ප්‍රීතිමත් ජීවිතයකට

මහත්තයාගේ අනියම් සබඳතා ඉවසා වදාරන නෝනලා නිවන් දකිනවද?

එක දවසක් රෑ දොළහට විතර මගේ දුරකතනය නාද වෙන්න ගත්තා. එකදිගටම නාදවුණු නිසා වෙලාව ගැන  නොහිතා ආන්ස්වර් කරන්න යනකොටයි කතා කරන්නේ මම දන්න හිතවතියක් වෙච්චි නිල්මිණී කියලා දැක්කේ.

දැන් ටිකකට කලින් මට අපේ නංගි කතා කළා. එයාට මැරෙන්න හිතෙනවලු. ප්‍රශ්නේ මොකද්ද කියලා ඇහුවට මාත් එක්ක මොකුත්ම කිව්වේ නැහැ. මම හෙට උදේම නංගිව ඔයා ගාවට එක්කරගෙන එන්නද?

ඇමතුමට සම්බන්ධ වුණු හැටියේ නිල්මිණී එකහුස්මට  කියවගෙන ගියා. ඇගේ සහෝදරිය බොහොම ඉවසිලිවන්ත අහිංසක කාන්තාවක්. මැරෙන්න හිතෙන තරම් ඇයට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා කල්පනා කරන ගමන්ම නංගිත් එක්ක මාව මුණගැහෙන්න එන්න කියලා මම නිල්මිණීට කිව්වා.

කුකුළත් අතේ අරගෙන පහුවෙනිදම මේ අක්කා නගෝ  මාව මුණගැහෙන්න ආවා. පස්සේ නිල්මිණීට ටිකක් එහායින් ඉන්න කියලා සඳමිණී එක්ක මම තනියම කතා කළා. ඇය විවාහවෙලා දැන් අවුරුදු දහයකට වැඩියි. ඇයට අවුරුදු පහ හයක පුංචි පුතෙක් ඉන්න බව නිල්මිණී මට කලින් කියලා තියෙනවා.

බඳින්න කලිනුත් අපි අවුරුදු දෙකක් යාළුවෙලා හිටියා. යාළුවෙලා මාස හයෙන් මට එයාගේ වෙන සම්බන්ධයක් අහුවුණා. ඒ වෙලාවේ එයා මගෙන් සමාව අරන් ඒ සම්බන්ධය නතර කළා. පස්සේ වෙඩින් එකට මාස දෙකක් තියෙද්දි තවත් සම්බන්ධයක් අහුවුණා. ඒකටත් මොකුත් නොකියාම මම එයාට සමාව දුන්නා.

විවාහයෙන් පස්සෙත් සඳමිණීගේ සැමියා වෙනත් සම්බන්ධකම් කීපයක්ම ඇති කරගෙන තියෙනවා. හැබැයි ඒ කිසිම වතාවකදි ඇය සැමියට දොස් කියලා නැහැ. සඳමිණී මේ විස්තර ඇගේ ගෙදර අයට කියලත් නැහැ. හැබැයි සැමියාගේ ගෙදර උදවිය නම් මේ දේවල් ගැන දැනුවත්ලු. ඇය බොහොම ඉවසිලිවන්ත හොඳ බිරිඳක් කියලා සැමියගේ පවුලේ අය නිතරම ඇයව අගය කරනවලු.

මේ මෑතකදීත් සැමියා ඔහුගේ කාර්යාලයේ කාන්තාවක් සමඟ හාදකමක් පටන් අරන්. බිරිඳ මුකුත් නොකියන බව දන්න නිසා දැන් දැන් ඔහු සඳමිණී ඉන්න තැනම ඒ කාන්තාව සමඟ දුරකතනයෙන් කතාබහ කරනවලු. මේ කාරණාව ඉවසන්න බැරිම තැන තමයි ඇයට ජීවිතය නැති කරගන්න හිතිලා තියෙන්නේ.

පස්සේ සඳමිණීගේ සැමියටත් මම උපදේශනයට එන්න කිව්වා. මුලදි අකමැති වුණත් පස්සේ කොහොමහරි  ඔහු මාව මුණගැහෙන්න ආවා. ඔහු නාඹර කාලේ ඉඳලම සම්බන්ධතා කිහිපයක් එකවර තියාගත්තු අයෙක්. විවාහයට කලිනුත් සඳමිණී ඔහුගේ වචනවලට බොහොම කීකරුයිලු. අනිත් සම්බන්ධතාවලටත්  ඇගෙන් මහලොකු දෝෂාරෝපණයක් එල්ල වුණේ නැති නිසයි ඇයව විවාහ කරගෙන තියන්නේ.

තරුණ කාලේ කරපු හැමදේම විවාහ වෙලා දරුවොත් ලැබුණට පස්සේ කරන්න යන එක ප්‍රායෝගික නැති බව මම ඔහුට පැහැදිලි කළා. ඔහුගේ ක්‍රියාකලාපය නිසා බිරිඳ සියදිවි හානිකරගන්න ඉඩ තිබුණු බව ඔහුත් පිළිගත්තා.

