ප්‍රීතිමත් ජීවිතයකට

වියපත් බඹරු රෝස මල්වල වැහුවාම අහක යන කපුටන්ට හරි අමාරුව!

තාක්ෂණික වශයෙන් කොච්චර දියුණු වුණත් සිතුම් පැතුම්වලින් බොහොම ප්‍රාථමික මට්ටමේ ඉන්න උදවිය තාමත් මේ ලෝකේ සුලබයි. විශේෂයෙන් ලංකාව ඇතුළු ආසියානු රටවල. ඒ වගේම එහෙම මිනිස්සුන්ගේ කතා ඔලුවට අරන් පවුල් අවුල් කරගත්තු පිරිසත් දුලබ නැහැ. එහෙම ප්‍රශ්නයක් ගැනයි අද මම කතා කරන්නේ.

සරත්ගේ වයස අවුරුදු 47යි. ඔහුගේ බිරිඳ මධූකාට වයස 33යි. දෙන්නට දෙක වසරේ ඉගෙනගන්න පුංචි පුතෙකුත් ඉන්නවා.

අපි බැන්දේ යාළුවෙලා. මධූකා මට වඩා අවුරුදු 14ක් බාලයි. බැඳලත් දැන් අවුරුදු දහයකට වඩා වැඩියි. මීට කලින් කවදාවත් අපේ වයස් පරතරය මටවත් එයාටවත් ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒත් බබා ඉස්කෝලේ යන්න ගත්තු දා ඉඳලා මට මධූකාගේ ලොකු වෙනසක් තේරෙනවා. ඒකයි මම මිස්ව මුණගැහෙන්න ආවේ.

මුල් කාලෙදි දරුවව ඇරලවන්න මේ දෙපළම පාසලට ගියාලු. පස්සෙ පස්සේ මධූකා සරත්ට බබාගේ ඉස්කෝලේ ගාවට යන්න ඉඩදුන්නේ නැතිලු. තවත් ටික කාලෙකින් මධූකා සරත් එක්ක කතාබහ කරන එක වගේම අඹු-සැමි සබඳතා පවත්වන එකත් ටිකෙන් ටික මඟඇරලා. හැබැයි මධූකාගේ අමනාපෙට හරිහමන්  හේතුවක්වත් සරත් දැනගෙන උන්නේ නැහැ.

සරත්ගේ ඉල්ලීම නිසා එදා මම මධූකා එක්කත් දුරකතනයෙන් කතා කළා.

සරත්ගෙයි මගෙයි වයස් පරතරය නිසා ඉස්සරහට එන්න පුළුවන් ප්‍රශ්න ගැන ඒ දවස්වල මට තේරුමක් තිබුණේ නැහැ. දැන් තමයි මට ඒවා තේරෙන්නේ.

අර ඔයත් එක්ක බබාව එක්කරගෙන එන කෙනා බබාගේ සීයද? ඉස්කෝලේ අම්මලා මධූකාගෙන් අහනවලු. සරත් එක්ක විවාහ වුණේ සල්ලි නිසාද කියලා ඇතැම්මු ඇගේ මූණටම අහලා. මධූකා බොහොම ප්‍රියමනාප කාන්තාවක් නිසා ඇයට ඔයිට වඩා හොඳ මංගල්‍යයක් කරගන්න තිබුණාය කියලා සමහර අම්මලා සෝසුසුම් හෙළනවලු.

වයස ප්‍රශ්නේ ඇරුණුකොට සරත්ගෙන් මධූකාට වෙනයම් අඩුපාඩුවක් වෙලා තියෙනවද කියලා ඇහුවහම ඇයට කියන්න එහෙමට දෙයක් තිබුණෙත් නැහැ.

ගොඩක් වෙලාවට දෙන්නෙක්ගේ වයස් පරතරය ඒ දෙන්නට වඩා ගැටලුවක් වෙන්නේ පිටස්තර උදවියට. සැමියාට වඩා වසර පහකින් වැඩිමහල් බිරිඳක් තව දවසක් මගේ ළඟට ආවා. සැමියා වයසින් අඩු නිසා ඔහුගේම වයසේ නැත්තම් බාල කාන්තාවක් සමඟ හාදකමක් ඇති කරගන්න ඉඩ තියෙනවා කියලා ඇගේම ඥාතීන් පිරිසක් ඇයට කියලා. ඒ කිව් දවසේ ඉඳලා මේ බිරිඳ සැමියව සැක කරන්න පටන් අරන් ගැටලුවක් ඇතිවෙලා තමයි මගේ ළඟට ආවේ.

