ප්‍රීතිමත් ජීවිතයකට

හස්බන්ඩ්ගෙ කට ගඳයි නම් විසඳුම දික්කසාද වෙන එකද?

අද මාතෘකාව පැහැදිලි කරන්න යොදාගත්තේ වෘත්තීය ජීවිතේදි මගේ හිතට දැනුණු සංවේදීම කතා අතරින් එකක්. ශිරෝමා මගේ ළඟට ආවේ ඇගේ පෙම්වතා එක්ක. ඇය විවාහක කතක්. දරුවන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්.

ඇය තිස් විය පසු කළ කාන්තාවක් බවත්, ඇගේ පෙම්වතා ඇයට වඩා වසර කීපයක් වයසින් අඩු බවත් බැලූ බැල්මට මම නිගමනය කළා. ශිරෝමට අවශ්‍ය වෙලා තිබුණේ සැමියව දික්කසාද කරලා පෙම්වතාව විවාහ කරගන්න. මේ කාරණාව ගැන ඇගේ සැමියා දැන උන්නෙත් නෑ. ඔහුව මගේ ළඟට ගෙන්නලා කතාබහ කරලා, සුහද විදිහට ඔහුට ඒ ගැන පැහැදිලි කරලා දෙන්න කියලා තමයි ඇය මට කිව්වේ.

වෙනත් සම්බන්ධතාවයකට යන්න හේතු වුණු සැමියගේ අඩුපාඩුව ගැන නිකමට වගේ මම ඇයගෙන් අහලා බැලුවා.

මගේ හස්බන්ඩ්ගේ කට ගඳයි මිස්. සමහර වෙලාවට ඉවසන්න බැරි දාඩිය ගඳකුත් එනවා. එයා එයාගේ රූපේ ගැන හිතන්නෙම නෑ. තට්ටේ පෑදිලා, බඩත් ඇවිල්ලා. වෙලාවකට එයා එක්ක පාරේ යන්නත් ලැජ්ජයි. මගේ ප්‍රශ්නෙට ඇය දීපු ඔය උත්තරේ අහලා මමත් ටිකක් වික්ෂිප්ත වුණා. ඒ විතරක් නෙමෙයි සැමියව පිළිකුල් නිසා කාලයක ඉඳලා ඔහුත් එක්ක  අඹු-සැමි සබඳතා ඇති කරගත්තේ නැති බවත් ඇය මට කිව්වා. අපේ ළඟට එන සේවාදායකයින්ගේ පෞද්ගලික තීරණවලට අභියෝග කරන්න අපිට අයිතියක් නැහැ. ඒ නිසා සැමියා එක්ක දවසක මාව මුණගැහෙන්න එන්න කියලායි ඒ වෙලාවේ මම ඇයට යෝජනා කළේ.

ඊට දවස් තුන හතරකට පස්සේ ශිරෝමා සැමියාත් එක්ක මාව මුණගැහෙන්න ආවා. ඔහු හතළිස් විය පසු කළ අයෙක්. ශිරෝමා කිව්වා වගේම හිසකෙස් අඩුයි. උදරයේත් ඉදිරියට නෙරාපු ස්වභාවයක් තිබුණට ඔහුගෙන් අමුතුම වැදගත් පෙනුමක් තමයි මම නම් දැක්කේ.

ඔහු ව්‍යාපාරිකයෙක්. ශිරෝමා රැකියාවක් කළේ නැහැ. ඇයට ටිකක් කාර්යාල කාමරයෙන් පිටත ඉන්න කියලා මම සැමියත් එක්ක ඔහුගේ බිරිඳගේ ඉල්ලීම ගැන කතා කළා. හැබැයි බිරිඳට වෙනත් සම්බන්ධයක් තියෙන බව මම කියන්න ගියේ නැහැ. බිරිඳ දික්කසාදය ඉල්ලන බව කිව් හැටියෙම මේ සැමියා බොහොම අසරණ විදිහට ඉකිගහගහ අඬන්න පටන්ගත්තා. දරුවන්ට යන කලදසාව ගැන හිතලා පවුල නැවත සමාදාන කරලා දෙන්න කියලයි ඔහු මගෙන් ඉල්ලුවේ. දික්කසාදය ඉල්ලන හේතුව ඇහුවත් කාරණාවෙන් ඔහුගේ හිත තවත් පෑරෙන නිසා ඒ ගැනත් මම ඔහුට කිව්වේ නැහැ. තවත් සැසි වාරයකට දිනයක් දීලා එදා මම මේ දෙපළව පිටත් කළා.

ඔය අතරේ දින දෙක තුනකට පස්සේ ශිරෝමා මට දුරකතන ඇමතුමක් ලබාදුන්නා. ඇය කතා කළේ හඬමින්. ශිරෝමගේ පෙම්වතා ඇගේ මුදල් සහ රන් ආභරණ වගයක් එහෙමත් අරගෙන මාරු වෙලාලු. සමාජෙට පේන්න ලස්සනට පාරේ එක්කන් යන්න ඇය හොයාගත්තු දහඩිය ඟද නැති පෙම්වතා රැවටිලිකාරයෙක් බව තේරුම් ගිය නිසාදෝ ශිරෝමා කතා කළේ බොහොම ලැජ්ජාවෙන්.

ශිරෝමා සැමියත් එක්ක ඒ ආසන්නතම දවසක නැවතත් මාව මුණගැහෙන්න ආවා. ඇයට අමුතුවෙන් උපදේශනයක් ලබාදෙන්න අවශ්‍ය වුණේ නැහැ. ඒ වෙනකොටත් ඇය බොහෝ දේ තේරුම් අරගෙන තිබුණා. අනේ මිස් මම ලොකු වැරැද්දක් කරන්න හැදුවේ. බැපු දවසේ ඉලා මහත්තයා අපිට කිසිදේකින් අඩුවක් පාඩුවක් කරලා නැහැ. මහන්සි වෙලා වැඩ කරනවා. මගේ අම්මලාට පවා හොට සලකනවා. එයා මට හරි  ආදරෙයි කියලා මම දන්නවා මිස්. ඒ දැන දැනත් මම එයාට වැරැද්දක් කරන්න හැදුවා ශිරෝමා කතා කළේ අඬ අඬා.

මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ම ඉපදුණු දා ඉඳලා මැරෙනතුරාව දක්වා හැම මොහොතකම ශාරීරිකව සහ මානසිකව රසායනික වශයෙන් වෙනස් වෙනවා. බොහෝ විට ප්‍රේම සම්බන්ධකම් ඇතිවෙන්නේ තරුණ අවධියේදිනේ. ඕක අපේ සිරුරේ ආකර්ශණය වැඩිම කාලේ. අනික පෙම්වතා පෙම්වතිය මුණගැහෙන්න යනකොට ඕන කෙනෙක් ජැන්ඩි පහට ඇඳලා සුවඳ බෝතලයක් එහෙම හලාගෙන යන බව අමුතුවෙන් කියන්න ඕනේ නෑ. හැබැයි විවාහ වෙලා දෙන්නා එකට ඉන්නකොට රූපේ ගැන අර තිබ්බ සැලකිල්ල අඩු වෙනවා. එතකොට ඉතින් එකිනෙකාගේ අඩුපාඩු පේන්න ගන්න එක සාමාන්‍යයි.

ඒ වගේම කියන්න ඕනේ සාමාන්‍යයෙන් අවුරුදු 25 වෙනකොට කාන්තාවකගේ වියපත්වීම ආරම්භ වෙනවා. එතැන ඉඳලා ඇය ටිකෙන් ටික වයස්ගත වෙනවා. හැබැයි පිරිමි එහෙම නෙමෙයි. තරුණ වයසේ ඉඳලා වියපත්වීම ආරම්භ වුණත් ඒක බාහිරින් නොපෙනන තරම්. එහෙම ඉඳලා ඉඳලා අවුරුදු 40 පැන්න හැටියේ එකපාරම නොහිතුව විදිහට ඔවුන් වියපත් වෙනවා. එය ජීවවිද්‍යාත්මක කාරණාවක්. කාන්තාවන් වියපත්වීම ප්‍රමාද කරන්න රූපලාවණ්‍ය සත්කාර ආදිය කළත්, පිරිමි ඒ වගේ දේවල් කරන්නෙත් නැහැනේ. ඒ නිසා ඔවුන්ගේ වයස්ගත පෙනුම කැපී පේනවා වැඩියි. තමන් ප්‍රේම කරන කාලේ ඉන්න පෙම්වතා/පෙම්වතිය හැමදාම ඉන්නේ නෑනේ. ඒ ශාරීරික වෙනස්කම තේරුම් ගන්න තරම් පරිණත වීම වැදගත්.

සමහරුන්ට සැමියගේ/බිරිඳගේ රූපයේ සිද්ධවෙන වෙනස්කම් දරාගන්න අමාරුයි. මේක පවුල් අවුල් වෙන්න බලපාන ප්‍රධානම කාරණා අතරින් එකක්. තමන්ගේ සැමියා/බිරිඳ එක්ක බාහිර බැඳීමකට එහා ආත්මීය බැඳීමක් ඇති කරගන්න පුළුවන් නම් මෙවැනි ගැටලු ඇති වෙන්නේ නෑ.

අනිත් දේ තමයි සහකරුගේ පෙනුම ගැන සමාජය හිතන දේ ගැන වදවෙන එක. ශිරෝමා ඇගේ සැමියා එක්ක පාරේ යනකොට මේ ගෑනි මේ නාකියව සල්ලිවලට බැලා වෙන්න ඇති කියලා සමහරු කියනවා ඇයට ඇහිලා තියෙනවලු. විවාහක යුවළක එක් අයෙක් අනෙකාට වඩා කළු වුණත්, කොට වුණත් එහෙම නැත්තම් වයසින් බාල හෝ වැඩිමල් වුණත් ඒවා සමාජයට අදාළ කාරණා නොවෙයි. කොහොමටත් අපිට සමාජය හදන්න බැරි නිසා අපි ඒ දේවල් තේරුම්ගන්න එක තමයි හොඳම දේ.

සැමියාගේ දහඩිය ගඳ සහ මුඛ දුර්ගන්ධයත් මේ බිරිඳට ගැටලුවක් වෙලා තිබුණනේ. මනුස්සයෙක්ගේ සුවඳ වෙන්න ඕනේ හිත. මොකද ආදරේ තියෙන්නේ හිතේනේ. ගඳ සුවඳින් කොයි මොහොතකවත් මිනිස්සු මනින්න යන්න එපා. ශරීරයේ ඇතිවෙන ලෙඩ රෝග සහ වියපත්වීම එක්ක ඔය කිව් ගැටලු ඇති වෙනවා. සමහරවිට මේ කාරණාව ගැන අදාළ පුද්ගලයා නොදන්නවා වෙන්නත් පුළුවන්. තමන්ට හිතලා පාලනය කරන්න බැරි මෙවැනි දේ නිසා සහකරු  නෙමේ කිසිම කෙනෙක්ව අපහාසුතාවයට පත් කරන්න එපා.

එවැනි ගැටලු තියෙනවා නම් ඒවට ඕන හැටියේ ප්‍රතිකර්ම තියෙනවා. හිත නොරිදෙන විදිහට ඒක සැමියට කියලා ප්‍රතිකර්ම කරන්න පුළුවන් බව මම ශිරෝමට පැහැදිලි කළා. ඒ වගේම වියපත් වුණත් රූපය ගැන හිතන එකත් වැදගත් කියලා පොදුවේ ඔවුන්ට උපදේශනයක් ලබාදුන්නා. ශිරෝමා ඇගේ සැමියා සහ දරුවන් එක්ක බොහොම සතුටින් ජීවත් වෙන බව ඊට මාස කීපයකට පසුව ඇය මට කිව්වා.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

සෙව්වන්දි හෙට්ටිආරච්චි