හැබැයි අපිට මෙතැනදි සඳමිණීගේ සැමියට විතරක් ඇඟිල්ල දිගු කරන්න බැහැ. අනියම් සම්බන්ධතා අහුවෙන වාරයක් ගානේ මොකුත් නොකියා සමාවදීම තවත් සම්බන්ධ ඇති කරගන්න අනුබලදීමක්නේ. සැමියගේ හැම වැරැද්දක්ම අනවශ්‍ය විදියට ඉවසුවේ ඇයි කියලා සඳමිණීගෙන් ඇහුවම ඇය කිව්වේ රැකියාවක් එහෙමත් නොකළ නිසා ප්‍රශ්නයක් ඇති වුණොත් දරුවා එක්ක තනිවෙන්න වෙයි කියලා ඇයට බය හිතුණා කියලයි.

යහපත් බිරිඳක් වුණාම සැමියාගේ හැම වැරැද්දක්ම අඬාගෙන, හැපීගෙන ඉවසගෙන ඉන්න ඕනේ කියලා සමහරු කියනවා. ඒ වගේ බිරින්දෑවරු ඉතාම ගුණවත් කියලා අගය කරනවා. හැබැයි බිරිඳක් වෙනත් සම්බන්ධයක් ඇති කරගත්තොත් ඒක ඉවසන්න කියලා සැමියෙක්ට ඔය කවුරුත් කියයිද කියන එක ගැටලුවක්.

ඉවසීමෙන් සැනසීම ලැබෙන බව හැබෑව. හැබැයි ඕනවටත් වඩා ඉවසන්න ගියොත් වෙන්නේ තියෙන සැනසීමත් නැතිවෙන එක. තවත් කෙනෙක් තමන්ට කරන වැරදි අසාධාරණකම් ඕනවටත් වඩා ඉවසන එක මනෝවිද්‍යාවේ හඳුන්වන්නේ පෞරුෂ දුර්වලතාවයක්  විදියටයි.

අනිත් අය තමන්ට කරන වැරදි දේට එරෙහි වෙන්න මේ පෞරුෂය සහිත අය බයයි. එහෙම කළොත් ඒ බැඳීම අහිමිවෙයි, තමන්ගේ ප්‍රතිරූපයට හානිවෙයි කියලා ඔවුන් හිතනවා. දෙයක් තනියම කරගන්න ඔවුන්ට අමාරුයි. ඒ නිසා කවදාහරි තමන් තනිවෙයි කියන බයත් ඔවුන් තුළ තියෙනවා. සඳමිණීගෙත් මේ ලක්ෂණ මම දැක්කා.

මේ වගේ පෞරුෂ අඩුපාඩු නිකන්ම ඇතිවෙන්නේ නැහැ. කුඩා කාලෙදි පවුලෙන් සහ සමාජයෙන් ලැබෙන අත්දැකීම් තමයි මේ වගේ ගැටලු ඇතිවෙන්න හේතු වෙන්නේ. කවදහරි කසාද බඳින මහත්තයත්  එක්ක එකට එක කියන්න යන්න එපාය, ගෑනියෙක් වුණාම හස්බන්ඩ්ගේ අඩුපාඩු ඉවසන්න පුරුදු වෙන්න ඕනය කියලා සඳමිණී කුඩා කාලේදි ඇගේ අම්මා නිතරම කිව්වලු. බිරිඳ සැමියටවත්, සැමියා බිරිඳටවත්  ඕනවට වඩා යටහත් පහත් වෙන්න අවශ්‍ය නැහැ. අඹු-සැමි සම්බන්ධතාවය ඇතුළේ දෙන්නගේ අවස්ථා සමබර වෙන තරමට සම්බන්ධය සාර්ථක කරගන්න පහසුයි කියන එක මම ඇයට තේරුම් කළා.

හැමදේටම එහෙයි කියාගෙන ඉඳලා අනිත් මිනිස්සුන්ගේ හිත් දිනාගත්තු පලියට පවුල් ජීවිතේවත්  සාමාන්‍ය ජීවිතේවත් සාර්ථක කරගන්න බැහැ. ඒ නිසා මුලින්ම තමන්ගේ වටිනාකම අඳුනගෙන හොඳ පෞරුෂයක් ගොඩනගාගන්න. ඉඳලා හිටලාවත් පෙනේ පුප්පන්නේ නැතිව දැහැමි වෙන්න ගිය නයාගෙනුත් අන්තිමේදි ගෑනු දරමිටි බැන්දයි කියලා කියනවනේ. සැමියගේ පුංචි වැරැද්දක් දැක්ක හැටියේ ඇඟට කඩා පනින්න කියලා නෙමෙයි මම කියන්නේ. හැබැයි එකම වරද නැවත නැවත වෙනවා නම් තමන් වෙනුවෙනුත් හඬක් නගන්න. කතාබහ කරලා විසඳගන්න බැරි ප්‍රශ්නයක් නම් උපදේශනයට යොමු වෙන්න.

 

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

සෙව්වන්දි හෙට්ටිආරච්චි