වැඩි වයස් පරතරයක් තියෙන පිරිමි කෙනෙක්ව බඳින්න හොඳ නැහැ. නැත්තම් සැමියට වඩා බිරිඳ දවසක් හරි බාල වෙන්න ඕනේ කියලා සමාජ මතයක් තියෙනවා. විවාහ වෙන දෙන්නගේ කැමැත්ත, ආදරය, ආකර්ෂණය සහ ගැළපීම තියෙනවා නම් වයස් පරතරය විවාහයකට බාධාවක් නෙමෙයි කියලයි මනෝඋපදේශිකාවක් විදියට මම කියන්නේ.

දෙන්නගේ වයස් පරතරය සම්බන්ධතාවයට බාධාවක් කරනොගෙන ආදරෙන් ජීවත්වෙන මිනිස්සු ඕනතරම් මේ ලෝකේ ඉන්නවා. ප්‍රංශ ජනාධිපති විවාහවෙලා ඉන්නේ ඔහුට වඩා අවුරුදු 24ක් වැඩිමහල් කාන්තාවක්. මේගන් කුමරිය සහ හැරී කුමරුගේ වයස් පරතරය අවුරුදු 5ක්. ඔය වගේ උදාහරණ නම් ඕන හැටියට කියන්න පුළුවන්.

පිරිමියාට වඩා වයසින් වැඩි කාන්තාවක් නැත්තම් කාන්තාවට වඩා ලොකු වයස් පරතරයක් තියෙන පිරිමියෙක්ව විවාහ වුණාම නරකක් වෙනවා කියලා කියන්න බැහැ. මොකද වයසයි, හඳහනයි තව ගළපන්න ඕන සේරම දේවලුයි ගළපලා විවාහ වෙන අය දික්කසාද වෙන්නෙම නැද්ද?

බිරිඳ නැත්තම් සැමියා වයසින් වැඩි නම් අනිත් අය මොකවත් හිතයි කියලා වයස සඟවන අය ඉන්නවා. නැත්තම් සැමියව බිරිඳව අනිත් අයට පෙන්නන්න ලැජ්ජා වෙනවා. පිටස්තර මිනිස්සු මොනවා හිතාවිද කියලා ලතැවෙවී ජීවත්වෙන කෙනෙක් නම් මේ වගේ තීරණ නොගෙන ඉන්න තරමට හොඳයි. අනුන්ගේ කතා අහලා ඔලු කුරුවල් කරගන්න එක මහා මෝඩ වැඩක් කියලා මධූකාට වගේම අර අනිත් කාන්තාවටත් මම පැහැදිලි කළා.

බිරිඳ සැමියට වඩා ගොඩක් වැඩිමල් නම් ගැබ්ගැනීම සම්බන්ධ ගැටලු ඇතිවෙන්න පුළුවන්. හැබැයි දැන් තාක්ෂණය දියුණු නිසා ඒ ගැටලුවලටත් විසඳුම් තියෙනවා. හැබැයි විවාහ වෙද්දි මේ වගේ ප්‍රායෝගික ගැටලු මතුවෙන්න පුළුවන් කියන එක ගැන අවබෝධයෙන් එකතු වෙන එකත් වැදගත්.

ලෝකේ ධනවත්ම පුද්ගලයා වෙලත් ලස්සන නැති කාන්තාවක් විවාහ කරගත්තේ ඇයි කියලා ගොඩක් අය මහෙන් අහනවා.

විවාහය පාවහන් යුගළක් වගෙයි. පිටත ඉන්න අයට පේන විදියෙන් වැඩක් නැහැ. ඒක කකුලට දාන කෙනාට සැප පහසුවට දැණුනහම ඇති.

මේක ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ක් ඔහුගේ විවාහය ගැන කිව්ව කතාවක්. පිටස්තර උදවිය  කොහොම මොනා කිව්වත් දෙන්නට එකතුවෙලා ගමනක් යන්න පුළුවන් කියලා හිතෙනවා නම් වයස, ලස්සන, උස් මිටි බව, මිල මුදල් බාධාවක් කරගන්න අවශ්‍යම නැහැ.

 

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි