ප්‍රීතිමත් ජීවිතයකට

වයිෆ්ගේ බෝයිෆ්‍රෙන්ඩ් එයා එක්ක තරහා වෙලා

හැමදේකම හොඳ නරක දෙපැත්තක් තියෙනවනේ. ඉතින් සමාජ විකසනය එක්ක ඇති වෙච්චි හොඳ දේ වගේම අයහපත් දේත් එමටයි. මම අද කතා කරන්නේ අන්න ඒ වගේ ගැටලුවක් ගැන.

මම කෙළින්ම කාරණාවට බහින්නම්. මේ කියන්න යන්නේ ඕපන් රිලේශන්ශිප් ගැන. විවාහක අඹු-සැමියන් දෙදෙනාටම නැත්තම් එක් අයෙක්ට විවාහයෙන් පරිබාහිරව තවත් සබඳතා පවත්වන්න දෙදෙනා අතර සම්මුතියක් ඇති කරගන්න එක තමයි ඔතැනදි වෙන්නේ. ඕපන් රිලේශන්ශිප් කියන බටහිර සංකල්පය ලංකාව ඇතුළේ ප්‍රවර්ධනය කරන්න දත කන සුප්‍රසිද්ධ චරිත කිහිපයක්ම ඉන්නවා. හැබැයි මේ නිසා ඇති වෙන්න පුළුවන් අඹු-සැමි ගැටලු සහ සමාජයීය ගැටලු ගැන ඔවුන් දැනුවත්ද කියන කාරණාව ගැන මම දන්නේ නැහැ. හැබැයි කාරණාව සම්බන්ධයෙන් ඇති සංකීර්ණ පවුල් ආරවුල් කිහිපයක්ම මේ වෙනකොටත් මම අහලා, දැකලා, විසඳලා තියෙනවා. මේ ගැන කතා කරන්න හිතුවේ ඒ නිසයි.

දවසක් මගේ ළඟට බොහොම තරුණ අඹු-සැමි යුවළක් ආවා. හොඳ රැකියා කරන, හොඳ වැදගත් පෙනුමැති දෙන්නෙක්. මේ දෙපළ මගේ ළඟට ඇවිත් හිටි කාරණාව ඇහුවම ඇත්තටම මම ටිකක් වික්ෂිප්ත වුණා.

‘‘මිස් මේ මගේ වයිෆ්ගේ බෝයිෆ්‍රෙන්ඩ් එයා එක්ක තරහා වෙලා. එයාගේ නූඩ් ෆොටෝස් වගයක් මගේ අම්මලාට යවලා. දැන් ඒ අය මට මෙයාව ඩිවෝස් කරන්න කියලා බල කරනවා. මිස්ට බැරිද ඒ අයව ගෙන්නලා මේවා සාමාන්‍ය දේවල් බව එයාලට පැහැදිලි කරන්න?’’

ඔහු මට ඔහොම කිව්වේත් බොහොම සාමාන්‍ය ස්වරයකින්. හැබැයි බිරිඳ නම් කතාව ආරම්භයේදීම කඳුළු සලමින් අඬන්න වුණා. එතකොට මම බිරිඳගේ පෙම්වතා ගැන ටිකක් හාරවුස්සලා අහලා බැලුවා.

‘‘මෙයාට විතරක් නෙමේ මටත් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා.’’ ගත්කටටම ඔහු එහෙම කිව්ව නිසා ඔවුන් ඕපන් රිලේශන්ශිප් එකක ඉන්න යුවළක් බව මට තේරුණා.

මේ යුවළ විවාහ වෙලා අවුරුදු දෙකක් විතර වෙනවලු. විවාහයෙන් අවුරුද්දක් විතර යනකොට මේ සැමියා කාර්යාලයේ කාන්තාවක් එක්ක සබඳතාවක් ඇති කරගෙන. මුල් කාලෙදි බිරිඳ ඒකට විරුද්ධ වෙලා. දැන් කාලේ විවෘත සබඳතා නැත්තම් ඕපන් රිලේෂන්ශිප් බොහොම සාමාන්‍ය බව සැමියා ඇයට තේරුම් කරලා දීලා තියෙනවා. ඉතින් ටික කාලෙකින් බිරිඳත් එවැනිම සබඳතාවයක් ඇති කරගෙන. ඒකත් සැමියගෙම මිත්‍රයෙක් එක්ක. ඔහු ඒ තරම් හොඳ පුද්ගලයෙක් නොවන බව පසුවට මේ බිරිඳට තේරුණාලු. ඒ නිසා ඇය ඒ සම්බන්ධය නතර කරන්න උත්සාහ කරලා. එතැනදි තමයි ඔහු ඇයට තර්ජනය කරලා අර ඡායාරූප වැඩිහිටියන්ට යවලා තියෙන්නේ. මේ පුද්ගලයා ඇති කරලා තිබුණු ගැටලුව සුළුපටු නැති බවත්, මෙයට වඩා සංකීර්ණ ගැටලු ඇති කරන්න ඉඩ තිබුණු බවත් මම මේ යුවළට පැහැදිලි කළා. සැසි වාර කිහිපයක්ම මම ඔවුන් එක්ක මේ ගැන කතා කළා. අවසානයේදි පවුලක වටිනාකම ගැන මේ දෙපළට පැහැදිලි කරන්න මට පුළුවන් වුණා. ඔවුන්ගේ දෙමාපියන් එක්කත් කතාබහ කරලා ඒ ගැටලුවත් විසඳුවා.

