ප්‍රීතිමත් ජීවිතයකට

ඉඟනෙරියේ රැලි සැදුවේ හිමි සඳුනේ මගෙ විතරද කියලා අහන්න එපා

අද ලිපියට හොඳ මාතෘකාවක් ගැන කල්පනා කරනකොට විවාහ ජීවිත ඇතුළේ බොහෝදෙනා පීඩාවට පත්කරන සංකීර්ණ ගැටලුවක් ගැන මගේ මතකයට ආවා. කියන්න උදාහරණ ඕන හැටියට තිබුණත් මීට වසරකට දෙකකට පෙරාතුව මට මුණගැහුණු සඳමාලිගේ කතාව ඒකට වඩා සුදුසුයි කියලා හිතුණා.

සැමියා නිසා ඇතිවෙච්චි මානසික පීඩාවකට උපදේශනය ලබාගන්න කියලයි ඇය මගේ ළඟට ආවේ. හැබැයි කතා කරපු පළවෙනි වචනෙන් දෙකෙන්ම ගැටලුව තියෙන්නේ සැමියාට නෙමේ ඇයට කියන එක මට පැහැදිලි වුණා. ඒ නිසා සැමියාත් එක්කම ඇවිල්ලා දවසක මාව මුණගැහෙන්න මම යෝජනා කළා. ඒ අනුව මේ යුවළ නැවතත් පසුදිනෙක මාව මුණගැහෙන්න ආවා. එතැනදි මම මුලින්ම කතා කළේ සඳමාලිගේ සැමියත් එක්ක.

ඔහුගේ නම වසන්ත. යෝජිත විවාහයකින් මුණගැහුනට මේ යුවළ විවාහයට කලිනුත් මාස පහ හයක් කතාබහ කළාලු. ඉතින් ඔය කාලේදි දෙන්නා සෑහෙන දේවල් ගැන කතාබහ වෙලා තියෙනවා. සඳමාලිට ඊට කලින් ප්‍රේම සම්බන්ධතා තිබිලා නැහැ. හැබැයි වසන්තට අවුරුදු ගණනාවක සම්බන්ධයක් තිබුණලු. නමුත් ඒ යුවතිය පස්සෙ ගෙදරින් හොයලා දීපු මංගල්‍යයකට කැමති වෙලා. ඉතින් ඒ සම්බන්ධය ගැන සඳමාලි නිතරම හාරවුස්සමින් විස්තර අහලා. බොහොම සුහදශීලී විදිහට ඇහැව්ව නිසා ඔහුත් පැකිළීමක් නැතිවම විස්තර කියලා. ඒ සම්බන්ධය ඇතුළේ ලිංගික සබඳතා තිබුණද කියලත් ඇය ඔහුගෙන් අහලා තියෙනවා. තමන් විවාහ වෙන්න ඉන්න කෙනාට බොරු කියන්නේ මොකටද කියලා හිතුව වසන්ත කලින් සබඳතාවය ඇතුළේ ලිංගික එක්වීම් පවා තිබුණු බව ඇයට කියලා.

විවාහ වෙන්න කලින් සඳමාලි ඒ ගැන වසන්ත එක්ක නැවත කතා කරලා නැහැ. ප්‍රශ්න සේරම ඇති වුණේ විවාහයෙන් පස්සෙලු. විවාහයෙන් පළවෙනි දවසේත් සඳමාලි වසන්ත එක්ක ලිංගිකව එකතු වුණේ කැමත්තකින් නොවන බව ඔහුට තේරුණාලු. ඒ ගැන ඇහුවම ඇය ඔහුගේ පරණ සම්බන්ධය ගැන මතක් කරලා තියෙනවා. එතැන ඉඳලා නිතර නිතර ඇය වසන්තගේ පරණ ලිංගික සම්බන්ධතා ගැන කියෙව්වලු.

ඔහු එක්ක එකතු වෙන වාරයක් පාසා ‘‘අරයත් එක්කත් ඔයා මෙහෙම ඉන්න ඇති නේද?’’ කියලා ඇය අහනවලු. සමහර අවස්ථාවලදි මේ කාරණාව ගැන කියලා ඇය එක්වීම් මගහැරලා. එක්වීම්වලදි බිරිඳ මේ කාරණාව මතක් කරන එක වසන්තටත් මානසික පීඩාවක් වෙලා. ඒ නිසාම පස්සේ පස්සේ ඔහුත් ලිංගික එක්වීම්වලට ලොකු උනන්දුවක් දක්වලා නැහැ. මගේ ළඟට පැමිණෙනකොටත් මේ යුවළ ලිංගික සබඳතා සම්පුර්ණයෙන්ම වගේ නතර කරලයි තිබුණේ.

මේ බිරිඳ මගේ ළඟට ආවේ ඇගේ ගැටලුවකට උපදේශන ගන්න කියලා මම කිව්වනේ. සැමියා එක්ක එකතු වෙනකොට පරණ පෙම්වතිය එක්කත් ඔහු මෙහෙම ඉන්න ඇති නේද කියලා විවිධ දේ හිතෙන එක තමා ඇයට තිබුණු ගැටලුව. ඇත්තටම ඒක ඇයටත් පීඩාවක් වෙලයි තිබුණේ. ඉතින් දෙන්නා එක්කම ටික වෙලාවක් කතාබහ කරලා කරුණු පැහැදිලි කරලා ඒ ප්‍රශ්නේ විසඳන්න මට පුළුවන් වුණා.

