙනාව අධ්‍යනය කරන්න.

අපිට ඒකට බලන්න පුළුවන් ගති ලක්ෂණ කිහිපයක්ම තියෙනවා. එකක් සහකම්පනය. කෙනෙක්ට වෙනත් කෙනෙක්ගේ හැඟීම් තමන්ගේ හැඟීම් වගේ තේරුම්ගන්න පුළුවන් එකට තමයි සහකම්පනය කියන්නේ. බිරිඳ කුස්සියේ නැහීගෙන වැඩ කරද්දි කකුල් උඩ දාගෙන ටීවී බලන්න සහකම්පනය තියෙන මනුස්සයෙක්ට බැහැ. එතැනදී බිරිඳට ඇතිවෙන්න පුළුවන් හැඟීම ගැන සැමියා තේරුම් ගන්නවා. එහෙම මිනිස්සු කොහෙද ඉන්නේ, නවකතා පොත්වලනේ කියලා කෙනෙක්ට හිතෙයි. එහෙම අය ඉන්නවා. හැබැයි අඳුනගන්නේ නැති එකයි ගැටලුව.

අනිත් දේ රුචි අරුචිකම්. කැමති අකමැති දේවල් සමාන වෙන තරමට සම්බන්ධයක් සාර්ථක කරගන්න ලේසියි. එක්කෙනෙක් චිත්‍රපට බලන්න කැමති වෙලා අනිත් එක්කෙනා ක්‍රිකට් මැච් බලන්න ආසනම් ගැටෙනවා වැඩියි. හැබැයි දෙන්නම ක්‍රිකට්වලට කැමති නම් ඒක එකට රස විඳින්න පහසුයි. එහෙම නැති වුණත් ඉතින් දවසකට ක්‍රිකට් බලලා අනිත් දවසට චිත්‍රපටයක් බලලා සමබර වෙන්නත් බැරිකමක් නැහැ. මම අදහස් කළේ ඒක වඩාත් පහසුයි කියන එකයි.

හොඳ සංවාදයක් ගොඩනැගීමේ හැකියාවත් හරි වැදගත්. ඔහු හොඳින් ඔබට සවන් දෙනවද, ඔබේ සිතුවිලි තේරුම්ගන්නවද, විවෘතව අදහස් ප්‍රකාශ කරනවද කියලා සියුම්ව නිරීක්ෂණය කරන්න. ඒ වගේම සහකරුවා ඔබේ කැමැත්තට සහ ඔබට ගෞරව කරනවද කියන කාරණාවත් බලන්නම ඕනේ. මොකද විවාහයෙන් පස්සේ බිරිඳගේ නිදහස සීමා කරන අයත් ඉන්නවනේ. ඒ වගේම සමාජයේ අනිත් මිනිස්සු එක්ක කටයුතු කරන විදියෙනුත් අපිට මනුස්සයෙක් ගැන අදහසක් ගන්න පුළුවන්.

බඳින්න කලින් කියන පාට පාට සීනි බෝල ලෝකේ බැන්දට පස්සේ නැහැ. පවුල සංකීර්ණ වුණාම ආර්ථිකෙත් හයිය කරගන්න ඕනේ. ඒ නිසා බඳින්න යන මනුස්සයට අනාගතය ගැන දැක්මක්, ඉලක්කයක් තියෙනවද කියලා බලන එකත් හරි වැදගත්.

ඒ වගේම කෙනෙක්ගේ පුරුදු ගැනත් සැලකිලිමත් වෙන්න. ඔන්න තරුණ කාලේ ඉඳලම ගජරාමෙට අරක්කු බොන කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. ඔහුගේ පෙම්වතිය ඒකට කැමති නැති බව ඔහුට කියනවා. ඒත් ඔහු ඒ පුරුද්ද වෙනස් කරන්නේ නැහැ. පස්සේ බීමත් සැමියා නිසා බිරිඳ දහදුක් විඳිනවා. මම නම් කියන්නේ මෙතැනදී බිරිඳට සැමියට විතරක් ඇඟිල්ල දික්කරන්න බැහැ. මොකද ඔහුව විවාහ කරගන්න තීරණය කළේ ඇය. ජීවිතේ අපි ගන්න තීරණවල වගකීම අපිටම ගන්න වෙනවා කියන එක මතක තියාගන්න.

සමහරු ඉන්නවා බඳින්නත් කලින් ඉඳලම පෙම්වතියට පහර දෙන එක පුරුද්දක් කරගත්තු. අනේ එයා මට ගහන්නේ මාව හදාගන්නනේ, බැන්දම ඕවා හරියයිකියලා හරිම ආසාවෙන් ගුටි කන ගෑනුත් ඉන්නවා. අනික බඳින කෙනාගෙන් ගුටි කන එක බිරිඳකට උරුම දෙයක් කියලා හිතන ගෑනුත් ඉන්නවා. උරුම නෙමේ ඒවා කරුම. තවත් කෙනෙක්ට අතපය උස්සන්න පුළුවන් මනුස්සයෙක්ව බඳිනවා කියන්නේ තමන්ට විතරක් නෙමෙයි හම්බෙන දරුවන්ටත් ජීවිත කාලෙම ගුටි කකා ඉන්න වෙනවා කියන එකයි.

යාළුවෙලා බඳිනවද නැත්තම් යෝජනා කරලා බඳිනවද කියන එකට වඩා ඔය කොයි ක්‍රමෙන් හරි හොඳ කෙනෙක් හොයාගන්න එකයි වැදගත් කියලා පැහැදිලි කළාට පස්සේ ගෙදරින් හොයන කෙනෙක්ව ආශ්‍රය කරලා බලන්න නිරාශා තීරණේ කළා. ඉතින් මම කියන්නේ තමන්ම හොයාගත්තු කෙනෙක් වුණත් යෝජිත සහකරුවෙක් වුණත් එක පාර බැඳගන්න හදිස්සි වෙන්න එපා. කලබලේ විවාහ වන්නා නිවීසැනසිල්ලේ පසුතැවේ කියලා අර කතාවටත් කියන්නේ. නොබැන්දයි කියලා මැරුණු මිනිස්සු මේ ලෝකේ නැහැ. හැබැයි වැරදි මනුස්සයෙක්ව බැඳලා දවස ගාණේ මැරි මැරි ජීවත් වෙන ගෑනු, මිනිස්සු අනන්තයි.

 

මිදි යුෂ යැයි රැවටී හලා හල

විෂ බිව්වේ ඇයි මා

පෙම් දැල මැද පැටලී සුසුම්ලා

මුලා වුණේ ඇයි මා

පෙම් ලොවදී දුටු ඔහුමද මේ

ඔහුටද මා අන්ධ වුණේ

යෞවනයෙදි දුටු ඔහුමද මේ

ඔහුටද මා අන්ධ වුණේ

 

ඔය ගැන නන්දා මාලනී මහත්මිය සිංදුවකින් ලස්සනට පැහැදිලි කරලා දීලා තියෙනවා. අහලා බලන්න.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

සෙව්වන්දි හෙට්ටිආරච්චි