ඕපන් රිලේශන්ශිප්වලට හරහට කතා කරද්දි ‘‘අපි දෙන්නට හොඳ නම් අනිත් උන්ට මොකද?’’ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නෑ මේක දෙන්නෙක්ට විතරක් ආවේණික ප්‍රශ්නයක් නෙමේ, මේක පොදු සමාජයීය ගැටලුවක්.

ආදරෙන් එකට එකතු වෙලා ලස්සන ගමනක් යන්න හිතාගෙනනේ දෙන්නෙක් කසාද බඳින්නේ. ඒ බැඳීම ඇතුළේ ඔවුන්ටම ආවේණික හැඟීම්, ලිංගික එක්වීම්, අගය කිරීම් සහ ගෞරවාන්විතභාවයක් තියෙනවා. තමන්ගේ සැමියට, බිරිඳට ගරු කරන කෙනෙක්ට මේ වගේ දෙයකට පෙළඹෙන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.

කෙනෙක්ට තමන් ආදරය කරන තමන්ගේ සහකරු වෙනත් සබඳතා ඇති කරගන්න එක ගැන ඊරිසියාවක්, හැඟීමක් ඇති නොවෙන්න හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. එකක් ඔහුට ඒ සම්බන්ධය ගැන හැඟීමක් නැතිවීම. එක්කෝ ඔහු හෝ ඇය ජීවිතේ යථාර්ථය තේරුම් අරන් ආධ්‍යාත්මිකව සිත දියුණු කළ කෙනෙක් වෙන්න ඕනේ. එහෙමත් නැත්තම් යම් මානසික ගැටලුකාරී තත්ත්වයක් තියෙන්න ඕනේ. ඒ නිසා සැමියා හරි බිරිඳ හරි මෙවැනි දෙයක් යෝජනා කරනවා නම් හොඳම දේ ඔහුව හෝ ඇයව මානසික උපදේශනයට යොමු කරන එක.

ඒ වෙනකොට මම ඔය කිව් යුවළට දරුවන් හිටියෙත් නැහැ. හැබැයි තව අවුරුදු දෙක තුනකින් දරුවෙක් හදන අදහසත් ඔවුන්ට තිබුණා. දරුවන් ලැබුණත් මේ සම්බන්ධතා ඒ විදිහටම තියාගන්නලු ඔවුන් තීරණය කළේ. ඉතින් දවසක දරුවෝ මේ ගැන ප්‍රශ්න කළොත් ඔවුන්ට දෙන උත්තරය මොකද්ද කියලා මම මේ යුවළගෙන් ඇහුවා. එතැනදි ඔවුන්ට දෙන්න උත්තරයක් තිබුණේත් නැහැ. මේ වගේ දෙයකදි දරුවන් වුණත් මව්පියන් දෙස ගෞරවාන්විතව බලාවි කියලා හිතන්න අමාරුයි. අනික අම්මා තාත්තා ජීවත් වෙන්න ඕනේ දරුවන්ට ආදර්ශයක් ගන්න පුළුවන් විදිහට.

ඉතින් මේ වගේ දේවල් යුරෝපීය රටවල සුලබයි, ඇයි අපිට හොඳ නැත්තේ කියලත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒ රටවල සමාජයීය සංස්කෘතියෙන් අපි වෙනස් බව තේරුම්ගන්න ඕනේ. අපි හැමදාම එකම තැන ඉන්න ඕනේ කියලා නෙමෙයි මම මේ කියන්නේ. ඒ රටවලින් අපිට ගැළපෙන හොඳ දේ විතරක් අරගෙන අපේකමත් රැකගෙන නේද අපි ඉස්සරහට යන්න ඕනෙ?

මේ වගේ දේවල් කරන්නේ නිදහස් විදිහට නැත්තම් රැඩිකල් විදිහට හිතන අය කියලා හිතන අයත් ඉන්නවා. බැඳීමකට අවංක වෙන්න බැරිනම්, ගෞරවයක් දෙන්න බැරිනම් එතැන මොකද්ද තියෙන රැඩිකල්බව? විවාහක බිරිඳගෙන් සැමියගෙන් ඒ බලාපොරොත්තු වුණු ආදරය, ලිංගික තෘප්තිය ලැබෙන්නේ නැත්තම් ඒ තැන් නිවැරදි කරගන්න උත්සාහ කරන්න. ඔවුන්ව වෙනස් කරන්නම බැරිනම් ඒ තැන්වලින් හරි විදිහට අයින් වෙලා තමන්ට ගැළපෙන සබඳතාවයකට යන එක තමයි වඩා හරි.

ලිංගාශ්‍රිත සායනවලින් පවා විශවාසවන්ත එක් ලිංගික සහකරුවෙක් පමණක් ඇසුරු කරන්න කියන්නේ කට කසනවට නෙමෙයිනේ. ඕපන් රිලේශන්ශිප් කියන මේ සංකල්පය නිසා ලිංගාශ්‍රිත රෝග බෝවෙන්න තියෙන හැකියාවත් බොහොම ඉහළ යනවා. ඉතින් මේ හැමදේම තේරුම් අරන් රැල්ලට වැඩ කරන්න යන්නෙ නැතුව හරි වැරැද්ද තෝරගන්න බුද්ධිමත් වෙන්න කියලා තමයි අවසානෙදි මට කියන්න තියෙන්නේ.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

සෙව්වන්දි හෙට්ටිආරච්චි