සැමියගේ නැත්තම් බිරිඳගේ පරණ ලිංගික සම්බන්ධකම් ගැන මතක් කර කර ඒ අයව මානසිකව පීඩාවට පත් කරන උදවිය මේ සමාජයේ සුලබයි. ‘‘මම බොහොම විවෘත කෙනෙක්, සුහද කෙනෙක්’’ කියන ප්‍රතිරූපය මවලා තමයි ගොඩක් අය ඔය කාරණාව දැනගන්නේ. ඒත් ඉතින් කෙනෙක් ඇත්ත කිව්වට පස්සේ විනාශයි. නිසි වයසට ආවට පස්සේ තරුණ යුවළක් ලිංගික සබඳතාවයක් පවත්වනවා කියන්නේ දරුණු අපරාධයක් නෙමෙයි. සමහරවිට ඔය ප්‍රශ්නේ අහලා අනිත් කෙනාව පීඩනයට ලක්කරන කෙනාත් එවැනි සබඳතා පවත්වලා තියෙන්න පුළුවන්. හැබැයි ඔහුට හෝ ඇයට ඕනේ අනිත් කෙනාගේ වරදක් හොයාගන්න විතරයි. ඒක හරියට වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහනවා වගේ වැඩක්. ‘‘මුදු මුහුණේ සුව දැනුණේ පිය ළඳුනේ මට විතරද – ඔබේ සුසුමේ සුව වින්දේ හිමි සඳුනේ මං විතරද’’ කියන සිංදුවෙන් කතා කරන්නෙත් අන්න ඒ ගැනනේ.

මනෝ උපදේශිකාවක් විදිහට මම නම් කියන්නේ තමන් විවාහ වෙන්න ඉන්න කෙනාගෙන් වුණත් ඒ වගේ අතිශය පෞද්ගලික කාරණා ගැන අහන එක අශීලාචාරයි. ඉතින් කෙනෙක් එහෙම අහන එක ඇතුළෙම ප්‍රශ්නයක් තියෙනවා කියන එක තේරුම් ගන්න බුද්ධිමත් වෙන්න.

ගැහැනු පාර්ශවයට වඩා මේ වැඩේ කරන්නේ පිරිමි. විවාහයෙන් පළමු එක්වීමෙදි කන්‍යාභාවය ඔප්පු කරන්න බැරි වුණා කියලා පහුවෙනිදා දික්කසාදෙට පිඹුරුපත් හදන මහත්වරු ඉන්නවා. මේ කාරණාව නිසාම බිරිඳගේ මුළු ජීවිතේම අපායක් කළ සැමියන් මට මුණගැහිලා තියෙනවා. සැමියා/බිරිඳ සම්බන්ධ මේ වගේ කාරණා යාළු මිත්‍රයින්ට නෑදෑ හිතවතුන් එක්ක කිය කිය ඒ අයට අපහාස කරන අයත් ඔය ඕනතරම් ඉන්නේ. ඒ වගේ ගැටලු ඇතිවෙද්දි විවාහයට කලින් ලිංගික සබඳතා පැවැත්වුවාය කියලා ඇතැම් කාන්තාවන් වරදකාරී හැඟීම් ඇති කරගන්නවා. ඒ නිසා සැමියගෙන් ලැබෙන අඩත්තේට්ටම්වලට ඔවුන් සුදුසුයි කියලාත් ඒ සමහර අය පිළිගන්නවා.

මේවා සරල ගැටලු නෙමෙයි, සමාජයේ තියෙන සංකීර්ණ ප්‍රශ්න, මානසික අපයෝජන. පරණ දේවල් මතක් කර කර මානසිකව බලපෑම් කරන එකෙන් විවාහ ජීවිතේ අවුල් වෙනවා විතරක් නෙමේ විශාදය, කාංසාව වගේ තත්ත්වයක් ඇතිවෙලා පීඩනයට ලක්වෙන කෙනා සියදිවි නසාගන්න වුණත් බැරි නැහැ. අනික පීඩනයට ලක් කරන කෙනාටත් මේක පීඩනයක්. ඔහු සහකරුවාව පීඩනයට ලක්කරන්නෙම සහකරුවගේ පෙර ලිංගික සබඳතා මහා අපරාදයක් කියලා ඇති කරගන්න පීඩනය නිසාමයි.

අනික හිතන්නකෝ කෙනෙක් තමන්ගේ සහකරුවව විශ්වාස කරලා ඒ වගේ දෙයක් කිව්වම ඔහු හෝ ඇය කරන්නේ ඒක හෝද හෝද මඩේ දාන එක නම් අර බිරිඳ හෝ සැමියා ආයෙත් අර පුද්ගලයව විශ්වාස කරලා දෙයක් කියයිද? එතැනින් එහාට ඒ සම්බන්ධය ඇතුළේ ඇති වෙන්නෙම බොරුව, බය, අවිශ්වාසය වගේ දේවල් විතරනේ.

මේ ලිපියෙන් මට මතු කරන්න ඕනේ මෙච්චරයි. ලිංගිකත්වය කියන්නෙත් ස්වභාවික මනුස්ස අවශ්‍යතාවයක්. හරියට කනවා බොනවා වගේ. ඉතින් තමන්ගේ සහකරුවගේ සහකාරියගේ යල් පැනගිය පරණ කතා හාරවුස්සන එක වර්තමාන ජීවිතේ විනාශ වෙන්න හේතු වෙනවා. අතීතයේ කතා අතීතයේම වළදාන්න. ඉස්සරහට යද්දි ඕවා පොදි ගහන් ඔලුවේ තියාගෙන යන එක ඔලුවට මහ බරක්. ඒත් කෙනෙක් එහෙම යන්න හදනවා නම් හැකි ඉක්මනට ඔහුට හෝ ඇයට මනෝ උපදේශනය ලබාදෙන්න. ඒ හරහා එවැනි දේ පහසුවෙන්ම යටපත් කරන්න පුළුවන්.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

සෙව්වන්දි හෙට්ටිආරච්චි